දළදා පෙරහර මංගල්‍යය අවසන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 24, 2021

දළදා පෙරහර මංගල්‍යය අවසන්

රටට කුමන අභියෝග සහ බාධක පැමිණිත් අතහැරිය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් රැසක් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දළදා පෙරහර සමාප්ති උත්සවයේදී අවධාරණය කළේය.

ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් අතරින් පළමු තැන හිමිවන්නේ, දළදා සමිඳුන් වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුදපූජාවන්ට යැයි ඉතිහාසයේ සිට පාලකයන් විශ්වාස කර ඇති බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. 

ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා, සමාප්ත කළ බව සැලකිරීමට මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවති උත්සවයේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය. 

දේශයේ විචිත්‍ර සංස්කෘතික මංගල්‍යය ලෙසින් පිළිගනු ලබන මහනුවර ඇසළ පෙරහර, පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා, අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. 

පෙරහරේ ගමන් කළ අලි ඇතුන් වෙනුවෙන්, බන්දා හස්තියාට පලතුරුවලින් සංග්‍රහ කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. අනතුරුව ජනාධිපතිතුමා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරු සහ පෙරහරට ඍජු දායකත්වය දුන් රාජ්‍ය නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. 

දියවඩන නිලමේ නිලංග දෑල මහතා සංදේශය ඉදිරිපත් කරමින් කොවිඩ් වසංගතය හමුවේ වුව ද ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට සහාය දුන් රජයටත්, සියලු පාර්ශ්වයන්ටත් සිය ස්තූතියි පිරිනැමීය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නියමයන් ආරක්ෂා කර, මෙවර පෙරහර මංගල්‍ය පවත්වා අතීත වගකීම, අනාගත පරපුරට පෙන්වාදීමට හැකි වූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය. 

දළදා සමිඳුන් වෙනුවෙන් කරන කැපවීම රටත්, ජාතියත් වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස සලකන බව එහිදී ජනාධිපතිතුමා පැවසීය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

෴ උපුටා ගැනීම - මුහුණු පොතෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom