ඇමෙරිකා එක්සත් ජනපදය, ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා ඉවත් කරගැනීමත් සමඟ චීනයට ජිහාද් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් නිර්මාණය වනු ඇතැයි විශේෂඥයෝ පෙන්වාදෙති.
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත ක්‍රියාකාරම් වර්ධනය වීම වළක්වමින් සිය බෙල්ට් ඇන්ඩ් රෝඩ් (බී.ආර්.අයි.) ව්‍යාපෘතිය අවශ්‍ය ස්ථාවරත්වය තහවුරු කරගැනීම කෙරෙහි චීනය අවධානය යොමු කර තිබිණි. චීනය, ඇෆ්ගනිස්තානය තුළ සිය බී.ආර්.අයි ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
ඇමෙරිකාව සිය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීමත් සමඟ හිඩැසක් නිර්මාණය වන බව මේ තත්ත්වය විශ්ලේෂණය කරන අබ්දුල් බාසිත් සඳහන් කරයි.
හෙතෙම මෙම තත්ත්වය විශ්ලේෂණය කරමින් ‘සවුත් චයිනා මෝර්නිං පෝස්ට්’ වෙබ් අඩවියට ලිපියක් ද යවා ඇත.
ඇමෙරිකාවේ ඉවත් වීමෙන් නිර්මාණය වන හිඩැසත් සමඟ චීනයට කලාපය තුළ සිය බලපෑම තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.
කෙසේ නමුත් ඇෆ්ගනිස්තානයේ මේ වනවිට නිර්මාණය වී තිබෙන ප්‍රචණ්ඩකාරී ස්වභාවය භූගෝලීය දේශසීමා හරහා චීනයේ ෂින්ජින්ග් ප්‍රදේශයට පැතිර යනු ඇතැයි අවදානමක් නිර්මාණය වී තිබේ.
තලේබාන් ස්වරූපයේ ආණ්ඩුක්‍රමයට අමතරව චීනයට තවත් යක්ෂයන් තිදෙනකුට මුහුණ දීමට සිදුව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි. බෙදුම්වාදය, ආගමික අන්තාවදය සහ ත්‍රස්තවාදය ඒවා යැයි බාසිත් පෙන්වාදෙයි.
තලේබාන් සංවිධානයේ බලපෑම චීනය එම යක්ෂයන්ට එරෙහිව කරන සටනට බාධාවක් යැයි ද හෙතෙම කියයි.
ඇෆ්ගනිස්තානයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චීනය නිරන්තරයෙන් ඇමෙරිකාව විවේචනය කළේය. කලාපීය අභිලාෂවලට සහ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් යැයි ද චීනය පෙන්වාදුන්නේය.
කෙසේ නමුත් ඇමෙරිකානු සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ සිටීමෙන් චීනයට විවිධාකාරයෙන් වාසි හා ප්‍රතිලාභ ලැබිණි.
ඇමෙරිකාව සහ නේටා හමුදා ඇෆ්ගනිස්තානය තුළ සිටීම හේතුවෙන් චීනයට සිය බී.ආර්.අයි. ව්‍යාපෘතිය පාකිස්තානයේ බලුකිස්තාන් පළාතටත් මධ්‍යම ආසියාවටත් ව්‍යාප්ත කරගැනීමට හැකියාව ලැබිණි.
එමෙන්ම එම හමුදා ඇෆ්ගනිස්තානය සිටීම හේතුවෙන් චීනයට ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් වද වීමට අවශ්‍ය නොවීය. ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයෙන් නික්මීමත් සමඟ මේ තත්ත්වය වෙනස් වේ.
ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයේ සිටීම හේතුවෙන් චීනය ජිහාද්වාදීන් නිරාවරණය නොවීය.
෴ හර්ෂණ තුෂාර සිල්වා