පළමුවෙන් ලබා දුන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත දෙවැනි මාත්‍රාව ලෙස ලබා දීමට නොහැකි නම්, ඊට පිළියමක් ලෙස ගැලපෙන වෙනත් එන්නතක මාත්‍රාවක් ලබාදීමේ හැකියාවක් ඇතැයි ප්‍රංශය ඇතුළු බටහිර රටවල වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.
ප්‍රංශ වැසියන්ට පමණක් නොව, යුරෝපා රටවල් රැසක අවුරුදු 18 ට වැඩි බොහෝ දෙනකුට පළමු එන්නත ලෙස ලබා දීම සිදුවූයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතය.
කෙසේ නමුත් රුධිර කැටි ගැසීම් ඇතිවීමේ අවදානමක් පවතින බව තහවුරු වෙද්දී රටවල් බොහොමයක් ඇස්ට්‍රාසෙනකා ලබා දීම නවතා දැම්මේය. නොර්වේ රාජ්‍යය ඇස්ට්‍රාසෙනකා එන්නත නවතා දැමීම කළේ එය ඉතාමත් අනතුරුදායක එන්නතක් බව පවසමිනි.
ප්‍රංශයේ ඇස්ට්‍රාසෙනකා පළමු මාත්‍රාව ලබා ගත් පිරිසට, දෙවැනි මාත්‍රාව ලෙස සති 4 ක කාලයකින් ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත ලබා දීමට වෛද්‍ය පර්යේෂකයන් වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත. පළමුවෙන් තෝරාගත් පිරිසක් යොදාගෙන මෙම එන්නත් 'මාරු කිරීම' සිදු කළ බව ද පැවැසෙයි.
'ඇස්ට්‍රාසෙනකා පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් අයට දෙවැනියට එම එන්නත ලබා නොදෙන්නේ නම්, ෆයිසර් එන්නත ඊට සුදුසු බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබා ගත්විට දවසක් දෙකක් ඇඟට අමාරු වේවි. උණ ගැනීමක් සිදුවෙන්න පුළුවන්. ඒ සියල්ල ඉක්මණින් මඟ හැරී යාවි. ඒ නිසා එන්නත් දෙකක් මිශ්‍ර කිරීම ගැටලුවක් වෙන්නේ නැහැ' යැයි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත නිපදවීමට දායක වුණු බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය මැතිව් ස්නේප් පැහැදිලි කර තිබේ.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා මෙන්ම, ඇමෙරිකාවේ ෆයිසර් සමාගම ජර්මනියේ 'බයෝ ඇන්ටෙක්' සමාගම සමඟ නිපදවූ 'ෆයිසර්' එන්නත ද මාත්‍රා 2 කි. කොරෝනා වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිකරණය නිර්මාණය වන්නේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුවය.
පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනකා ලබා දී තිබියදී, දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දුනහොත්, ෆයිසර් එන්නත යළිත් එම තැනැත්තාට ලබා දීමක් අවශ්‍ය නොවන බවත්, එන්නත් මිශ්‍රණයෙන් ප්‍රතිශක්තියක් සිරුරට ලැබිය යුතු බවත් වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.
කෙසේ නමුත්, එකිනෙකට වෙනස් එන්නත් දෙකක් ලබා ගැනීමේ දී එයින් සිරුරේ නිර්මාණය වන ප්‍රතිශක්තිය කොතරම් දුරට සාර්ථක වේවිදැයි යන්න තීරණය කිරීමට මාස කීපයක් ගත වනු ඇති බවත් වෛද්‍ය පර්යේෂකයෝ වැඩි දුරටත් කියති.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාවේ 'සීරම්' ආයතනය නිපදවන්නේ 'කොවිෂීල්ඩ්' යන නාමය යටතේය. අප ශ්‍රී ලංකාවට පමණක් නොව, බංග්ලාදේශයට, නේපාලයට ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණේත් පසුව මිලදී ගැනීම කළේත් මෙම 'කොවිෂීල්ඩ්' එන්නතය.
ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය දිනෙන් දින ඉහළ යද්දී, ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන එන්නත් අපනයනය නැවැත්වීමට ඉන්දීය රජය තීරණය කළ අවස්ථාවේ, සෙසු රටවල් බොහොමයක් අසරණ වූයේ පළමු 'කොවිෂීල්ඩ්' එන්නත ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලබා දීමට නොහැකි වී ඇති බැවිනි.
එම ගැටලුවට විසඳුමක් ලෙස යුරෝපා වෛද්‍ය පර්යේෂකයන් නිර්දේශ කර ඇත්තේ 'ෆයිසර්' එන්නතය.
ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත සියයට 95 කට වඩා සාර්ථකය. 'ෆයිසර්' අයත් වන්නේ එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත් අතරටය.
ඇමෙරිකාවේ 'මොඩර්නා' ද එම්.ආර්.එන්.ඒ. වර්ගයේ එන්නතකි. එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත්වල ඇත්තේ, 'කොවිඩ් 19' වයිරස විෂබීජයේ ජාන කේතයයි. සිරුරට එන්නත් කෙරෙන්නේ එයයි.
'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' පමණක් නොව, රුසියාවේ 'ස්පුට්නික් 5' සහ චීනයේ 'සයිනෝෆාම්' එන්නත ද නිපදවා ඇත්තේ
'කොවිඩ් 19' වයිරසය සිරුරට ඇතුළු වීමෙන් පසු සිරුරේ ඊට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය, එන්නත හරහා කල්තියා සිරුරේ ඇති කිරීමට සැලැස්වීමය. එවිට වයිරසය යම් හෙයකින් සිරුරට ඇතුළු වුවහොත් ඊට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වී තිබේ.
රොයිටර්