උතුරු කොරියාවටත් කොරෝනා රිංගලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 30, 2021

උතුරු කොරියාවටත් කොරෝනා රිංගලා

දේශසීමා වසා දමා දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කළත්, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය, උතුරු කොරියාවට ව්‍යාප්ත වී ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය අද (30) වාර්තා කළේය. 

උතුරු කොරියාව, දකුණු කොරියාවට, චීනයට සහ රුසියාවට ද මායිම් වෙයි. ඇමෙරිකන් සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව සමීප සබඳතා පවත්වන්නේ චීනය සමඟය. 'කොවිඩ් 19' වයිරසය ආරම්භ වූයේ චීනයෙනි. 

වයිරසයේ බිහිසුණු බව අවබෝධ කරගත් සැණින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ උපදෙස් මත දේශසීමා වසා දැමුණි. ඒ, පසුගිය 2020 ජනවාරියේය. දේශසීමා ආරක්ෂාවට හමුදාව යෙදවිණි. 

අනවරයෙන් දේශසීමා පසු කර උතුරු කොරියාව දෙසට ආ දකුණු කොරියානුවන් කීප දෙනකුට උතුරු කොරියා හමුදාව වෙඩි තැබීය. මරා දැමූ එම පුද්ගලයන්ගේ සිරුරු පවා එම ස්ථානයේදීම පුළුස්සා දැමීම කළ බව ද වාර්තා විය. 

ඇමෙරිකාවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ එරට 'හිතුවක්කාර' න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වී ඇති බැවිනි. සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවේ ඖෂධ හිඟයක් පවතී. උතුරු කොරියාවේ ප්‍රමුඛත්වය හිමිවන්නේ එරට හමුදාවට සහ න්‍යෂ්ටික වැඩසටහනටය. 

උතුරු කොරියාව අභ්‍යවකාශ වැඩසටහන් පවා ආරම්භ කර තිබේ. එසේ වුවත් උතුරු කොරියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පවතින්නේ නොදියුණු මට්ටමකය. මේ වනවිට උතුරු කොරියානුවන් සාගතයකට මුහුණ පා සිටින බව ද පැවැසෙයි. දේශසීමා වසා දමා ඇති බැවින් චීනයෙන් හෝ රුසියාවෙන් හෝ ආධාර නොලැබෙන බව ද පැවැසෙයි. 

'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් උතුරු කොරියාවේ ඇති වුවහොත් එය ඉතා බිහිසුණු වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි. දකුණු කොරියා මාධ්‍ය අද (30) වාර්තා කළ අන්දමට, උතුරු කොරියානු සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන්, වයිරසය උතුරු කොරියාවට ව්‍යාප්ත වී ඇත. 

ඒ බව දැනගත් සැණින්, රජයේ ඉහළ නිලධාරීන් කීප දෙනකු මෙන්ම සෞඛ්‍ය ප්‍රධානීන් කීප දෙනකු වහා ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමට නායක කිම් ජොන් උන් කටයුතු කළ බව පැවැසෙයි. 

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ මෙතෙක් කිසිවක් අනාවරණය කර නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, උතුරු කොරියාවෙන් තවමත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය, 'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන්, උතුරු කොරියානු සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ වී දෛනික දත්ත ලබා ගන්නා බව ද වාර්තා වේ.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom