වන මැද දිය සළුව ‘උඩ දියලුම’ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 1, 2021

වන මැද දිය සළුව ‘උඩ දියලුම’

ශ්‍රි ලංකාවේ දෙවන උසම දිය ඇල්ල ලෙස සැලකෙන දියලුම දිය ඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. එය උසින් අඩි 720 නැතහොත් මීටර් 220 ක් පමණ උසින් යුක්ත වේ. මෙම දිය ඇල්ල, ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමන් කරන විට දැක බලා ගත හැකිය. 

දියලුම දිය ඇල්ල නිර්මාණය වීමට ප්‍රථම එම ජලයෙන් පෝෂණය වීමෙන් නිමැවෙන දිය ඇල්ල උඩ දියලුම ලෙස හඳුන්වයි. මෙහි ළඟා වීමට මාර්ග කිහිපයක් ඇති අතර, පූනාගල - කොස්ලන්ද මාර්ගය ඉන් එකකි. මනාව පිලිසකර කර නොමැති මෙම මාර්ග තරමක් දුෂ්කර නමුදු සුන්දර ගමනාන්තයකට මග කියයි. 

විනාඩි 45ක් පැයක් පමණ ගතවන මෙම කඳු තරණයට ඉමහත් වෙහෙසකර එකක් නොවූවද ඒ සඳහා අවශ්‍ය කළමනා රැගෙන ගමනට සූදානම් වීම සුදුසු වේ. ඔබ මුල් වරට උඩ දියලුම තරණය කරන්නේ නම් ඒ සඳහා මග පෙන්වන්නෙකු එක් කර ගැනීමට සිහි තබා ගන්න. 
මක් නිසාද යත් පැහැදිලිව මං සලකුණු කර ඇති මාර්ගයන් නොමැති ලඳු කැලෑවක් මැදින් ගමන් කල යුතු නිසාවෙනි. උස්ව වැඩුනු තණකොල වලින් සහ තැන තැන වැඩුනු තුරු ලතාවලින් හෙබි මෙම කඳුකර පෙදෙස ගල් තලාවන්ගෙන් ගහනය. එබැවින් මෙම මාර්ගයේ ගමන් කිරීම ඉතා ප්‍රවේසමෙන් කල යුත්තකි. 

තෘණ භුමි වලින් යුතු මෙම වන අඩවියෙහි සරනා වන අලින් වැනි වන සතුන් දැක ගැනීමට ද ඔබ වාසනාවන්ත විය හැකිය. දුෂ්කර ගමනාන්තයකට පසුව ඔබ පිවිසෙන්නේ ඔබගේ දෑස් විස්මයට පත් කරවන භූ දර්ශනයන්ගෙන් සමන්විත ඉසව්වකටය. 
ඔබගේ ගමන් වෙහෙස සන්සිඳවා ගැනීමට ස්වභාවික නාන තටාකයන් ඔබ එනතෙක් බලා සිටිනා වැනිය. සීතල දිය දහරාවන් රැගෙන දියලුම වෙත ඇදෙන මෙම ජල දහරා සොඳුරු දසුන් මවයි. අනන්ත ස්වභාවික ජල තටාකය (Natural Infinity Pool) මෙම ස්ථානයට සුන්දරත්වය කැඳවාගෙන එන තවත් එක් ඉසව්වකි. 

මෙම සුන්දර පරිසරයේ සුව විඳීමට යන ඔබ එම නිකැලල් පරිසරය අසුන්දර නොකිර්‍රමට වග බලා ගන්න. මන්ද යත් මෙම සොඳුරු දසුන් විඳ ගැනීම අනාගත පරපුරට ද උරුම කළ යුතු නිසාවෙනි.

 සටහන සහ සේයා රූ
෴ තනූජා කරුණාරත්න

Classified_Ad

Classified_Ad_News_Bottom