නිලධාරිනියකට හාදු දුන් සෞඛ්‍ය ඇමැති ගෙදර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 27, 2021

නිලධාරිනියකට හාදු දුන් සෞඛ්‍ය ඇමැති ගෙදර

'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, පුද්ගල දුරස්ථභාවය රැක ගන්නැයි සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට නොගෙන, කාර්යාල මිතුරියක සිපගත්තේ යැයි චෝදනාවට ලක්වූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් (ඇමැති) මැට් හැන්කොක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. 

මැට් හැන්කොක්, රජකාරි වේලාවේ, සෞඛ්‍ය අමත්‍යාංශය තුළ දී සිපගෙන ඇත්තේ සෞඛ්‍ය අමත්‍යාංශයේ විධායක නොවන උපදේශිකාවක ලෙස රාජකාරි කරන ජීනා කොලඩැන්ගෙලෝ ය. 
පසුගිය මැයි 6 වැනිදා දෙදෙනා සිප ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප බ්‍රිතාන්‍ය වැසියන්ට අනාවරණය කළේ එරට 'ද සන්' මාධ්‍ය ජාලයයි. 

'සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නැයි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙද්දී, සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය අමත්‍යාංශයේ උපදේශිකාව සිපගන්නවා' යන සිරස්තල යටතේ ඉන්පසු බ්‍රිතාන්‍ය පුවත්පත් හරහා මැට් හැක්කොක් ට විරෝධයක් එල්ල වීමට පටන් ගත්තේඉන්පසුවය. 

'මා කළේ වරදක්. කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ජනතාව බොහෝ කැප කිරීම් කරද්දී, මා මගේ පුද්ගලික හැඟීම්වලට වහල්වීම වරදක් බව මට තේරෙනවා.' යැයි සිය ඉල්ලා අස්වීමේ ලිපිය, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට යොමු කරමින් මැට් හැන්කොක් පවසා තිබේ. 

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ, මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය කනගාටුවට කරුණක් බවය. 42 හැවිරිදි මැට් හැන්කොක්, වසර 15 ක් තිස්සේ විවාහ වී සිටියේ මාර්තා සමඟය. 

කෙසේ නමුත් ඔහු මේ වනවිට ඇයගෙන් වෙන්වී සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. මැට් හැන්කොක් ට දරුවන් තිදෙනෙකි. ජීනා කොලඩැන්ගෙලෝ ද තිදරු මවකි. මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ අවස්ථාවේදී තමන් ද සෞඛ්‍ය අමත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත් වන බව 43 හැවිරිදි ජීනා මාධ්‍ය හමුවේ පැවැසුවාය. 
ජීනා කොලඩැන්ගෙලෝ කෝටිපති ව්‍යාපාරික කාන්තාවකි. බ්‍රිතාන්‍යයේ පමණක් නොව යුරෝපා රටවලත් අතිශය ජනප්‍රිය ඔන්ලයින් රෙදිපිලි අලෙවි කරන සමාගමක් වන 'ඔලිවර් බොනාස්' සමාගම ආරම්භ කළ ඔලිවර් ට්‍රෙස්ගේ බිරිඳ වන්නේ ජීනා ය. 

ජීනා, 'ඔලිවර් බොනාස්' සමාගමේ සන්නිවේදන කටයුතු ප්‍රධානියා ලෙස ද කටයුතු කරන අතර, ඇය එම සමාගමේ කොටස්කාරියකි. ඊට අමතරව, ජීනා බ්‍රිතාන්‍ය රාජ්‍ය අමත්‍යාංශ සඳහා පෞද්ගලික අංශයේ සේවාදායකයන් සම්බන්ධ කරන 'ලූතර් පෙන්ඩ්‍රැගන්' සමාගමේ ද කොටස්කාරියක වන්නීය. 

ජීනා කොලඩැන්ගෙලෝ සෞඛ්‍ය අමත්‍යාංශයේ විධායක නොවන උපදේශිකාවක ලෙස පත් කළේ ද මැට් හැන්කොක් ය. ඒ, පසුගිය වසරේ මාර්තු මාසයේදීය.

බ්‍රිතාන්‍ය පුවත් සේවා පෙන්වා දෙන අන්දමට මැට් හැන්කොක් සහ ජීනා කොලඩැන්ගෙලෝ එකිනෙකා දැන හඳුනන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යලයේ අධ්‍යාපනය ලබද්දීය. 

 ජීනා, වසර ගණනාවක් තිස්සේ තමන්ගේ සමීපතම මිතුරියක යැයි මැට් හැන්කොක් අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමුවේ පවසා ඇත. සෞඛ්‍ය ලේකම් ධුරයෙන් මැට් හැන්කොක් ඉවත් වීමත් සමඟ නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස සජීද් ජාවිද් පත් කළ බව ද වාර්තා වේ.

The SUN

Classified_Ad

Classified_Ad_News_Bottom