සතුන්ටත් කොරෝනා එන්නතක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 3, 2021

සතුන්ටත් කොරෝනා එන්නතක්

‘කොවිඩ් 19’ වයිරසයෙන් සුරතල් සතුන් ආරක්ෂා කර ගැනීමට රුසියාව එන්නතක් නිපදවා ඇත. ‘කර්නිවැක් කොව්’ යන නමින් නම් කළ එම එන්නත ඊයේ (2) ලියාපදිංචි කෙරුණි. 

මෙම ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇත්තේ, රුසියාවේ සතුන් සඳහා ඖෂධ නිෂ්පාදනය කරන ‘රෝසෝකාටිසෙන්ඩර්’ නමැති සමාගමය. මෙය රුසියන් රජය යටතේ පවතින සමාගමකි. 

එන්නත නිපදවීම සිදුකර ඇත්තේ රුසියානු ජාතික පශු වෛද්‍යවරුන්ගේ සංගමය හවුල් වෙමිනි. නිවෙස්වල බල්ලන් බළලුන් ආදී සුරතල් සතුන් සඳහාත්, ගොවිපොළ සතුන් සඳහාත්, සත්වෝද්‍යානවල සතුන් සඳහාත් මෙම ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවීම සිදු කර තිබේ. 

සතුන් සඳහා නිපදවූ මෙන්ම, පළමුවෙන් ලොව ලියාපදිංචි කළෙ ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත මෙය යැයි පැවැසෙයි. 

‘කොවිඩ් 19’ යනු කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. කොරෝනා යනු ක්ෂීරපායී සතුන් අතරේ පැතිරෙන වයිරස විශේෂයකි. 

‘කොවිඩ් 19’ වවුලන් හරහා මිනිසුන්ට ආසාදනය වන්න ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. ඒ, වයිරසයේ සුලමුල සොයා කළ විමර්ශනයකින් පසුවය.

මීට පෙර, වාර්තා වූ ‘සර්ස්’ සහ ‘මර්ස්’ යනු අඳුන් දිවියන්ගෙන් සහ ඔටුවන්ගෙන් මිනිසුන්ට ආසාදනය වී පසුව, මිනිසුන් අතරේ පැතිරෙන්න වූ කොරෝනා වයිරස වර්ග දෙකකි. 

මිනිසුන් හරහා ‘කොවිඩ් 19’ වයිරසය යළි සතුන්ට ආසාදනය වන අතර සතුන්ගෙන් එය යළි මිනිසුන්ට ආසාදනය වීමේ අවදානමක් පවතී. එසේ වුවහොත් වයිරසය තව තවත් විකෘතිකරණයට ලක් වී බිහිසුණු වනු ඇතැයි බිය පළ කෙරේ. 

ඒ අනුව, සුරතල් සතුන් සහ ගොවිපොල සතුන් ආරක්ෂා කර ගැනීමටත්, ඔවුන්ගෙන් වයිරසය යළි ආසාදනය වීම වළක්වා ගැනීමටත් ‘කර්නිවැක් කොව්’ එන්නත නිපදවූ බව එය නිපදවීමට දායක වූ විද්‍යාඥයෝ කියති. 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව, (මිනිසුන් සඳහා) පළමුවෙන් එන්නතක් නිපදවූයේත්, එය ලියාපදිංචි කළේත් රුසියාවය. එම එන්නත ‘ස්පුට්නික් 5’ ය. අද ලොව රටවල් රැසක ‘ස්පුට්නික් 5’ එන්නත භාවිතයට ගැනෙයි. මෙය මාත්‍රා දෙකකින් සමන්විත එන්නතකි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom