මා බයේ පැනලා ආවේ නෑ - අදාර් පූනවල්ලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 6, 2021

මා බයේ පැනලා ආවේ නෑ - අදාර් පූනවල්ලා

‘අන්තිමේදී හැමදේම මා කරපිට පැටවුණා. මට ලොකු පීඩනයක් එල්ල වුණා. හැමදේටම දොස් අහන්න සිද්ධ වුණේ මට. ප්‍රබල දේශපාලනඥයන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් මට දුරකතන ඇමැතුම් ලැබෙන්න වුණා. දිවා රෑ නොබලා මගේ දුරකතනය නාද වෙන්න ගත්තා. ඇත්තම කීවොත් මට බියක් ඇති වුණා. මගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වුණා. ඒත් මා බිය වුණේ මා වෙනුවෙන් නොවෙයි. මාගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන්. ඒකයි මා ලන්ඩනයට ආවේ. මට වෙන කළ හැකි දෙයක් තිබුණේ නැහැ.’ 
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්, ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක් වී, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසට එරෙහිව නිපදවූ මාත්‍රා දෙකකින් යුත් ප්‍රතිශක්තිකරණ එන්නත, ‘කොවිෂීල්ඩ්’ යන නාමයෙන් මහා පරිමාණයෙන් නිෂ්පාදනයට අත ගැසූ එක් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන්නේ ඉන්දියාවේ පූනේ නුවර ‘සීරම්’ ආයතනයයි. 

ඉන්දියාව තුළ පිහිටි, බටහිර ඖෂධ නිෂ්පාදන සමාගම්වල ඖෂධ නිෂ්පාදනය කිරීමෙහිලා ප්‍රමුඛයා ලෙස සැලකෙන්නේ ද මෙම ‘සීරම්’ ආයතනයයි. ‘සීරම්’ ආයතනය පිහිටවනු ලැබුවේ 1966 වසරේදී සයිරස් පූනවල්ලා විසිනි. ඖෂධ නිෂ්පාදන ධාරිතාව අතින් ලොව විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනයක් ලෙස ‘සීරම්’ ආයතනය සැලකෙයි. ‘සීරම්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා අදාර් පූනවල්ලා ය. 

‘සීරම්’ ආයතනය ඔහුට පියාගෙන් ලැබුණු උරුමයයි. ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත මහා පරිමාණයෙන් නිෂ්පාදනයට ‘සීරම්’ ආයතනය තෝරා ගත් අවස්ථාවේදී, එය අදාර් පූනවල්ලා ට ලොකු ගෞරවයක් විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේත්, ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගේත් අධීක්ෂණයත් ආශිර්වාදයත් අනුග්‍රහයත් ඊට හිමිවිය. 

ඒ අනුව, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත් නිපදවීම ලහිලහියේ සිදුවුණු අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ‘වැක්සීන් මෛත්‍රී’ වැඩසටහන හරහා අප ශ්‍රී ලංකාව ද ඇතුළු අසල්වැසි ආසියානු රටවලට ප්‍රදානය කළේ මෙම එන්නතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිවෙද්දී, එම සංවිධානය, දිළිදු රටවලට බෙදා දීමට ද තෝරා ගත්තේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතය. 

ඉන්දියානුවන්ට ද එන්නත් දෙකක් ලබා දීම සිදුවුණු අතර බොහෝ දෙනා විශ්වාසය තැබුවේ ද මෙම ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතය. ඊට අමතරව, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් ඇමෙරිකාව, දකුණු කොරියාව, ඉතාලිය ආදී රටවල ද නිෂ්පාදනය කෙරේ. ‘කොවිෂීල්ඩ්’ යනු ‘සීරම්’ ආයතනයේ නිපදවන එන්නතය. 

මෙම වසර ආරම්භ වෙද්දී ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සැලකිය යුතු මට්ටමින් අඩු වී තිබුණි. ඉන්දීය රජය, සෞඛ්‍ය උපදෙස් හෑල්ලුවට ගනිමින්, මැතිවරණ පැවැත්වීමට කටයුතු කළේත්, කුම්බමේලා වැනි හින්දු ආගමික උත්සවවලට අනුග්‍රහය දැක්වූයේත් ඒ නිසාය. කෙසේ නමුත් මාර්තු අවසන් වෙද්දී ඉන්දියාවට වැඩ වැරදුණේය. ඉන්දීය රජය ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබුණේ පසුගිය 2021 ජනවාරියේය. 

කෙසේ නමුත්, මාර්තු අවසන් වෙද්දී, සම්පූර්ණ කර තිබුණේ එම වැඩසටහනේ සියයට 7 ක් පමණි. ආසාදිතයන් දිනපතා ලක්ෂ 3 ඉක්මවා යද්දී, අප්‍රේල් පළමු වැනිදා සිට, ඉන්දියාවේ 45 ට වැඩි සියලු වැඩිහිටියන්ට එන්නත් ලබා දීමට ඉන්දීය රජය තීරණය කළේ එරට නිෂ්පාදන කරන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත පමණක් නොව, ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන ආයතනයේ 'කොවැක්සින්' එන්නත ද අපනයනය නවතා දැමීය. ඒ, ඉන්දියානුවන්ට ප්‍රමුඛත්වය දී එන්නත් ලබා දිය යුතු බැවිනි. 

පසුගිය මැයි පළමු වැනිදා සිට ඉන්දියාවේ අවුරුදු 18 ට වැඩි සැමට එන්නත් ලබා දීමට තීරණය කෙරුණ ද එන්නත් හිඟයක් පවතින බැවින් එම කටයුතු මන්දගාමී වී ඇත. 

ඉල්ලුමට සරිලන අකාරයට සැපැයුමක් කළ නොහැකි වුණු බැවින් ‘සීරම්’ ආයතනය අර්බුදයකට මුහුණ දුන්නේ මෙම අවස්ථාවේදීය. දිගින් දිගටම එල්ල වුණු පීඩනය හමුවේ සහ තර්ජන මැද, බිරිඳ සහ දරුවන් සමඟ 40 හැවිරිදි අදාර් පූනවල්ලා එංගලන්තය බලා ගියේය. 

ලන්ඩන් නුවර දී, ‘ටයිම්ස් ඔෆ් ලන්ඩන්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පූනවල්ලා සිදුවූයේ කුමක්දැයි සහ ඉදිරි සැලැසුම් කුමක්දැයි පැහැදිලි කළේය. ‘මා බයවුණු බව ඇත්ත. වගකීම් සියල්ල මා කරපිට පැටවුණා. මගේ බිරිඳගේත් දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් මා ලන්ඩනයට ආවා’ යැයි ඔහු ‘ටයිම්ස් ඔෆ් ලන්ඩන්’ පුවත්පතට පැහැදිලි කළේය. 

‘ඔබ ඉන්දියානුවන් අතහැර දැම්මාද? ඔබ බයේ පැනලා ආවාද?’ යනුවෙන් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අදාර් පූනවල්ලා මෙසේ පැවැසීය. 

‘කිසිසේත්ම නැහැ. මා බයේ පැනලා ආවේ නැහැ. මා කිසිම අවස්ථාවක ඉන්දියානුවන් අමාරුවේ දාන්නේ නැහැ. මගේ රටට මා ආදරෙයි. මා එංගලන්තයට ආවේ තවත් අරමුණකින්. එංගලන්තයේ ඖෂධ නිෂ්පාදන සමාගම් කීපයක් සමඟ මා සම්බන්ධ වුණා. කොවිෂීල්ඩ් එන්නත ඒවායේ නිපදවන්න. සාකච්ඡා වට කීපයක් ඉදිරියේ දී පැවැත්වෙනවා. ඒ වගේමයි සීරම් ආයතනයේ එන්නත් නිෂ්පාදන ධාරිතාව මේ වනවිට තවත් වැඩි කර තිබෙනවා. එන්නත් නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇමෙරිකාවෙන් පවා ලැබී තිබෙනවා. ඉන්දියාවෙන් පිට විදේශවල කොවිෂීල්ඩ් එන්නත් නිපදවීම කෙරෙහි මේ වනවිට අවධානය යොමු වී තිබෙනවා’

Times of India

Classified_Ad

Classified_Ad_News_Bottom