ග්‍රහක වළල්ලේ අමුත්තෝ දෙන්නෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 24, 2021

ග්‍රහක වළල්ලේ අමුත්තෝ දෙන්නෙක්

අප සෞරග්‍රහ මණ්ඩලයට 'ග්‍රහක වළල්ලක්' ඇත. 'ග්‍රහක වළල්ල' යනුවෙන් හැඳින්වෙන්නේ, මෙම වළල්ල නිර්මාණය වී ඇත්තේ ග්‍රහකවලින් නිසාය. විවිධ ප්‍රමාණයේ සහ විවිධ හැඩයේ ග්‍රහක මේ වළල්ලේ දකින්න ලැබේ. පොදුවේ මේ හැම ග්‍රහකයක්ම එකම වර්ණයක් ගනී. 

ග්‍රහලෝක මෙන්ම මේ ග්‍රහක ද හිරු වටා ගමන් කරයි. ඒ අනුව, ඉලිප්සාකාර මාවතක එසේත් නැතිනම් වළල්ලක් ආකාරයට, ග්‍රහක වළල්ල වැටී ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ සිවුවැනි ග්‍රහයා වන සහ පස්වැනි ග්‍රහයා වන බෘහස්පතිගේ කක්ෂ අතරින්ය. ග්‍රහක වළල්ලේ දැකිය හැකි බොහොමයක් ග්‍රහක නිර්මාණය වී ඇත්තේ මීට අවුරුදු බිලියන 4.6 කට පෙර, සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙද්දී සිදුවුණු පිපිරීම් සහ හැලහැප්පීම් හේතුවෙනි.

අඟහරු සහ බෘහස්පති අතරින් වැටී ඇති ග්‍රහක වළල්ලේ ග්‍රහක අතර අසාමාන්‍ය දෙයක් අනාවරණය කර ගැනීමට ජපන් අභ්‍යවකාශ ආයතනයේ තාරකා විද්‍යාඥයෝ පසුගියදා  සමත් වූහ. මෙම අසාමාන්‍ය 'සොයා ගැනීමට මග පෑදුණේ, මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබුණු යෝධ ග්‍රහක දෙකක් නව තාක්ෂණය භාවිතයට ගනිමින් වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් පසුවය. අසාමාන්‍ය සොයා ගැනීම නම්, ග්‍රහක වළල්ලේ යෝධ ග්‍රහක දෙකක් දීප්තිමත් රතු වර්ණයකින් යුක්ත වීමය. 

බැලූ බැල්මටම, එම ග්‍රහක දෙක ග්‍රහක වළල්ලට අයත් ග්‍රහ වස්තූන් දෙකක් නොවන බව විද්‍යාඥයන්ට පෙනී ගියේය. ග්‍රහක වළල්ලට අයත් නොවේ නම්, මේ යෝධ ග්‍රහක දෙක‍ ග්‍රහක වළල්ලේ තිබෙන්නේ කෙසේද? ඒ අනුව, නව සෙයා ගැනීම ප්‍රශ්නාර්ථයක් විය.‍ 

විද්‍යාඥයන් මවිතයට පත් කළ මෙම යෝධ ග්‍රහක දෙක නම් කර ඇත්තේ 203 පොම්පේජියා Pompeja සහ 269 ජස්ටිටියා Justitia යනුවෙනි. පොම්පේජියා  සහ ජස්ටිටියා ග්‍රහක දීප්තිමත් රතු වර්ණයෙන් දිස් වන්නේ, ඒවා සංකීර්ණ කාබනික ද්‍රව්‍යවලින් නිර්මාණය වී ඇති බැවිනි. වෙනස එයයි.

සංකීර්ණ කාබනික ද්‍රව්‍යවලින් නිර්මාණය වුණු ග්‍රහක, ග්‍රහක වළල්ලට අලුත් දෙයක් වුවත්, සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේ මේවා බහුලව දකින්න ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් ග්‍රහයා ලෙස සැලකෙන්නේ නෙප්චූන්ය. (ප්ලූටෝ ග්‍රහකයක් ලෙස සැලකනේනේ නැත. ප්ලූටෝ සැලකෙන්නේ කුරු ග්‍රහයෙක් ලෙසය.) නෙප්චූන් පසු කරද්දී, ඉතාමත් සංකීර්ණ කාබනික ද්‍රව්‍යවලින් නිර්මාණය වූ රතු පැහැයෙන් යුත් ග්‍රහක දැකිය හැකිවෙයි. පොම්පේජියා Pompeja සහ ජස්ටිටියා Justitia ග්‍රහක දෙකෙහි වර්ණයත්, ඒවායේ ලක්ෂණත් වඩාත් සමාන වෙන්නේ නෙප්චූන් පසු කළ විට හමුවන ග්‍රහ වස්තූන්වලට යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

පොම්පේජියා Pompeja සහ ජස්ටිටියා Justitia ග්‍රහක සම්බන්ධයෙන් මේ නව තොරතුරු කරළියට පැමිණියත්, මෙම ග්‍රහක සොයා ගෙන ඇත්තේ අද ඊයේ නොව, 19 වැනි ශතවර්ෂයේය. මේවායේ වර්ණ හඳුනා ගැනීමට ජපන් තාරකා විද්‍යාඥයන්ට හැකි වූයේ නව තාක්ෂණය යොදා ගනිමිනි. 

වර්ණාවලී දුරේක්ෂ ඒ සදහා භාවිතයට ගැනුණි. හවායි පිහිටි අධෝරක්ත කිරණ දුරේක්ෂය සහ දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරවල දුරේක්ෂ මෙම ග්‍රහක අධ්‍යයනයට යොදා ගත් බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.

සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භක අවදියේ දී, පොම්පේජියා සහ ජස්ටිටියා ග්‍රහක නෙප්චූන් පිහිටින කලාපයේ නිර්මාණය වී පාවෙමින් තිබෙන්න ඇති බවත්, 'ග්‍රහයන්ගේ පර්යටනය' 'Planetary Migration' නමැති සංසිද්ධිය හේතුකොට ගනිමින් ඒවා පසුව ග්‍රහක වළල්ල තෙක් ගමන්ඇ කරන්න ඇති බවත්, විද්‍යාඥයෝ පැහැදිලි කරති.

'ග්‍රහයන්ගේ පර්යටනය' යනුවෙන් හැඳින්වෙන්නේ ග්‍රහලෝක, ග්‍රහක ඇතුළු ග්‍රහ වස්තූන් සෙමින් සෙමින්, ඒවා ගමන් කරන්නා වූ තරුවට ළං වීමය. අප සූර්යයා ද තරුවකි. 

''ග්‍රහයන්ගේ පර්යටනය ගැන අතීතයේ පටන් අදහස් ඉදිරිපත් වී තිබුණි. ඒත් එවැන්නක් දකින්න ලැබී තිබුණේ නැත. ඇත්තටම මේක අපූරු සොයා ගැනීමක්. සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවර ග්‍රහ වස්තූන් සූර්යයාට කෙමෙන් ළං වන බව පෙන්වීමට හොඳ උදාහරණයක්.'' යැයි ජපාන අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

පොම්පේජියා ග්‍රහකයේ විශ්කම්භය කිලෝ මීටර් 110 ක් බවත්, ජස්ටිටියා ග්‍රහකයේ විශ්කම්භය කිලෝ මීටර් 55 ක් බවත් පැවැසෙයි. පොම්පේජියා ග්‍රහකය, ජස්ටිටියා ග්‍රහකයට වඩා රතු පැහැයක් ගනී. 

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom