කල්පිටියේ සුන්දරත්වය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 5, 2021

කල්පිටියේ සුන්දරත්වය

කල්පිටිය යනු පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි තිබෙන සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියන මනස්කාන්ත පරිසර කලාපයකි. පුත්තලමේ සිට, 35Km ක් පමණ දුරක් ගෙවා, කල්පිටියට ළඟා විය හැක.

දහවල් තද අව් රශ්මියක් පැවැතුණත්, මුහුදින් හා කලපුව දෙසින් හමන සුළං දහරා ඔබේ ගිමන් නිවාලයි. කල්පිටිය වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිතව ඇත්තේ ඩොල්ෆින් මසුන් නැරඹීමට හැකි සුන්දර මුහුදු කලාපයක් ලෙසය. 

මෙහි ජනතාවගේ ජීවනෝපාය ධීවර කර්මාන්තයයි. කල්පිටිය කරවල ප්‍රසිද්ධියක් උසුලන්නේ ද ඒ නිසාය.
ඩොල්ෆින් නැරඹීම මූලික අරමුණ කරගත් නිසාවෙන් කලින් දින දහවල් කොළඹින් පිටත් වී සවස් වන විට කල්පිටියට ළඟා වීමට අපේ සංචාරක නඩයට හැකි විය. 

ගමන් මඟ දෙපස ඇති විශාල සුළං මෝල් අපූරු සුන්දරත්වයක් මවයි. තවද, ලංකාවේ විශාලතම විදුලි බලාගාරයක් වන නොරොච්චෝලෙයි ලක්විජය විදුලි බලාගාරය ද දැක බලා ගැනීමට අපට අවස්ථාව ලැබුණි. 

පැය තුන හමාරක් පමණ කාලයක් මග ගෙවා පැමිණි අපට වැලි අතුල තල් ගස් අරණකින් සමන්විත මාවත් ඔස්සේ අපගේ හෝටල් නිවහන සොයා යෑමට හැකි විය. හොටලයේ ආගන්තුක සත්කාර විඳීමෙන්, හිරු බැසයන සුන්දරත්වය විඳිමින් සවස් කාලය ගෙවී ගියේ අපටත් නොඳැනීමය. 
ඉර අවරට යත්ම‍ දැල් අදින ධීවරයින් කල්පිටිය වෙරළේ සුලබ දසුනකි. පසුදින උදෑසනින් අවදිව, යුහුසුලුව, ලෑස්ති වූ  අප, උදෑසන තේ පානයෙන් පමණක් කුස පුරවා ගත්තේ, හොටල් සේවක මහතුන්ගේ උපදෙස් පරිදි පැය කීපයක මුහුදු ගමනකට සූදානම් විය යුතු නිසාවෙනි. 

මුහුදු වෙරළට පැමිණි අපට දැක ගත හැකිවූයේ රාත්‍රිය පුරා අහරක් නොමැතිව සිට වෙරළ අද්දර ගොදුරු සොයන මුහුදු ලිහිණින්ය. කලින් වෙන් කරවා ගත් පරිදි, පසුදින උදෑසනින්ම ඩොල්ෆින් මසුන් නැරඹීම සඳහා බෝට්ටු පහසුකම් ලැබුණු අතර, අප ඈත දියඹ වෙත සුරක්ෂිතව රැගෙන යනු ලැබුණි. 

දෙපැයකුත් අඩ හෝරාවක් ගතව ගියේ අප ඩොල්ෆින් මත්ස්‍ය ලෝකයේ අපටත් නොදැනීම අතරමං කරවමිනි. කරණම් ගසමින් රංචු පිටින් පිහිනා යන මෙම සුරතල් සතුන්ගේ වික්‍රම නිසාවෙන් කැමරා කාචයට නම් කිසිම අස්වැසිල්ලක් ලැබුනේම නැත. 
සුන්දර මුහුදු ගමනකින් පසු නැවතත් කොළඹ බලා පිටත් වූ අපි, කල්පිටිය ලන්දේසි බල කොටුවට ද ගොඩ වීමු. 

කල්පිටි ගොස් කල්පිටි කරවල ගෙදර ගෙන ඒමට නොහැකි වුවහොත් කන්වල ඇබ ගසා සිටීමට සිදුවන නිසාවෙන්ම, අපි සියළු සුගන්ධයන් උසුලා කරවලත් රථයට නංවා ගතිමු. 

පරිසර මිහිරියාව විදිමින් හෝරා කිහිපයක් මග ගෙවා දමමින් නැවතත් සුරක්ෂිතව අපි නිවෙස් කරා පැමිණියෙමු.

අප මෙන්ම කල්පිටියෙ හි සුන්දරත්වය නැරඹීමට බලාපොරොත්තු වන ඔබ පා සලකුණු පමණක් තබා ඒමට වග බලාගන්න. ඒ මක් නිසාද යත් මෙම පරිසරය අප අනාගතයෙන් ණයට ගත් සම්පතක් බැවිනි. 

  සටහන සහ සේයා රූ 
෴ තනූජා කරුණාරත්න

Classified_Ad

Classified_Ad_News_Bottom