
එක්දින ක්‍රිකට් තරග රටාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව එක් එක් දශකය වෙනුවෙන් ක්‍රීඩකයකු නම් කර ඇති අතර 2000 දශකයේ ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ මුත්තයියා මුරලිදරන් ය.
ලොව බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා යැයි හඳුන්වන මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් හා එක්දින කඩුළුලාභී පන්දු යවන්නා ද වේ.
සිනහසෙන ඝාතකයා යනුවෙන් විචාරකයන් හඳුන්වන මුරලිදරන් වේග පන්දු යවන්නට වැඩි අවධානයක් යොමු කළ කාලයක ඕනෑම තණතීරුවක් පන්දුව දඟ කවමින් පිතිකරුවන් අන්දමන්ද කළේය. මුරලිදරන්ට වීදුරුවක් මත වුවද පන්දුව දඟ කැවිය හැකි යැයි ඇතැම්හු කීහ.
අර්බුද හා බාධක රැසක් මැදින් ඉදිරියට පැමිණි මුත්තයියා මුරලිදරන් එක්දින ජාත්‍යන්තර තරග පිටියට සමු දුන්නේ 2011 වසරේ දී ය.
එම වසරේ පැවැති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහ තරගය මුරලිදරන්ගේ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය යි.
එම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර ඉන්දියාව එහි ශූරයන් බවට පත්විය.
එලෙස පිටියට සමුදෙද්දි මුත්තයියා මුරලිදරන් එක්දින ජාත්‍යන්තර පිටියේ දවාගෙන තිබූ කඩුළු සංඛ්‍යාව 532කි.
අදටත් ඊට අභියෝග කරන්නට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ පන්දු යවන්නකු නැත.
නව සහස්‍රයේ මුල් වසර දහය තුළ යම් ආකාරයක අඳුරක් සැඟ වී තිබිණි.
එහෙත් මුරලි ඊට ආලෝකය දුන්නේ වාර්තා පොත් අලුත් කරමිනි. සහස්‍රයට පිවිසෙද්දීම මුරලි ලෝක ශූර කණ්ඩායමක සාමාජිකයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකය පුදුමු කරමින් ලෝ ශූර සහ ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් පරාජයට පත් කරමින් 1996 වසරේ දී ලෝක කුසලානය දිනාගැනීමට සමත්ව තිබිණි.
කෙසේ නමුත් එම කාලයේදීත් ඉන් පසුවත් මුරලිට දිගින් දිගටම පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල විය. ඒ සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් මුරලි 2000 දශකයේ දී එක්දින ජාත්‍යන්තර කඩුළු 335ක් දවාගෙන ඇත.
එය ඕනෑම දශකයක් තුළ ඕනෑම පන්දු යවන්නකු දවාගෙන ඇති වැඩිම කඩුළු සංඛ්‍යාව ද වේ. මුරලිට අභියෝගයක් වී ඇති එකම පන්දු යවන්නා ඔස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී ය. ඔහු දශකයක් තුළ දවාගෙන ඇති කඩුළු සංඛයාව 324ක් වන අතර ඒ ද 2000 දශකයේ වීම විශේෂත්වයකි.
විස්ඩන් සඟරාව ඇසුරිනි