දෙවැනි එන්නත් මාත්‍රාව ගන්න මැලිවෙති - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 28, 2021

දෙවැනි එන්නත් මාත්‍රාව ගන්න මැලිවෙති

ඇමෙරිකානුවන් මිලියනයකට වැඩි පිරිසක්, ඔවුන්ට ලබා දුන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට මැලිකමක් දක්වන බව එරට වසංගත රෝග මර්දන ඒකකය පවසයි. 

එන්නත්කරණ වැඩසටහන යටතේ ඇමෙරිකානුවන්ට එන්නත් වර්ග 3 ක් ලැබේ. එයින් දෙකක් 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් වන අතර තෙවැන්න 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නතය. 

'ෆයිසර්' සහ 'මොඩර්නා' මාත්‍රා දෙකකින් සමන්විත වන අතර 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එක් මාත්‍රාවකින් පමණක් සමන්විතය. කෙසේ නමුත් රුධිර කැටි ඇතිවන බැවින් 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත මේ වනවිට ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබේ. 

ඇමෙරිකානුවන් බොහෝ දෙනකුට ඔවුන් ලබා ගත් 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත්වල දෙවැනි මාත්‍රාව අප්‍රේල් මාසයේ ලබා ගැනීමට නියමිතව තිබුණු නමුත් ඔවුන් එම එන්නත් ලබා ගෙන නැති බව වසංගත රෝග මර්දන ඒකකය පවසයි. 

ඊට හේතුව වී ඇත්තේ පළමු එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු ඇතිවුණු සුළු සංකූලතා නිසාය. 

“ෆයිසර් සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් බොහෝ දෙනකු දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට මැලිකමක් දක්වනවා. ඒ සුළු වශයෙන් ඔවුන්ට ඇති වුණු සංකූලතා නිසයි. කොවිඩ් 19 වයිරසයෙන් එල්ල වන බලපෑමට වඩා ඔවුන් මෙම සංකූලතාවලට බියයි. එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට බොහෝ දෙනා මැලිවන්නේ ඒ නිසයි” යැයි ඇමෙරිකන් වසංගත රෝග මර්දන ඒකකය පැහැදිලි කර තිබේ. 

මේ වනවිට අර්බුදයකට ලක් වී ඇති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලෙස සැලකෙන්නේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතය. ඒ, එන්නත ලබා ගත් බොහෝ දෙනකු රුධිර කැටි ගැසීමෙන් මියගොස් ඇති බැවිනි. 

ඇමෙරිකාවේ 'ජැන්සන්' සමාගම නිපදවූ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත ද මේ හා සමානය. කෙසේ නමුත් 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත මෙන් නොව, 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත භාවිතයට ගැනෙන්නේ රටවල් කීපයක පමණි. 

තවමත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. කෙසේ නමුත් එන්නත්කරණ වැඩසටහන මුල්කොට ගනිමින් ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකි වී තිබේ. 

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් ඇමෙරිකාවේ ද නිපදවීම සිදු කරන අතර, ඒවා ඇමෙරිකානුවන්ට ලබා දෙන්නේ නැත. ඒ, එන්නතට ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි වී නැති නිසාය. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙම 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් මිලියන 6 ක් සෙසු රටවල් සමඟ බෙදා ගන්නා බව පවසා තිබේ. එයින් එන්නත් වැඩි ප්‍රමාණයක් වහාම ඉන්දියාවට යැවීමට ද බයිඩන් පියවරගෙන තිබේ.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom