හයිටියට නව අගමැතිවරයෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 21, 2021

හයිටියට නව අගමැතිවරයෙක්

හයිටියේ අග්‍රාමාත්‍ය ධුරය, ඒරියල් හෙන්රිට හිමිවිය. ඒ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ක්ලෝඩ් ජොසෙප් බලය අතහැර ඒරියල් හෙන්රිට බලය පවරා දීමත් සමඟය. හයිටි ජනාධිපති ජොවෙනෙල් මෙයිස් පසුගිය ජූලි 7 වැනිදා ඝාතනය වීමත් සමඟ හයිටිය දේශපාලනික වශයෙන් අර්බුද රැසකට මුහුණ දෙමින් සිටී.

හයිටියේ මීළඟ අගමැති ලෙස එම ධුරයට ඒරියල් හෙන්රි නම් කළේ ජනාධිපති ජොවෙනෙල් මෙයිස්ය. ඒ, ජනාධිපතිවරයා ඝාතනයට ලක් වීමට දින දෙකකට පෙර ජූලි 5 වැනිදාය. ඒරියල් හෙන්රි, ධුරයට සුදුසු බව හයිටි පාර්ලිමේන්තුව අනුමත කළේය. 

කෙසේ නමුත්, අග්‍රාමාත්‍ය ධුරය හෙන්රිට පිරිනැමීමට පෙර ජනාධිපති ජොවෙනෙල් මෙයිස් ඝාතනය විය. හයිටියේ අග්‍රාමාත්‍යවරයා ලෙස ජාත්‍යන්තරය විසින් ද පිළිගනු ලැබ ඇත්තේ ඒරියල් හෙන්රිය. 'භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස මා මාගේ රාජකාරි අවසන් කරනවා. ජාත්‍යන්තරය ද පිළිගන්නා ඒරියල් හෙන්රි එම ධුරය බාර ගනීවි' යැයි ක්ලෝඩ් ජොසෙප් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය. 

තමන් මෙම තීරණය ගත්තේ හයිටි වැසියන්ගේ යහපත සඳහා යැයි ද ඔහු අවධාරණය කළේය. 71 හැවිරිදි ඒරියල් හෙන්රි, ස්නායු වෛද්‍යවරයකු ලෙස ද සේවය කළ අයෙකි. 2016 වසරේ සිට ඔහු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස එම ධුරය හොබවා තිබේ. ඒරියල් හෙන්රි නියෝජනය කරන්නේ මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංධානයයි. ඒරියල් හෙන්රි නායකත්වය දෙන්නේ එක්සත් දේශප්‍රේමී පක්ෂයටය. 

හයිටි ව්‍යවස්ථාවට අනුව, සියලු විධායක බලය ඇත්තේ ජනාධිපතිවරයාට වන අතර, අග්‍රාමාත්‍ය ධුරය සුදුස්සකු තෝරා පත් කිරීම සහ ඇමැති මණ්ඩලය පත් කිරීම සිදු කරන්නේ ජනාධිපතිවරයාය. ඒ පාර්ලිමේතුන්වේ අනුමැතිය ලැබීමෙන් පසුවය. 

කුලී හේවායන් කණ්ඩායමක්, ජොවෙනෙල් මෙයිස්ගේ නිල නිවසට කඩා වැදී ඔහුට වෙඩි තැබුවේ ජූලි 7 වැනිදා මැදියම් රාත්‍රියේය. වෙඩි වරුසාවකට ලක්වුණු ජනාධිපතිවරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ ජනාධිපති ආර්යාව මාටින්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි රෝහලකට ගෙන යන ලදී. 

ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ජනාධිපති ආර්යාව පසුගිය සති අන්තයේ යළි හයිටිය බලා පැමිණියාය. ජනාධිපති ආර්යාව ඇමෙරිකා රැගෙන යනු ලැබුවේත් පසුව ආපසු පැමිණියේත් ජනාධිපති ජොවෙනෙල් මෙයිස්ට අයත් පෞද්ගලික ජෙට් යානයෙනි. මාටින්, යළි හයිටිය බලා පැමිණියේ වෙඩි නොවඳින කබායක් පැලඳගෙනය.‍ 
ඝාතනයට ලක්වුණු ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිතය. 53 හැවිරිදි ජනාධිපතිවරයා ඝාතනය කළේ කොලොම්බියානු කුලී හේවායන් පිරිසකි. ඔවුන්ගෙන් වැඩි දෙනකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය. ඊට අමතරව, ජනාධිපතිවරයා ඝාතන සිද්ධියට සම්බන්ධ හයිටි ඇමෙරිකානුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ. 

ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය, හයිටි සහ කොලොම්බියා පොලිස් නිලධාරීන් සමඟ එක් වී, ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.  කොලොම්බියා පොලිස්පති ජෝර්ජ් වර්ගාස් පසුගිය දා අනාවරණය කළේ හයිටියේ හිටපු අධිකරණ ඇමැති ෆීලික්ස් බයිඩෝ, ජනාධිපති ජොවෙනෙල් මෙයිස් ඝාතනයට මෙම කුලී හේවායන් යොදවන්නට ඇති බවය.

 කුලී හේවායන් අතරේ සිටි දෙදෙනකු සමඟ ෆීලික්ස් බයිඩෝ සබඳතා පවත්වා ඇති බව ද මේ වනවිට අනාවරණය වී තිබේ. ඝාතනයට සම්බන්ධ තවත් 7 දෙනකු නිදැල්ලේ පසුවන බවත් ඔවුන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවත් හයිටි පොලිසිය වැඩිදුරටත් පවසා ඇත.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom