රංගනයෙන් පෙරට එන අවුරුදු කුමරිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 11, 2021

රංගනයෙන් පෙරට එන අවුරුදු කුමරිය

‘මම පාසල් ගියේ ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයට. උසස් පෙළට වාණිජ විෂයයන් කළේ. ඒත් කුඩා කාලයේ ඉඳලා මගේ ආසාව, කැමැත්ත තිබුණේ කලාවටයි. ඒක මගේ හිත යට තිබුණා. තාත්තාගේ කැමැත්ටයි වාණිජ විෂයයන් කළේ. තාත්තා කැමති වුණේ නෑ මම කලාවට සම්බන්ධ වෙනවාට. කොහොම වුණත් තාත්තගේ සිහිනය මට සැබෑ කරදෙන්න බැරිවුණා. ඒ කලාවට තිබුණු ආශාව හින්දා.’

මේ විද්‍යාලයේ පිට පිට වසර 4ක් අවුරුදු කුමාරිය ලෙස අභිෂේක ලැබූ අංජලී මධුෂානි දිසානායක නමැති රුවැත්තිය කී කතාවයි. 

ඉතා දිගු වරලසක් හිමි මේ රූමත් තරුණිය අද දවසේදී සිනමාවට ඒමට අදිටන් කරගෙන සිටින්නීය. ඇය වරෙක නර්තන රැජින ලෙසින්ද තවත් වරෙක ‘‘මැරියට් කුමරිය’’ ලෙසින්ද ජයගත් අතර, දකුණු පළාතේ අවුරුදු කුමාරිය ලෙසින්ද අභිෂේක ලැබුවේ ඒ රූමත්කමේ මහියමය පෙන්වමිනි. මේ නිසාවෙන්ම ඇයට කලා ක්ෂේත්‍රයට ඒමට බොහෝ දෙනාගෙන් ආරාධනා ලැබිණි. 

‘‘ආරාධනා ගොඩක් ආවා. ඒත් ගෙදරින් කැමති වුණේ නෑ. මේ නිසා බොහෝ ඒවා ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා. දැන් නම් තාත්තා අකමැති වුණත්, අම්මා නම් කියන්නේ ඔයා කැමැති දේ කරන්න කියලයි. එතකොට හොඳ නරක තෝරා බේරාගෙන ඔයාට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලයි. 

කුඩා කාලයේ ඉඳලම කලාවට පුදුම ආසාවක් දැක්වූයේ, පාසලේදීත් දහම් පාසලේදීත් නාට්‍යවලට, ගීත ගායනා වලට දායක වෙලා සම්මානත් හිමිකරගෙන තිබෙනවා. දහම් පාසලේ උත්සවවල සරස්වතී නර්තන පූජාවේ සරස්වතී දේවියටත් මම රඟපෑවා. මට හොඳට ගීත ගායනා කරන්නත් පුළුවන්. ගායනා තරගවලින්ද ජයගෙන තිබෙනවා. පාසලේදී චිත්‍ර, නැටුම්, සංගීත යන අංශ තුනේම ගුරුවරු මට කතා කළා, ඒවා හදාරන්න. 

මම නැටුම් කරන්න ආවේ නෑ කියලා නැටුම් ටීචර් මාත් එක්ක තරහාත් වුණා. ඒ තරමට ඔවුන් මට ආදරෙයි. ඔවුන්ට ඕනෑ වුණේ විෂයයන් විදිහට ඒවා හදාරන්නයි. පාසල් යන කාලේ පිට පිට අවුරුදු 4ක් අවුරුදු කුමාරි වෙන්න මට හැකිවුණා. මේ හින්දා පාසලේ ජනප්‍රිය චරිතයක් වුණා. පස්සේ දකුණු පළාතේ අවුරුදු කුමරිය වෙන්නත් මට පුළුවන් වුණා. පාසලෙන් අයින්වුණාට පස්සේ මම ජාත්‍යන්තර පාසලක ප්‍රාථමික ළමයින්ට ඉගැන්වූවා. ඉන් පස්සේ කොග්ගල ෆෝට්‍රස් හෝටලයේ ටික කාලයක් වැඩ කළා. එහි උත්සවය මම ‘‘නර්තන රැජින’’ කිරුළත් හිමිකරගත්තා. එයින් අස්වෙලා වැලිගම මැරියට් හෝටලයට ගියා. එහි ‘‘මැරියට් ප්‍රින්සස්’’ වෙන්නත් මට වාසනාව ලැබුණා. යන යන තැන මට හිමිවුණේ ජයයි. මම රැකියාවන් කළේ ආසාවට නොවෙයි. මට ඕනෑවුණේ කලාවට එන්නයි. ටෙලි නාට්‍ය වලට නම් කතා කළා. 

ඒත් මම කැමති හොඳ චිත්‍රපටයකින් මුලින්ම ඉදිරියට එන්නයි. කලාව කියන්නේ හිත සුවපත් කරන මාධ්‍යයක්, ඒක සුන්දර විදිහට කරගෙන යන්න ආසයි. හොඳ නිර්මාණයකට දායකවෙමින් මගේ නමත්, දෙමවුපියන්ගේ නමත් කැත කරගන්නේ නැතුව කලා ක්ෂේත්‍රයේ හැමෝම එක්ක සුහදව හොඳින් මේ ගමන යන්නයි මම කැමති. මට අවශ්‍ය නෑ ඉක්මන් ගමනක්. හෙමිහිට හොඳ දේවල් එක්ක යන්නයි කැමති. දැනටමත් ශමීර රංගන නාඔටුන්න, සුනිල් ටී. ප්‍රනාන්දු වැනි මහත්වරු ඔවුන්ගේ චිත්‍රපටවලට ගන්නම් කියලා තිබෙනවා. තවම මම කැමැත්ත දුන්නේ නෑ. කලාවේ සුන්දර ගමනක් යන්නයි කැමති. හැමෝගෙම ආශීර්වාදය මට ලැබෙයි කියා හිතනවා. 

මේ දවස්වල මම කලා ක්ෂේත්‍රය පිළිබඳව හොඳ අධ්‍යයනයක යෙදෙනවා. මොකද නොදැන ගියොත් අතරමං වෙන්න පුළුවන් හින්දා.’’ මේ රුවැත්තිය තමන්ගේ අදහස් පැවසුවේ ඒ විදිහටය. සිනමා ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් කලා මාධ්‍යවලදීත් හෙට දිනයේදී ඇය ගැන ගොඩක් දෙනා කතා කරනු නියතය. ඒ ඇයගේ දක්‍ෂතාවයත් රූමත්කමත් නිසාවෙනි. සටහන 

෴ යසස් සමන්පත්
      උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප  සැදැල්ල අතිරේකය

Classified_Ad

Classified_Ad_News_Bottom