![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiF4cVIAOVXGhH-upivn5tYY9S6DZ66ZHs6XUoHJ827vUnNffAQmZYda8mkp4-tRE89NOTc3zsA6HDt_PS-KiIEL59WRKvwX1hYsWGp-ksROL8314_dXJ6aknODjmLOqHz23pyXt-JijcyX/s16000/Pic-2021-01.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhf3j9DblcGF7qv7oHkOgQ6-Jfjkss5l3eSr06MDdt1t7N0rC6M4X1G9UCFRme6LFEUJwcM4_OjUCjlhw4vU5hyphenhyphensx0iJcqhxPE1FZTRlQ6iJbrB_YFutrC-LPyvm0w018jWax9iYwmRwZo6/s16000/Pic-2021-02.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxuMMeDc2uugH8INksb0FQgSmRyxyv-8OCIpsTREaKf4TxrF8aR7dZjlzoKUwR1iYDnpdKfJFGxqFX_hhM7ow5h8JNdgNWd67aBIi6x9HmM4gIV4DfGZh8qK8Anroj-vGqXhFLkpnwZsdM/s16000/Pic-2021-03.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhL_uuXHOvN5k7Xd5dVTvscBuSgRb93JgRyYtjdtETNcCb8uH2Af1aArm7_kcFP3FUIyS7A_LVAWDS58Pi8JVZ9Wv3cAR4EkYTMl6EkwN7phJJ3tYxtr_6OBTSp9LHDay18QwlxR11gHVDd/s16000/Pic-2021-04.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioqMjTf7JWe7Bts5ycszvjzn2F0CpeYTvW9ThBLVa1MQDYUeWYxso4GIjS1LZ-SJ6xXPYdI9OFCT8dZ-Lnr3IWroC53QhNNm7r2AJtpfzfr10IFs7N0yZyIzwjAuBXKrajyBYybKqoMywl/s16000/Pic-2021-05.jpg)
උදම් රළ නැගෙයි
වැලිවලින් පිරුණු වෙරළ තීරයන්ගේ දකින්න නොලැබුණත්, ගල් ගොඩැලිවලින් පිරුණු මුහුදු වෙරළක සිදුවන වෙනස්කම් අපූරුය. පෙරැළිකාර වෙනස්කම් සිදුවන්නේ, උදම් රළ එසේත් නැතිනම් වඩදියබාදිය මුල්කොට ගනිමිනි. උදම් රළ නිර්මාණය වන්නේ, සඳුගේ ගුරුත්වාකර්ෂණයේ බලපෑමෙනි. ගොඩබිම සහ සාගරය එකිනෙක හමුවන තැන ‘අන්තර් උදම් කලාපය’ යනුවෙන් හැඳින්වෙයි. සඳ, පෘථිවිය වටා යද්දී, සෑම දිනකට දෙවතාවක්ම වඩදියබාදිය ඇති වෙයි. සඳ බැස යද්දී නැගෙන රළ වෙරළ වසා ගන්නා අතර, හිරු නැගෙද්දී ඒ රළ වෙරළ හැර යයි. එවිට ගල් ගොඩැලි අතර ජීවත් වන ජීවිහු (බොහොමයක් අපෘෂ්ඨවංශීන්) ගැටළුවකට මුහුණ දෙති. අරුණළු නැගෙමින්, කරදිය බැස යද්දී, ගල්පර සහ ගල් කුහාර අතර ඉතිරි වෙන්නේ කුඩා දිය කඩිති නිර්මාණය වෙයි. මුහුදු ගොළුබෙල්ලන්, බෙල්ලන්, කවචයන්, පසැඟිල්ලන්, මුහුදු පණුවන් ආදීහු ලහිලහියේ මෙම දියකඩිති සොයා යති. ඒ, පිළිස්සෙන හිරු රැස්වලින් බේරීමටය.
අපූරු ලෝකයක්
පෙද පාසි පමණක් නොව ඇල්ගීවලින් ද පිරුණු එක් දිය කඩිත්තකි. එය පිටසක්වළ ලෝකයක් වැනිය. නොයෙක් නොයෙක් අමුතු අපූරු ජීවීන්ගෙන් මෙතැන පිරී ගොස් ඇත. එම ජීවීන් විවිධාකාරයේ වර්ණවලින් යුක්තය. ස්ටාර් ෆිෂ් හෙවත් පසැඟිල්ලන් රතු, තැඹිලි, දම් සහ කහ වර්ණවලින් යුක්තය. තැන් තැන්වල සිටින පසැඟිල්ලෝ බොහොම ආයාසයකින් හිරු රැස්වලින් බේරී දිය කඩිත්ත වෙත ඇදී එති. තදින් හිරු රැස් ඔවුන්ගේ සිරුරු මත වැටුණහොත්, ඔවුන් අසුරු සැණින් පිළිස්සී යනු ඇත. ඇල්ගී විශේෂ තැඹිලි පැහැයෙන් යුක්තය. දිය කඩිත්ත පතුළේ ඇනිමනියන් ලා කහ සහ කොළ පැහැයෙන් යුක්තය. දිය කඩිත්ත ජීවයෙන් පිරී යයි. බැලූ බැල්මට දිය කඩිත්ත කාටත් ආරක්ෂිත නිවහනකි. නැත. එය එසේ නොවෙයි. ආරක්ෂාවට මුල් තැන දුන්නත් මෙහි පැමිණ සිටින අයගෙන් ඇතැම්හු දඩයක්කාරයෝය. ඉතිරි පිරිස ඔවුන්ගේ ගොදුරුය.
මන්දගාමී ක්‍රියාවලියක්
ඉතා සෙමින් සිදුවන මේ ක්‍රියාදාමය, ‘බ්ලූ ප්ලැනට්’ කණ්ඩායමට පටිගත කර, එය අති සුපැහැදිලි දසුනින් නරඹන්නන් වෙත ඉදිරිපත් කරන්නේ මිනිත්තු තත්පරවලට පෙරළමිනි. එවිට, දියකඩිත්තේ සිදුවන විස්මිත සිදුවීම් සමුදාය පැහැදිලිව තේරුම් කරගත හැකිවෙයි. මේ දියකඩිත්තේ විලෝපිකයන් පමණක් නොව කසලශෝධකයන්ගෙන් ද පිරී පවතී. මේ පොකුණ පවතින්නේ පැය කිහිපයකට පමණි. එහෙයින් මේ කවුරු කවුරුත් ඉක්මනින් ඔවුන්ගේ වැඩ කටයුතු සම්පූර්ණ කළ යුතුවෙයි.
විලෝපිකයෝ
දියකඩිත්තේ සිටින ඇනිමනියන්, හොඳ වුණත් නරක වුණත් ඔවුන්ට අල්ලා ගැනීමට හැකි සියලුම දේ ගිල දමයි. ඇනිමනියන් යනු කෙටි සිලින්ඩරාකාර දේහයක් ඇති සාගරයේ වෙසෙන අපෘෂ්ඨවංශිකයෙකි. මුහුදු මල යනුවෙන් ද ඇනිමනියන් හැඳින්වෙයි. ගිලින ඇතැම් දේවල් දිරවීම පහසු කටයුත්තක් නොවේ. වැඩි වේලාවක් යන්නට පෙර දියකඩිත්තේ මේ විස්මිත කුඩා ලෝකය යුද පිටියක් බවට පරිවර්තනය වෙයි. අඬු පහක් සහ පහළට වන්නට විශාලව කටක් පිහිටා ඇති ස්ටාර් ෆිෂ් හෙවත් පසැඟිල්ලන් මේ වනවිට දියකඩිත්ත ආක්‍රමණය කර අවසන්ය. පසැඟිල්ලන් අතර ප්‍රබලයෙක් සිටී. ඌ හැඳින්වෙන්නේ ‘ඕකා ස්ටාර්ෆිෂ්’ යනුවෙනි. මේ පසැඟිල්ලා අනෙක් උන්ට වඩා ප්‍රමාණයෙන් ද විශාලය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhG4av-YoSLwjkqQ8k9SFCFvnMu46_7iODwLj0URzUMdg1-wxHw2BI0a_slzPSUnufmfIIyNSkGXDOpUjhFCJ5y0QPMPTJ_LIq5Jfqvyp7DB_mchnkkvBjbVTmqJnmmrHUpmNDUG4cddUg_/s16000/Pic-2021-06.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBHfYvK-VTJ2MwWAYMKLU_eoBeSPhj50YHXt1o6kSHu8uPkDvrcjyFM49Mxlm9k-5d2vjancu-HA0O-sx1RPJd7N42oyIiJj4xDQ_WmgqUsfkdPycD_eT9RCt9O1OYwuhxt_ldW2RatzTy/s16000/Pic-2021-07.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOz143fZRQjoIujJSIpDSPkI9y2ODqiCfk48ATowbY6MEeAdK24hEk5nqKBFf3fXJmAAO37uas465-yDl0son5CfJpNREHF0um2zNlh5EKd0VKoCE3fjg3xl9C0wlZttkUobsg49jeLf6s/s16000/Pic-2021-08.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgq3dfntT-1ytnlHrSeOuFtVL4MQsYApW1laRP6xCj4fZEjoUEeBCQzge6cBH-DOeiy6MHpz_hlBzQpe-0zlmWJYqQSd5eNWcpQCDOQjwl95JvuHgm9_KM0ljE_CyV_aXGoSDllp2XHNvVW/s16000/Pic-2021-09.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFhKSNdYsArXhwkWIUxWnRQwp2B6GnYExJOtsoJCXkmzDKenXLb8Nml8W9dGuftX7uZEhN6fUgm-8fte9YRrP2l1Y6tNJMttUP2mjSepqNpDX_7nkOJ3bsaVF5xEqHiEgUYMKiMl_aWmFC/s16000/Pic-2021-10.jpg)
චීන තොප්පියා
ඕකා ස්ටාර්ෆිෂ් දියකඩිත්ත පුරා සැරිසරන්නේ, ‘චීන තොප්පියා’ එසේත් නැතිනම් ‘තුන්තුඹුවා’ යන නමින් ද හැඳින්වෙන සාගර ගොළුබෙල්ලන් සොයමිනි. ස්ටාර්ෆිෂ්ගේ ප්‍රියතම ආහාරය මෙම ගොළුබෙල්ලන්ය. ‘චීන තොප්පියා’ පැතලි කේතු හැඩ කවචයක් ඇති ගොළුබෙල්ලෙකි. මේ සත්වයාට චීන තොප්පියා යැයි කියන්නේ උගේ පෙනුම පැරැණි චීන වැසියන් පැළැඳි විශාල තොප්පියක හැඩය සිහියට නැගෙන නිසාය. ඇතැම් චීන තොප්පියාට පසැඟිල්ලන්ගෙන් ගැලවුමක් නැත. චීන තොප්පියා යට කර ගන්නා පසැඟිල්ලා උන් ගිල දැමීම සිදු කරයි.
උපක්‍රම
දිය කඩිත්තේ සිටින හැම චීන තොප්පියාම විලෝපීය පසැඟිල්ලාගේ ගොදුරු බවට පත් වන්නේ නැත. ඇතැමුන්ට ආරක්ෂක උපක්‍රම ඇත. ඇතැම් චීන තොප්පියන් උන්ගේ පැතලි තොප්පියක් වැනි කටුව ලිස්සනසුළු කටුවක් බවට පරිවර්තනය කර ගනී. එය විස්මිත ක්‍රියාවලියි. ඒ අනුව, චීන තෝප්පියා සෙමින් සෙමින් පසැඟිල්ලාගේ ග්‍රහණයෙන් මිදී, උගේ අඬු අතරින් ලිස්සා යයි. තවත් චීන තොප්පි ගොළුබෙල්ලකුට අංගාරක්ෂකයෙක් සිටී. මේ අංගාරක්ෂකයා පණුවෙකි. පෙනුමින් රෑ බදුල්ලකු වැනි මේ පණුවා හැඳින්වෙන්නේ ‘කොරල පණුවා’ යන නමිනි. මේ පණුවාගේ දෂ්ට කිරීමක් කරයි. එය විස සහිතය. පණුවා නිවහන කරගෙන සිටින්නේ ගොළුබෙල්ලාගේ කටුවය. දෙදෙනා ජීවත් වන්නේ සහයෝගයෙන් එකිනෙකාට උදවු කර ගනිමිනි. ගොළුබෙල්ලා යට කරගෙන ඌ ආහාරයට ගැනීමට පැමිණෙන පසැඟිල්ලාට පණුවා දෂ්ට කර ගොළුබෙල්ලා බේරා ගනී. පණුවාගේ දෂ්ටනය පසැඟිල්ලාට වේදනාකාරීය. ඌ චීන තොප්පියා අතහැර යයි. අංගාරක්ෂකයා කටුව ඇතුළේ තබාගෙන චීන තොප්පියා පොකුණේ වෙනත් තැනකට සෙමින් ඇදී යයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbAErlZULh8-CumYfzeX1mTrD2J_8lByGSZQ8cD9ZMiQvhCZag60ahik8RAO3WJPmJPV0HOSKvMLv-Ar9RMTWcbFKDAcY2rpN-bC1TJ2SArrM0An5JofrqKoV1ihNA9rc96WZo133DjtUn/s16000/Pic-2021-11.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRB7_a2B940FAsjN4htxGhrwRZsCT-IypBqmGA3QfwDtPOOyvmuxZ6EBGIXEWhV6eTplZ3LcVU6cpEMcV2IHVxcWPY9QSusxlNImIrR3UINw5AkRpuA_okXUuGqubVmhiCSCu8vZ7c0eoO/s16000/Pic-2021-12.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTN8Zd9D6PTmLlxfgVCPVq5OdVhZSJS2rStmtBA3THqYl1jWv29j2OhHIMNFdwqSf7eUbAqlEbyOzps-7knPjzHZghLNm3rlMVT8b-bZnxd98IAKYfw7jW7TjXdetPnh7cyqXTwVSGM7Th/s16000/Pic-2021-13.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZBGzgdOcU2kLjyvnolE8IGeE6UmhWI_xscHVbe9sd5FnyZqa93HlSb5LBuL9VzagCfofbEiFr9ry1INVqfpl__t0lNlNypqO_f5tJxqX6PkMU8ppHWycDgqPXKYxT1AQs1aRFWxbjJaAA/s16000/Pic-2021-14.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJg9fyQntQDtXhdr7cexXUg1mrxjBalBKElzjXnubS1E0HtU3gE6wLzaAO9mZz1NJxHR-by4sGIRrnlpVPKIZO4clkYtT1NnF2thS1mlpnXn7-KRleZHcxBzpPfllakfnilQXwGDlCKx5j/s16000/Pic-2021-15.jpg)
ක්ලිංෆිෂ්
දියකඩිත්තේ තවත් ප්‍රබල විලෝපිකයෙක් සිටී. මේ විලෝපිකයාගෙන් බේරීම, චීන තොප්පියාට බැරිය. මේ සතා කුඩා මත්ස්‍යයෙකි. ‘ක්ලිංෆිෂ්’ යන නමින් හැඳින්වෙයි. ‘ක්ලිංෆිෂ්’ ගල් සහ වෙනත් පෘෂ්ඨයන් මත ඇලී සිටීමට හැකි ලෙසින් මුඛය චූෂකරයක් ලෙස නිර්මාණය වූ මාළුවෙකි. මේ මාළුවාගේ දත් පිහිටා ඇත්තේ, තොප්පි ගොළුබෙල්ලන් අල්ලාගෙන ඌ මුනින් අතට පෙරළා ආහාරයට ගැනීමට හැකිවන ආකාරයටය. මාළුවා ගොළුබෙල්ලා අල්ලා ආහාරයට ගන්නේ බෝතල් මූඩියක් විවර කරන අයුරිනි. ක්ලිංෆිෂ් ගොළුබෙල්ලා පමණක් නොව, උගේ කටුව පවා ගිලදැමීම සිදු කරයි. මළ හිරු රැස් සෙමෙන් සෙමෙන් පතිත වීමට පටන් ගනී. ඒ සමඟ උදම් රළ නැගීම ඇරැඹෙයි. දියකඩිත්ත පමණක් නොව, ගල් කුට්ටිවලින් පිරුණු වෙරළ තීරය යළි කරදියෙන් පිරෙයි. දැන් සියල්ල අවසන්ය. හෙට දිනයේ යළි හිරු නැගෙයි. හෙට දිනයේ තවත් අලුත් වික්‍රමයකි.
ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන
BBC Blue Earth II ඇසුරිනි