

තමන් බලයේ රැඳී සිටින තුරු චීනයට ඇමෙරිකාව අභිබවා ලෝක බලවතා වීමට ඉඩ නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කරයි.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ අවධාරණය කළේ සිය පළමු ධවල මන්දිර මාධ්‍ය හමුවට එක් වෙමිනි.
ලෝකයේ පවතින රටාවට චීනය අනුගත විය යුතු බවත්, එසේ නොවන්නේ නම්, චීනයට ගැටලු රැසකට මුහුණ දෙන්න සිදුවනු ඇති බවත් ජනාධිපති බයිඩන් පැහැදිලි කළේය.
“චීනය හරි දේ කරනවා නම්, ඇමෙරිකාව සැමවිමට චීනය සමඟ සිටිනවා. ඇමෙරිකාවේ සහාය චීනයට ලැබෙනවා. ඒත් චීනය ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපා යමින්, මානවහිමිකම් උල්ලංඝනය කරමින්, තම බලය පෙන්වමින් ලෝකයට බලපෑම් කරන්නේ නම් ඊට ඉඩ දෙන්නේ නැහැ.” යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අවධාරණය කළේය.
චීනය සහ ඇමෙරිකාව අතරේ පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පවත්වන බවත්, චීනය අසාධාරණ අයුරින් කොන්දේසි ඉදිරිපත් කරන්නේ නම් ඊට කිසිදු අවස්ථාවක එකඟ නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සිය පළමු ධවල මන්දිර මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.
බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ලෙස කටයුතු කළේ බයිඩන්ය. ඔබාමා පරිපාලන සමයේදී බයිඩන්, අවස්ථා ගණනාවකදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී තිබේ.
‘මා චීන ජනාධිපති ජින්පින් කවුරුන්දැයි හොඳින් දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔහුගේ තැකීමක් නැහැ. ඒත් ඔහු මෝඩයෙක් නොවේ. ගැටුම්වලින් වැළැකී සිටින්න කළ යුත්තේ කුමක්දැයි ඔහු දන්නවා’ යැයි ජනාධිපති බයිඩන් චීන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් ද කළේය.
AFP