චීන ගගනගාමීන් තිදෙනෙක් උඩුගුවනට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 17, 2021

චීන ගගනගාමීන් තිදෙනෙක් උඩුගුවනට

'කොවිඩ් 19' වසංගතයෙන් ලෝකය හෙම්බත්ව සිටිද්දී, ලෝක බලවතුන් වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවී, එදිරිවාදිකම් මඟ හරවා ගැනීම සාකච්ඡා පවත්වද්දී, චීනය ගගන මෙහෙයුමකට සූදානම් විය. ඒ ගගනගාමීන් තිදෙනකු උඩු ගුවනට යැවීමටය. එම මෙහෙයුම ඊයේ (17) ක්‍රියාත්මක විය. ඒ, චීනයේ වේලාවෙන් 9.22 ටය. ගගනගාමීන් තිදෙනා උඩු ගුවනට රැගෙන ගියේ 'ෂෙන්චෞ-12' නමැති ගගන කැප්සියුලයයි. චීන ගගනගාමීන් මෙසේ අභ්‍යවකාශ මෙහෙයුමකට එක් වූයේ වසර 5 කට පසුවය.

'ෂෙන්චෞ-12' කැප්සියුලය‍ 'ලොංග් මාච්2එෆ්.වයි12' රොකට්ටුවට සම්බන්ධ කර තිබුණි. පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී පෘථිවි කක්ෂයට කැප්සියුලය තල්ලු කිරීම කළේ 'ලොංග් මාච්2එෆ්.වයි12' රොකට්ටුවය. 'ෂෙන්චෞ-12' කැප්සියුලය මෙන්ම 'ලොංග් මාච්2එෆ්.වයි12' රොකට්ටුව ද චීනයේ ඉන්ජිනේරු විස්කම්ය‍. චීනය ඔවුන්ගේ ගගන කටයුතුවලට භාවිතා කරන 'ලොංග් මාච්' රොකට් කිහිපයකි. චීනයේ වේලාවෙන් ඊයේ (17) සවස 3.54 ට 'ලොංග් මාච්2එෆ්.වයි12' රොකට්ටුවෙන් මිදී වෙන් වුණු 'ෂෙන්චෞ-12' කැප්සියුලය, පෘථිවි කක්ෂයේ පහළින් රඳවා තිබුණු 'ටියැන්හේ' නමැති කොටස එසේත් නැතිනම් මොඩියුලය සමඟ එක් විය. තමන් ඇමෙරිකාවට නොදෙවැනි බව පෙන්වමින් චීනය කළ මෙම හපන්කම සැබැවින්ම සුවිශේෂී එකකි.

කොතරම් තාක්ෂණය දියුණු වුවත්, අභ්‍යවකාශ ගමන් අවදානම්ය. දශමයකින් හෝ වැරදීමක් සිදුවුවහොත් ගගනගාමීන්ගේ ජීවිත අනතුරේ වැටෙයි. ජීවිතය පරදුවට තබා 'ෂෙන්චෞ-12' කැප්සියුලයට නැගී, පෘථිවි කක්ෂයට ගිය ගගනගාමීන් තිදෙනා නී හෙයිසිං, ලීයු බෝමිං සහ තාංග් හොංග්බෝ ය. 56 හැවිරිදි නී හෙයිසිං, චීන ගුවන් හමුදා නියමුවකු ලෙස සේවය කළ අයෙකි. අත්දැකීම් බහුල චීන ගගනගාමියෙකි. චීනය, අභ්‍යවකාශයට යැවූ වයස්ගතම ගගනගාමියා වන්නේ ද මොහුය. ගගනගාමීන් තිදෙනා රැගත් 'ෂෙන්චෞ-12'  කැප්සියුලය සහ රොකට්ටුව ගුවන්ගත කෙරුණේ වයඹදිග චීනයේ ගංෂූ පළාතේ ජිකුවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් යනු අලුත් දෙයක් නොවෙයි. පළමුවෙන් නැවැතුම්පොළක් ඉදිකළේ සෝවියට් දේශයයි. එය 'මීර්' ය. 1986 වසරේ සිට 2001 තෙක් 'මීර්' අභ්‍යවකාශ නැවැතුම්පොළ ක්‍රියාකාරීව පැවැතිණි. මේ අතරතුරේ, ඇමෙරිකාවේ නාසා ආයතනය, රුසියන් අභ්‍යවකාශ ආයතනය (රොස්කොස්මොස්), යුරෝපා අභ්‍යවකාශ ආයතනය, ජපාන අභ්‍යවකාශ ආයතනය අත්වැල් බඳ ගනිමින් මොඩියුල රැසක් එක් කර දැවැන්ත අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කළේය. 1998 වසරේ දී මෙහි කටයුකු ආරම්භ විය. අද අප හොඳින් දන්නා 'ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ' මෙයයි. මාස 6 කට වරක් ගගනගාමීහු මාරුවෙන් මාරුවට මෙම නැවතුම්පොළේ රැදී සිටිමින් එය පවත්වාගෙන යෑම සිදු කරති. විවිධාකාරයේ පර්යේෂණවල කටයුතු සිදු කරති.

චීනය සහ බටහිර ලෝකය අතර මත ගැටුම් පවතී. එහෙයින්, ජාත්‍යන්තර අභ්‍යවකාශය ඉදි කිරීමට හෝ එහි කටයුතු සඳහා හෝ චීනය හවුල් කර ගැනීමක් සිදු නොවිණි. චීනය සම්බන්ධ වෙනවාට ඇමෙරිකාවේ වැඩි කැමැත්තක් ද නැත. චීනය තමන්ගේම කියා අභ්‍යවකාශ නැවතුම්පොළක් ඉදි කිරීම ආරම්භ කර ඇත්තේ මේ නිසාය. ආසියානු රටක් ඉදි කරන පළමු අභ්‍යවකාශ නැවැතුම්පොළ වන්නේ ද මෙයයි. චීනය ඉදිරියේ දී ඇමෙරිකාවට අභියෝගයක් වෙමින් සඳ මතුපිට ද නවාතැන් පොළක් ඉදි කිරීමට සැරසෙයි. ඒ, තව වසර 20 කින් හෝ 25 කින් පමණය. අඟහරු ග්‍රහයාට ගගනගාමීන් යැවීමට ද චීනය සූදානම් වෙයි. ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු වෙත මිනිසුන් යැවීමට සූදානම් වන්නේ 2030 වසරෙන් පසුවය. මේ වනවිටත් චීනය, නාසා ආයතනයට අභියෝග කරමින්, අඟහරු ග්‍රහයා මතට යැවූ රොබෝ රෝවර් යානය අඟහරු මතුපිට දත්ත රැස්කිරීම සිදු කරයි. චීනය අඟහරු වෙත රෝවර් යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි. 

චීනය ඉදිකරමින් පවතින ඔවුන්ගේ නව අභ්‍යවකාශ නැවැතුම්පොළ නම් කර ඇත්තේ 'ටියැංගොන්' යන නමිනි. එහි අර්ථය 'ස්වර්ගයේ මාලිගාව' යන්නය. චීනය, 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කරන්නේ එහි ප්‍රධාන කොටස් තුන එසේත් නැතිනම් මොඩියුල තුන අවස්ථා කීපයකදී පෘථිවි කක්ෂයට යැවීමෙනි. නැවැතුම්පොළේ ප්‍රධාන කොටස වන 'ටියැන්හේ' මොඩියුලය පෘථිවි කක්ෂයට යැවීම සිදු වූයේ පසුගිය අප්‍රේල් 29 වැනිදාය. 'ටියැන්හේ' මොඩියුලය සමඟ ඉදිරියේ දී එක් කෙරන අනෙක් මොඩියුල දෙක වන්නේ 'වෙන්ටියැං' සහ 'මෙංග්ටියැං' ය. ඊට අමතරව, 'සුන්ටියැං' නමැති අභ්‍යවකාශ දුරේක්ෂය ද නැවැතුම්පොළට සවි කිරීමට සූදානම්ය.

පසුගිය මැයි මාසයේ, පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට් කැබැල්ලක් පොළොවට පතිත විය. එම රොකට් කැබැල්ල කොතැනකට පතිත වේවිදැයි කල්තියා කීමට හැකියාවක් නොලැබුණි නිසා ඒ ගැන බියක් ද නිර්මාණය විය. කෙසේ නමුත් අවසානයේ කාටවත් අනතුරක් නොවී එම රොකට් කැබැල්ල වායුගෝලය හරහා එද්දී ගිනිගෙන දැවී මූදට වැටුණි. පාලනයෙන් ගිලිහී එසේ පහළට වැටුණේ පසුගිය අප්‍රේල් 29 වැනිදා 'ටියැන්හේ' මොඩියුල පෘථිවි කක්ෂයට ගොස් මුදා හැරිය 'ලොංග් මාච්' රොකට්ටුවේ කැබැල්ලකි.

පෘථිවි කක්ෂයේ රැඳවූ 'ටියැන්හේ' මොඩියුලය මීටර් 16.6 ක් දිග සිලින්ඩරාකාර කොටසකි. පළල මීටර් 4 කි. ගගනගාමීන් මාස 3 ක කාලයේ මොඩියුලයේ රුඳී සිටිමින් ඉදිකිරීම් කටයුතුවල නියළෙනු ඇත. නැවැතුම්පොළේ කටයුතු ලබන 2022 වසර අවසන් වෙද්දී සම්පූර්ණ කිරීමට චීනය අපේක්ෂා කරයි. ඉන්පසු මාස හයෙන් හයට මාරුවෙන් මාරුවට චීන ගගනගාමීන් තිදෙනා බැගින් නැවැතුම්පොළට යෑමටත් ඒමටත් නියමිතය. ඉදිකිරීම් සම්පූර්ණ කෙරෙන 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ ආයු කාලය අවුරුදු 15 ක් යැයි පැවැසෙයි. 'ටියැංගොන්' නැවැතුම්පොළ රැඳවීම සිදුවන්නේ කිලෝ මීටර් 340 ත් 400 ත් අතර උසකින් උඩු ගුවනේය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇත්තේ කිලෝ මීටර් 408 ක් උසිනි. 'ටියැංගොන්' නැවැතුම්පොළ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ තරම් දැවැන්ත එකක් නොවෙයි. 'ෂෙන්චෞ-12' ගගන කැප්සියුලයෙන් 'ටියැන්හේ' මොඩියුලය හා සම්බන්ධ වුණු ගගනගාමීන් තිදෙනා ආපසු පෘථිවය බලා පැමිණෙන්නේ ද එම කැප්සියුලයෙනි. නැවැතුම්පොළ ඉදිකිරීම සඳහා ඉදිරියේ දී සිදුවන මෙහෙයුම්වලින් මෙහෙයුම් 4 කට ගගනගාමීන් සම්බන්ධ කර ගැනීමට ද චීන අභ්‍යවකාශ ආයතනය සූදානමින් සිටී.

චීනය ඔවුන්ගේ මේ අභ්‍යවකාශ නැවැතුම්පොළ මාධ්‍ය වෙත හඳුන්වා දී ඇත්තේ තමන්ගේ 'අභ්‍යවකාශ නිවස' ලෙසය. මෙය චීනයට පමණක් නොව සියලු මනුෂ්‍ය වර්ගයාට ප්‍රයෝජනවත් නැවැතුම්පොළක් වනු ඇතැයි චීන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. චීනයේ මෙම වික්‍රමය, මේ වනවිට ලොව කාගේත් කතාබහට හේතුවක් වී ඇත. 'චීනය දිනෙන් දින ලෝක බලවතකු වෙනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ. දැන් ඔවුන් අභ්‍යවකාශයේ ද ආධිපත්‍ය පතුරුවන්න පටන් ගෙන. අතීතයේ නිරවි යුද සමයේ අභ්‍යවකාශය වෙනුවෙන් සහ සඳ තරණය වෙනුවෙන් සටන් කළේ ඇමෙරිකාව සහ සෝවියට් දේශයයි. එයින් ජයග්‍රහණය කළේ ඇමෙරිකාව. ඇමෙරිකාවේ මීළඟ ඉලක්කය  2024 දී යළි සඳ තරණය සහ සඳ මතුපිට ජනාවාස පිහිටුවීමයි. ඉන්පසු ඔවුන් අඟහරු ග්‍රහයාට මිනිසුන් යැවීම සිදු කරනු ඇත. ඉදිරියේ දී චීනයේ ඉලක්කය ද අඟහරු තරණයයි. ඒ නිසා ඇමෙරිකාව සහ චීනය අතරේ තරගයක් පවතිනු ඇත.' යැයි ඇමෙරිකාවේ හාවඩ් ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පෙන්වා දෙයි.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom