ඇෆ්ගනිස්තානය යළි එමිරේට්ස් රාජ්‍යයක් වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 17, 2021

ඇෆ්ගනිස්තානය යළි එමිරේට්ස් රාජ්‍යයක් වෙයි

තලේබාන්වරුන්ගේ පාලනය යටතේ ඇෆ්ගනිස්තානය යළිත් වරක් එමිරේට්ස් රාජ්‍යයක් බවට පත් විය. ඒ අනුව, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඇෆ්ගනිස්තානයට සකස් කර දුන් ව්‍යවස්ථාව ද අහෝසි වෙයි. 

ඇෆ්ගනිස්තානය හැඳින්වෙනු ඇත්තේ 'ඇෆ්ගන් ඉස්ලාමීය එමිරේට්ස්' රාජ්‍යය යන නමිනි. රටේ උත්තරීතර පාලකයා එසේත් නැතිනම් එමීර්වරයා ලෙස කටයුතු කරනු ඇත්තේ තලේබාන් සංවිධානයේ උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්සාදා ය. ජනාධිපති ධුරය තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ට හිමිවිය. 

වසර 20 කට පෙර ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමට පෙර, ඇෆ්ගනිස්තානය ෂරියා නීතියට යටත් එමිරේට්ස් රාජ්‍යයක් ලෙස පැවැතිණි. තලේබාන් පාලනය පැවැති අවදියේදීය. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා තලේබාන් පාලනය පෙරළා දැමීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ඇෆ්ගනිස්තානයට සකසා දී තිබුණි.
උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්සාදා 

උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්සාදා ඉස්ලාමීය නීති  විශාරදයෙකි. තලේබාන් සංවිධානයේ දේශපාලනික, ආගමික  සහ හමුදා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණය ඇත්තේ මොහු සතුවය. හයිබතුල්ලා අකුන්සාදා තලේබාන් නායකත්වයට පත් වූයේ 2016 වසරේදීය. ඒ, ඔහුට පෙර නායකයා ලෙස කටයුතු කළ අක්තාර් මන්සූර් ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යෑමෙන් පසුවය. 

අක්තාර් මන්සූර් යනු තලේබාන් සංවිධානයට පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන මුල්ලා ඕමාර්ගෙන් පසු තලේබාන් නායකයා බවට පත්වුණු තැනැත්තාය. එක් ඇසක් අහිමි තැනැත්තකු වන මුල්ලා ඕමාර් ද 2013 වසරේ දී ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. 

තලේබාන් නායකත්වය හිමිවනතුරු, හයිබතුල්ලා අකුන්සාදා, වසර 15 ක් නිරිතදිග පාකිස්තානයේ කුචලාක් නමැති නගරයේ මුස්ලිම් දේවස්ථානයක ආගමික දේශකයකු ලෙස කටයුතු කළේය. අවුරුදු 60ක් පමණ වයසැති හයිබතුල්ලා අකුන්සාදා සිටින ස්ථාන පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි පැවැසෙයි. මුල්ලා ඕමාර් සමඟ එක් වී, තලෝබාන් සංවිධානයේ සම නිර්මාතෘ ලෙස සැලකෙන මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් තලේබාන් සංවිධානයේ දේශපාලන අංශයට නායකත්වය දෙයි. 

මේ වනතුරු දෝහා කටාර් හි තලේබාන් සාම කාර්යාලයේ කටයුතු මෙහෙයවීම සිදු කරන්නේ මුල්ලා අබ්දුල් ඝානී බරාදාර්ය. තලේබාන්වරුන් දේහා නුවර, සාම කාර්යාලයක් පිහිටවූයේ ඇෆ්ගන් රජය සමඟත් ඇමෙරිකාව සමඟත් දීර්ගකාලීන සාම වැඩපිළිවෙළක් සහ සටන් විරාමයක් ස්ථාපිත කිරීමේ අරමුණින්ය. කටාර් රාජ්‍යයේ අනුග්‍රහය මෙම සාම කාර්යාලයට නිරන්තරයෙන් හිමිවෙයි. 
මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් 

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ ද මෙම සාම කාර්යාලය හරහා ඇමෙරිකාව, තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතරේ ඇතිකරගත් සාම වැඩපිළිවෙළකට අනුවය. 

කෙසේ නමුත් එම වැඩපිළිවෙළ අසාර්ථක වූයේ තලේබාන් සන්නද්ධ අංශය ඊට එරෙහි වුණු බැවිනි. බරාදාර්, තලේබාන් නිර්මාතෘ මුල්ලා ඕමාර්ගේ වඩාත් විශ්වාසනීය අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ තැනැත්තා ද වෙයි. 

2010 වසරේ දී මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ඇෆ්ගන් ආරක්ෂක අංශ විසින් අල්ලා ගනු ලැබුණි. ඒ, පාකිස්තානයේ කරච්චි නුවරදීය. පසුව ඇති කරගත් එකඟතාවකට අනුව 2018 දී මුල්ලා අබ්දුල් ඝානී බරාදාර්ට නිදහස ලැබුණි. කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන්, දෝහා නුවර සාම කාර්යාලයක් පිහිටුවීමටත්, ඇමෙරිකාව සහ ඇෆ්ගන් රජය සමඟ සාකච්ඡා පැවැත්වීමටත් මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් කටයුතු කළේ ඒ අනුවය.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom