

දූපතේ ජීවිතේ
හුදෙකලා වුණු දූපත්වල ප්‍රමාණයෙන් විශාල සතුන් දකින්න නොලැබුණත්, වසර මිලියන හතරක් තිස්සේ කොමොඩෝ දූපතේ ආධිපත්‍ය පතුරුවාලීමට කොමෝඩෝ මකරු සමත් වී සිටිති. පුංචි දූපතක සීමිත ආහාර ප්‍රමාණයකින්, මෙවැනි යෝධයන් ජීවත් වන්නේ කෙසේදැයි යන්න ප්‍රශ්නාර්ථයකි. කෙසේ නමුත් කොමෝඩෝ යනු උරග විශේෂයකි. උරගයන් චලතාපී ජීවීන්ය. අචලතාපී ක්ෂීරපායී මාංශභක්ෂකයන් මෙන් නොව, චලතාපී කොමෝඩෝ මකරුන්ට අවශ්‍ය වන ආහාර ප්‍රමාණය ඉතා සීමිතය. එක ගොදුරක් එක් මකරකුට මාස ගණනකට ප්‍රමාණවත් වෙයි. ඒ අනුව, කොමෝඩෝ මකරුන් බොහොම අපූරුවට ඔවුන්ගේ ජීවිත හැඩගස්වාගෙන ඇත. කොමෝඩෝ දූපතේ කොමෝඩෝ මකරුන්ට තර්ජනයක් හෝ අභියෝගයක් හෝ එල්ල වන්නේ නම්, ඒ, කොමෝඩෝ මකරුන්ගෙන්ම පමණය. කෙමෝඩෝ දූපතේ කොමෝඩෝ මකරුන්ගේ ගහනය 2,000 ක් පමණය.




මකරු
ඉන්දුනීසියා බසින් කොමෝඩෝ දූපත හැඳින්වෙන්නේ ‘පුලෝ කොමෝඩෝ’ යනුවෙනි. ඉන්දුනීසියාවට දූපත් 17,508 ක් අයත් වන අතර, කොමෝඩෝ දූපත එයින් එකකි. කොමෝඩෝ දූපතේ මිනිසුන් පවා පදිංචි වී සිටී. ඒ බොහොම සුළු පිරිසකි. අතීතයේ මේ දූපත හිර කඳවුරක් විය. අපරාධකරුවන් මෙම දූපතට පිටුවහල් කෙරුණු බව පැවැසෙයි. අද දූපතේ ජීවත් වන බව පැවැසෙන්නේ, අතීතයේ එසේ පිටුවහල් කළ අපරාධකරුවන්ගේ පරම්පරාවෙන් පැවැත එන්නන්ය. ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ ‘බුගිස්’ සුළු ජාතිකයන් මෙම දූපතේ දකින්න ලැබේ. බොහෝ දෙනකු ඉස්ලාම් දහම අදහන අතර, ක්‍රිස්තියානි සහ හින්දු ජාතිකයෝ ද වෙති. දූපත් වාසීන්ගෙන් මකරුන්ටවත්, මකරුන්ගෙන් දූපත්වාසීන්ටවත් කරදරයක් නැත. කොමෝඩෝ මකරුන් සිටින අඩවියට මිනිසුන් යන්නේ ද නැත. වැරදීමකින් හෝ එසේ ගොස් කැළයේ අතරමං වන කිසිවකු ආපසු පැමිණෙන්නේ ද නැත. කොමෝඩෝ දූපතේ ‘මකරුන්’ සිටිනවා යැයි කතාන්දර ගෙතෙන්න වූයේ ඈත අතීතයේ සිටය. බටහිර නාවිකයෝ මේ ගැන උනන්දු වුවත්, ඔවුහු දූපතට ගොස් ඇත්ත නැත්ත සෙවීමට මැලි වූහ. 1910 දී ඕලන්ද නාවිකයන් පිරිසක් දූපතට ගොස් ගවේෂණයක යෙදුණු අතර, මකරුන් හා සමාන යෝධ උරගයන් මුලින්ම දුටු විදේශිකයන් වන්නේ මොවුන්ය. කොමෝඩෝ දූපත ජීවයෙන් පිරුණු තැනකි. කුළු හරක්, මීමින්නන්, මුවන්, ගෝනුන් ආදී සත්තු මෙහි ජීවත් වෙති. දූපතේ ආධිපත්‍ය පතුරුවන ප්‍රමුඛතම විලෝපිකයා කොමෝඩෝය. කොමෝඩෝ මකරුන් කරන්නේ මුවකු හෝ කළු හරකකු ගොදුරු කර ගැනීමට අවශ්‍ය වූ විට සෙමින් සෙමින් ඒ ගොදුර වෙත ඇදීමය. ගොදුර ළඟට විත් කොමෝඩෝ ඒ ගොදුර සපයි. ගොදුර පැන දුවයි. කොමෝඩෝ මකරා කලබල නැතිව සෙමින් ගොදුර පසුපස යයි. විනාඩි කීපයක් ගතවෙද්දී ගොදුර මැරී වැටෙයි. ඒ, කොමෝඩෝ මකරාගේ කෙළ විස සහිත නිසාය.




සහකාරියක්
අපේ කතාවට අදාල කොමෝඩෝ මකර යෝධයා ඇදෙන්නේ ආහාර සොයා නොවෙයි. ඔහුට අවශ්‍ය සහකාරියකි. කොමෝඩෝ මකරුන්ගේ ගැහැනු සතුන්ට පිරිමි සතුන් අවශ්‍ය වන්නේ වසරේ එක් වරක් පමණි. සෑම පිරිමි කොමෝඩෝ මකරකුටම ගැහැනු සතකු ලැබෙන්නේ නැත. කොමෝඩෝ මකරුන් අතර වර්ගයා බෝ කිරීමට අවස්ථාව ලැබෙන්නේ ශක්තිවන්තයන්ට පමණි. ආහාර වෙනුවෙන් පමණක් නොව, ගැහැනු සතුන් වෙනුවෙන් ද පවතින්නේ සටනකි. කොමෝඩෝ ගැහැනු සතකු දැක කොමෝඩෝ මකරා සෙමින් සෙමින් ඇය වෙත ඇදෙයි. පැලුණු දිග දිව එළියට දමමින් ඌ ඇය වටා කැරැකී බලයි. ඇගේ කැමැත්ත විමසයි. ඇගේ අකමැත්තක් නැත. තියුණු නියවලින් ඇගේ සවිමත් සම ස්පර්ශ කරයි. ඊට ද ඇගේ අකමැත්තක් නැත. එහෙත්, හිටිහැටියේ පදුරු අතරින් යෝධයෙකු මතුවෙයි. ඒ දැවැන්ත කොමෝඩෝ පිරිමි සතෙකි. මේ වැයික්කිය උගේය. ගැහැනු සතාගේ අයිතය ඇත්තේ ද මේ දැවැන්තයාටය. ගැහැනු සතා කැමැති වුනත්, ගැහැනු සතාට වෙන පිරිමි සතකු කිට්ටු වෙනවාට මේ දැවැන්තයා කැමැති නැත.
බිහිසුණු සටනක්
ගැහැනු සතා වෙනුවෙන් කොමෝඩෝ මකරුන් දෙදෙනා සටන අරඹයි. සිරුරේ හැපෙමින්, වල්ගය එසේ නැතිනම් බාවෙන් පහර දෙමින්, කොමෝඩෝ මකරුන් දෙදෙනා බිහිසුණු ලෙස සටන් වදී. තණ කොළ පොඩි පට්ටම් කරමින්, දූවිලි අවුස්සමින් දෙදෙනා පොර අල්ලයි. බාවෙන් එල්ල වන පහර ඉතා දරුණුය. සිරුරු තුවාල කර ගනිමින් දෙදෙනා පොර අල්ලයි. අරමුණ වන්නේ ශක්තිවන්තයා අනෙකා පරාජය කිරීමය. සටන මල්ලව පොරයකි. ප්‍රබලයා, දුබලයා පෙරළා දැමීම කළ යුතුවෙයි. විනාඩි විස්සක පමණ කාලයක බිහිසුණු සටනකින් පසු, ලේ සහිත සිරුරුවලින් යුත් කොමෝඩෝ මකරුන් දෙදෙනාගෙන් ශක්තිවන්තයා දුර්වලයා බිමට පෙරළා ගනී. දුර්වලයා යටත් වෙයි. ප්‍රබලයාට දිනුම පමණක් නොව, සහකාරියක ද හිමිවෙයි. සත්ව ලෝකයේ ගැහැනු සතුන් සැමවිටම එක් වන්නේ ප්‍රබල පිරිමි සත්වයන් සමඟ පමණි. එය ඉතා වැදගත්ය. හොඳ ශක්තිමත් පරම්පරාවක් බිමි කිරීමට එය උපකාරී වෙයි. බිහිසුණු කොමෝඩෝ මකරුන්ගේ පැවැත්ම තීරණය කරන සුවිශේෂී සාධකය එයයි.