ඩොලර් මිලියන 1,237ක මුදලක් ලැබිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 31, 2021

ඩොලර් මිලියන 1,237ක මුදලක් ලැබිලා

ශ්‍රී ලංකාවට ඉකුත් දින දෙකේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,237ක මුදලක් ලැබුණු බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. ආටිගල මහතාට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (එස්.ඩී.ආර්.) යටතේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 787ක මුදලක් ද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඇති කරගන්නා ලද මුදල් හුවමාරු ගිවිසුම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ද ඊයේ (30) මෙරටට ලැබී ඇත. 

ඊට අමතරව චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට රෙන්මින්බි මිලියන 2,000ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 300ක්/ශ්‍රී ලංකා රුපියල් බිලියන 61.5ක්) ඊයේ මෙරටට ලැබුණු බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කීය. ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව රුපියල් බිලියන 61.5ක මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹුණු බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉකුත් දා (17) සඳහන් කළේය. 

ඒ අනුව මෙරටට අදාළ ණය මුදල ලැබිණි. සංචිත ලෙස හෝ භාවිත කළ හැකි මුදල් ඒකක ලෙස හුවමාරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය සාමාජික රටවල් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 650ක මුදලක් මුදා හරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉකුත් සතියේ නිවේදනය කළේ ය. 

ඒ අනුව එම පහසුකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 787 කි. මෙම පහසුකම යටතේ ලැබෙන මුදල ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීමට භාවිත නොකළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම අවස්ථාවේ අවධාරණය කළේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මෙම පහසුකම විවෘත කරන බව ඉකුත් දා (23) සඳහන් කළාය. 

“මෙම පහසුකම කෙටිකාලයේදී ලෝකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනවා. මෙය ඥානාන්විතව භාවිත කරන්නේ නම් අපි අන් කවරදාකවත් මුහුණ නොදුන් ආකාරයෙන් මේ වනවිට මුහුණ දෙන අර්බුදයට එරෙහිව සටන් කිරීමට සුවිශේෂී අවස්ථාවක් ලබාදෙනවා” යැයි ඇය කීවාය. ශ්‍රී ලංකාවය සහ බංග්ලාදේශය අතර අගෝස්තු මස 3 වැනිදා මුදල් හුවමාරු ගිවිසුමක් (කරන්සි ස්වැප්) ගිවිසුමක් ඇති කරගන්නා ලදි. 

බංග්ලාදේශ මහ බැංකුව අගෝස්තු මස 18 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ ගිවිසුම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් මුදා හරින ලදි. ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ඊයේ (30) ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබුණේ එහි දෙවැනි අදියර ලෙස ය. මේ අනුව බංග්ලාදේශයේ මහ බැංකුව මෙරට මහ බැංකුවට මුදාහැර ඇති සමස්ත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 150කි.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom