ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (26) දෙදින නිල සංචාරය ආරමභ කරමින් බංග්ලාදේශයට පැමිණියේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයට පැමිණියේ, එරට 50 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසය.
විශේෂ ගුවන් යානයකින් ඩකා අගනුවරට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා විසිනි.
‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විදෙස් සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙය වන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විදේශ සංචාරයක නිරත වන්නේ මාස 15 කින් පසුව බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
අතීතයේ ‘නැගෙනහිර පාකිස්තානය’ යන නමින් හැඳින්වුණු බංග්ලාදේශයට නිදහස හිමිවූයේ 1971 වසරේ මාර්තු 26 වැනිදා ය. නිදහස ලබා වසර 50 ක් පිරීම නිමිත්තෙන් පසුගිය දින 10 පුරාවට සැමරුම් උත්සව පැවැත්විණි.
අද නිදහස් දිනයේ දී, බංග්ලාදේශ පළමු අගමැති ෂීක් මුජිබර් රහ්මාන් සිහි කරමින්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා සංවිධානය කරන ප්‍රධාන උත්සවයට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී විය.
බංග්ලාදේශ පළමු අගමැති ෂීක් මුජිබර් රහ්මාන් ඝාතනය වූයේ 1975 දීය.
පසුගිය දින 10 ඇතුළත බංග්ලාදේශයේ සැමරුම් උත්සව පැවැත්වෙද්දී, බංග්ලාදේශයේ අසල්වැසියන් වන ආසියානු රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් බොහෝ දෙනෙක් ඩකා අගනුවරට පැමිණියහ.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බන්දාරි, භූතාන අග්‍රාමාත්‍ය වෛද්‍ය ලොටී ෂෙරිංග් ඒ අතර වූහ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට බංග්ලාදේශයේ සංචාරයක නිරත වූයේ 2019 වසරේ නොවැම්බරයේදීය. පසුගිය 2020 දී ද මෝදි බංග්ලාදේශයට යෑමට සූදානමින් සිටි නමුත් කොරෝනා වසංගතය ඊට හරස් විය.
AFP