ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතේ දෙවන මාත්‍රාව අද (1) සිට ලබා දීමට සියලු කටයුතු ආරම්භ කර තිබේ.
බස්නාහිර පළාතේ ස්ථාන 20 ක එන්නත් ලබා සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා තිබේ. සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම එක් ස්ථානයක එන්නත ලබාදීමට නියමිත බව ද සෞඛ්‍ය ඇමැතිනිය වැඩි දුරටත් බවසා ඇත.
ගම්පහ, කළුතර සහ කොළඹ රෝහල් සහ මහජන සෞඛ්‍ය පරික්ෂ කාර්යාල මගින් එන්නත් කිරීම සිදු කරන අතර එන්නත් ලබා ගැනීමට පැමිණෙන සියලු දෙනා ජාතික හැඳුනුම්පත සහ පළමු මාත්‍රාව ලබාගත් දින දුන් කාඩ්පත රැගෙන ආ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉදිරි සතිය පුරා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමට කටයුතු කරන බැවින් අනවශ්‍ය කලබලවීම් හෝ තදබදයක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ. මේ අතර, කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම පැය 24 පුරා සිදුවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට එන්නත් මධ්‍යස්ථානයක් පැය 24 පුරා ක්‍රියාත්මක පළමු අවස්ථාව මෙයයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා පළමු මාත්‍රාව ලබා ගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ලැබෙන්නේ, ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක තොගයයි.
එම එන්නත් තොගය, ඊයේ (31) සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ සහ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය මෙම එන්නත් තොගය පරිත්‍යාග කර තිබේ.
එන්නත් තොගය, ජපානයේ නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.455 දරන ගුවන් යානයෙන් ඊයේ (31) සවස 4.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුණි.
එන්නත් තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.