ඉරාකයේ හමුදා මෙහෙයුම් අවසන් - බයිඩන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 27, 2021

ඉරාකයේ හමුදා මෙහෙයුම් අවසන් - බයිඩන්

මෙම වසර අවසන් වීමට පෙර ඉරාකයේ ඇමෙරිකන් හමුදා මෙහෙයුම් සියල්ල අවසන් කරන බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ධවල මන්දිරයට පැමිණි ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩීමී හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය. 

 ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩීමී, ජනාධිපති ජෝ බයිඩන්ගේ ආරාධනාවකට අනුව, ධවල මන්දිරයට පැමිණි අතර, දෙදෙනා අතරේ ඉරාකයේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඕවල් කාර්යාලයේදීය. මුස්තාෆා අල් කඩීමී, ඉරාක ජාතික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියාය. ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ පසුගිය 2020 වසරේ පැවැති මහ මැතිවරණයෙනි. 

මුස්තාෆා අල් කඩීමී සහ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි. 'ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම් අවසන් කළ අයුරින්, ඉරාකයේ ඇමෙරිකන් හමුදා මෙහෙයුම් ද මෙම 2021 වසරේදී අවසන් කරනවා. ඉදිරියේ දී අපේ සහාය ඉරාක රජයටත් හමුදාවටත් ලැබෙනවා. ඒ ඉරාක ආරක්ෂක අංශ පුහුණු කිරීමට සහ ආරක්ෂක උපදේශකවරුන් ලෙස පමණි. 

ඉරාකයේ යළි අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ගේ පිබිදීමක් පෙන්නුම් කරනවා. ඊට මුහුණ දෙන්න ඉරාක රජයට සහ හමුදාවට අප උදව් ලබා දෙනවා. ඒත් ඉරාකයේ යුදමය කටයුතුවලට මින් ඉදිරියට ඇමෙරිකාව දායක වන්නේ නැහැ' යැයි ඉරාක අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. මේ වනවිට ඉරාකයේ රඳවා ඇති ඇමෙරිකන් සෙබළුන් ගණන 2,500 කි. 

පසුගිය කාලයේ අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් ඉරාකයේ සිට ඔවුන්ගේ ආධිපත්‍ය පතුරුවා ගනිද්දී, ඉරාක හමුදාවට සහාය වෙමින් අයි.එස්. ත්‍රස්තයන් සමඟ සටන් කළේ මෙම සෙබළුන්ය. ඇමෙරිකන් හමුදා ඉරාකය ආක්‍රමණය කළේ 2003 වසරේදීය. ඒ, ඉරාකයේ නායක සදාම් හුසේන් සතුව විනාශකාරී රසායනික අවි සහ න්‍යෂ්ටික අවි ඇති බවට චෝදනා කරමිනි.

සදාම් හුසේන්ගේ රජය පෙරළා දමා ඉරාකය ආක්‍රමණය කළත් එවැනි විනාශකාරී අවි කිසිවක් ඇමෙරිකාවට හමුවූයේ නැත. 

ඉරාකයෙන් ආරම්භ වී සිරියාවට පැතිර ගිය අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කණ්ඩායම ආරම්භ කළේ සදාම් හුසේන්ගේ 'බාත්' දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අවි අතට ගනිමිනි. පසුව ඔවුන් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය ද අභිබවා යමින් ලොව ප්‍රධානතම ත්‍රස්ත සංවිධානය බවට පත් විය.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom