පළමු තලේබාන් මාධ්‍ය හමුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 18, 2021

පළමු තලේබාන් මාධ්‍ය හමුව

ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු තලේබාන්වරුන් කාබුල් අගනුවර රජයේ මාධ්‍ය කේන්ද්‍රයේ නිල මාධ්‍ය හමුවක් පැවැත්වීය. දෙස් විදෙස් මාධ්‍යවේදීහු මෙම ඓතිහාසික මාධ්‍ය හහුමවට සහභාගී වූවා පමණක් නොව, තලේබාන් සංවිධානයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිද්ගෙන් ප්‍රශ්න අසන්න වූහ. 

දශකයකට වැඩි කාලයක් තිස්සේ දෙස් විදෙස් මාධ්‍ය ආයතනවලට හඩ පට නිකුත් කරමින් සහ ප්‍රකාශ නිකුත් කරමින් තලේබාන් සංවිධානයේ ස්ථාවරය පැහැදිලි කළ තලේබාන් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකයා වන්නේ සබිහුල්ලා මුජහිද්ය. 

මේවනතුරු කිසිදු මාධ්‍ය ආයතනයක් සබිහුල්ලා මුජහිද් දැක තිබුණේ නැත. ඒ, ඔහු තලේබාන් සංවිධානය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළේත් හඩ පට නිකුත් කිරීම කළේත් සැඟවී සිටය. එහෙයින්, සබිහුල්ලා මුජහිද් කාබුල් අගනුවරට මාධ්‍ය හමුවට එක්වීම ද විදෙස් මාධ්‍ය ආයතන මවිත කිරීමට හේතුවක් විය. 

මින් ඉදිරියට තමන් දෙස් විදෙස් කිසිදු පාර්ශ්වයක් සමඟ ගැටුම් ඇති කර නොගන්නා බවත්, විදේශිකයන්ගෙන් පළිනොගන්නා බවත්, ඇමෙරිකාව ද ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් සහ මිත්‍රශීලීව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් තලේබාන් සංවිධානය වෙනුවෙන් සබිහුල්ලා මුජහිද් පැහැදිලි කළේය.

ඇෆ්ගන් රජයේ සියලු නිලධාරීන් සහ නිලධාරිනියන්ට, රාජය සේවක සේවිකාවන්ට සුපුරුදු ලෙස බියක් හෝ සැකයක් නැතිව තමන්ගේ රාජකාරි කරගෙන යා හැකි බවත්, කිසිවකුගෙන් ඊට බාධාවක් එල්ල නොවනු ඇති බවත් තලේබාන් සංවිධානය වෙනුවෙන් සබිහුල්ලා මුජහිද් මාධ්‍ය හමුවේදී සහතික විය. 

කිසිදු පාර්ශ්වයකගෙන් පළි ගැනීමට තලේබාන් සංවිධානය කටයුතු නොකරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා දිගින් දිගටම අවධාරණය කරන්න විය. ඊට අමතරව, මින් ඉදිරියට කිසිදු විදේශ පාර්ශ්වයකට ඇෆ්ගනිස්තානය 'අතකොළුවක්' කර ගැනීමට ඉඩ නොදෙන බව ද සබිහුල්ලා මුජහිද් පැහැදිලි කළේය. මාධ්‍ය හමුවට සහභාගී වුණු මාධ්‍යවේදිනියන්ට ප්‍රශ්න ඇසීමට ප්‍රමුඛතාවය ලබා දීමක් ද සිදුවිය. 

ජාත්‍යන්තරයේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බාලිකා අධ්‍යාපනයට, කාන්තාවන්ට රැකියා කිරීමට, දේශපාලනයට ඔවුන්ට පිවිසීමටත් අවස්ථාව සලසා දෙන බවට තලේබාන් සංවිධානය පොරොන්දු වී තිබේ. මාධ්‍ය හමුවේ දී සබිහුල්ලා මුජහිද් දිගින් දිගටම අවධාරණය කළේ 'ඉස්ලාම් නීතිය සහ සංස්කෘතිය' නමැති රාමුව තුළ ඕනෑම දේකට තලේබාන් සංවිධානයෙන් අවසර හිමිවන බවය. 

ඇමෙරිකාව තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 වසරේ සැප්තැම්බර් 11 ඇමෙරිකාවට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය. එම ප්‍රහාරය එල්ල කළ අල් කයිඩාවටත් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ටත් ආරක්ෂාවත් රැකවරණයත් ලබා දුන්නේ එවකට පැවැති තලේබාන් පාලනයයි. 2001 ට පෙර 90 දශකයේ ඇෆ්ගනිස්තානය පාලනය කළේ තලේබාන් සංවිධානයයි. 

එදා ඇෆ්ගනිස්තානය හැඳින්වූයේ ඇෆ්ගන් ඉස්ලාමීය එමිරේට්ස් රාජ්‍යය යනුවෙනි. දැන් යළිත් වරක් ඇෆ්ගනිස්තානය, ඉස්ලාමීය එමිරේට්ස් රාජ්‍යයක් බවට පරිවර්තනය වී තිබේ. 90 දශකයේ තලේබාන්වරු ඇෆ්ගනිස්තානයට ඔවුන්ටම ආවේණික ආකාරයට දලදඩු ෂරියා නීතියක් සකස් කරමින් එය ක්‍රියාත්මක කළහ. 

කාන්තාවන්ට තහංචි පැනැවිණි. කාන්තාවන් සැමවිටම සිරුර ආවරණය කර ගැනීම අනිවාර්ය විය. බාලිකා අධ්‍යාපනය තහනම් විය. පිරිමින් රැවුල වැවීම කළ යුතු විය. සිනමාව, රූපවාහිනිය, නාට්‍ය තහනම් කෙරුණි. අපරාධකරුවන්ට ෂරියා නීතිය යටතේ ප්‍රසිද්ධියේ කුරිරු ලෙස දැඩි දඩුවම් ලබා දීම සිදුවිය. 

ඇමෙරිකා ආක්‍රමණයෙන් පසු මෙම ෂරියා නීතිය ඉවත් කෙරුණු අතර ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇෆ්ගනිස්තානයේ ස්ථාපිත කළේය. මේ වනවිට ඒ සියල්ල බිඳ වැටී අවසන්ය. ඇෆ්ගගන් නව රජයේ උත්තරීතර පාලකයා එසේත් නැතිනම් එමීර්වරයා ලෙස කටයුතු කරනු ඇත්තේ තලේබාන් සංවිධානයේ උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්සාදා ය. 

ජනාධිපති ධුරය තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ට හිමිවනු ඇතැයි පැවැසෙයි. ඇෆ්ගනිස්තානයෙන් පිටුවහල් වී කටාර් රාජ්‍යයේ සිටින මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් මේ වනවිට යළි ඇෆ්ගනිස්තානය බලා පැමිණ ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad

Classified_Ad_News_Bottom