වරාය නගර කෙටුම්පත සම්මතයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 21, 2021

වරාය නගර කෙටුම්පත සම්මතයි

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) වැඩි ඡන්ද 89කින් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි.

සමගි ජන බලවේගයේ, ජාතික ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. මන්ත්‍රීවරු දාහතර දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී මැති සබයේ නොසිටියහ. පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම ඊයේ (20) පස්වරු 4.40ට පමණ ආරම්භ විය. 

මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය ලබා ගත්තේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේය. අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා පනත සඳහා රජය වෙනුවෙන් නව සංශෝධන ඉදිරිපත් කළේය. 

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සංශෝධන කිහිපයක් වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප විය. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති 25 ක්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය7වැනිදා කතානායකවරයාට දැනුම් දුන්නේය. 

එම පනතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබිණ. පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට රජයට සිදුවූයේ මේ නිසාය. 

 පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් පහළොවක් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය ප්‍රකාශයට පත් කළේය. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය අප්‍රේල් මස 8 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

මේ අතර, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත රට තුළ බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකා රජය කාලීන හා ක්‍රමෝපායික වැදගත් ඉදිරි තීරණයක් ගනු ලැබූ බව, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සමාගම වන සී.එච්.ඊ.සී පෝට් සිටි කලම්බු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හව්ලියැං මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.  

මෙම පනත සම්බන්ධයෙන් ව්‍යාපෘති සමාගම සිය විශ්වාසය පළකර ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීම මගින් කොළඹ වරාය නගරය මෙරටට අත්‍යවශ්‍ය වී පවතින සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්නා සහ, සේවා අපනයනය ප්‍රවර්ධනය කරන කේන්ද්‍රයක් බවට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය පසුබිම මෙන්ම, ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ පහසුවද නිර්මාණය වනු ඇති බවත් හව්ලියැං මහතා කියයි.

පාර්ලිමේන්තුවේදී සම්මත වූ මෙම පනත කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ මූල්‍ය හා සේවා කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම සඳහා තබන ලද දැවැන්ත ඉදිරි පියවරක්  යැයි ද හෙතෙම පවසයි.

මෙම පනත මගින් ස්ථාවර ප්‍රතිපත්තිමය පසුබිමක් සමග කාර්යක්ෂම පරිපාලන ක්‍රියාවලියක්ද ස්ථාපිත වනු ඇති අතර, ගෝලීය වශයෙන් තරගකාරී, ව්‍යාපාර දිරිගැන්වීම් ක්‍රමවේදයන් හඳුන්වා දීමේ ආරම්භයක්ද වනු ඇති බවත් ඒම නිසා ජාත්‍යන්තර සමාගම් සේම දේශීය සමාගම් ද මේ ස්වර්ණමය අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිය ව්‍යාපාර කොළඹ වරාය නගරය තුළ ස්ථාපිත කර ගෝලීය ව්‍යාපාර අවස්ථා ළඟා කරගන්නා ලෙසට කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සමාගම ආරාධනා කර සිටින බවත් හෙතෙම කියයි. 

Classified_Ad

Classified_Ad_News_Bottom