එන්නත ගැන විශ්වාසය නැතිකර ගන්න එපා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 17, 2021

එන්නත ගැන විශ්වාසය නැතිකර ගන්න එපා

නියමිත පරිදි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත්තත් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම සහ මියයෑමේ ප්‍රතිශතය අඩුවන බවක් පෙනෙන්න නැත. ඒ නිසාම, 'කොවිඩ් 19' වයිරසය අඩපණ කිරීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් සම්බන්ධයෙන් සැකයක් ඇතිවීම සාධාරණය. එසේ වුවත්, 'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂා වීමට ඇති එකම විසඳුම වන්නේ ද එන්නතය. 

ඊට හේතුව, වයිරසය පැරැදීමට වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය ඇති විය යුතුමය. අපට නව සාමන්‍යකරණයෙන් මිදී යළි සුපුරුදු ජීවිතයට යෑමට නම්, එය අනිවාර්ය වෙයි. හේතුව, මුහුණු ආවරණ පැලඳ, ආදරණීයයන්ගෙන් වෙන් වී, සමාජ දුරස්ථභාවය රැක ගනිමින්, ජීවත් වීම හැමදාම කළ නොහැකිය. 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ඇති එකම අවිය එන්නත්කරණය නම්, හොඳම සහ සාර්ථකම එන්නත කුමක්ද? 

'කොවිඩ් 19' වයිරසයට පළමුවෙන් ම එන්නතක් නිර්මාණය කළේ රුසියාවය. ඒ, 'ස්පුට්නික් 5' එන්නතය. අද එම එන්නත තවත් වැඩි දියුණු කරමින්, එක් මාත්‍රාවකින් පමණක් සමන්විත 'ස්පුට්නික් ලයිට්' යන නමින් ද රුසියානු විද්‍යාඥයෝ එන්නතක් නිපදවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් 'ස්පුට්නික් 5' එන්නතට ලැබී නැති නමුත් රටවල් බොහොමයක් 'ස්පුට්නික් 5' එන්නත භාවිතයට ගනී.

'ස්පුට්නික් 5' එන්නත මාත්‍රා දෙකකින් යුක්ත වන නමුත්, එම මාත්‍රා දෙක එකිනෙකට වෙනස් වෙයි. ලොව දෙවැනියට එළිදැක්වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පිළිගැනීමකට ලක් වී ඇති එන්නත 'ෆයිසර්' එන්නතය. මෙය ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම සමඟ හවුලේ නිපදවූ එන්නතය. 'ෆයිසර්' යනු එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නතකි. එම්.ආර්.එන්.ඒ. එන්නත්වල අඩංගු වන්නේ යම් කිසි වයිරස විෂබීජයක ජානවලින් සැකැසූ කේතයකි. 'ෆයිසර්' එන්නතේ ඇත්තේ‍ 'කොවිඩ් 19' වයිරස විෂබීජයේ ජානවලින් සකසනු ලැබූ කේතය වන අතර සිරුරට ඇතුළත් කෙරෙන්නේ එයයි.

ඇමෙරිකාවේ මොඩර්නා සමාගම නිපදවූ 'මොඩර්නා' එන්නත ද 'ෆයිසර්' මෙන්ම එම්.ආර්.එන්.ඒ. එන්නතකි. ලොව මෙතෙක් 'කොවිඩ් 19' සඳහා නිපදවා ඇති එම්.ආර්.එන්.ඒ. එන්නත් දෙක වන්නේ 'ෆයිසර්' සහ 'මොඩර්නා' පමණි. ඒ අතරින් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පිළිගැනීමකට ලක්වී ඇත්තේ 'ෆයිසර් එන්නතය. අවුරුදු 12 ත් 17 ත් අතර දරුවන්ට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ද ෆයිසර් එන්නතය. රටේ ජනගහනයෙන් සියයට 80 කට වඩා 'ෆයිසර්' එන්නත් ලබා දුන් රට ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය එරට වැසියන්ට ලබා දෙන්නේ 'ෆයිසර්' පමණි. එරට අවුරුදු 12 ට වැඩි සැමට 'ෆයිසර්' ලබා දෙයි. 

එසේ වුවත්, 'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතිය හේතුවෙන් ඊශ්‍රායලයේ යළි වංසගත තත්ත්වයක් නිර්මාණය විය. මරණ ප්‍රතිශතය අඩු වුවත්, ආසාදිතයන් වාර්තා වීම වැඩි විය. බොහෝ දෙනා 'ෆයිසර්' මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ය. ඒ අනුව, දැන් ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තෙවැනි මාත්‍රාවක් ලබා දීම ද ආරම්භ කර තිබේ. එසේ වුවත් ආසාදිතයන්ගේ පැහැදිලි අඩුවක් දකින්න ලැබෙන්නේ නැතැයි සෞඛ්‍ය අංශ කියයි. එපමණක් නොව, 'ෆයිසර්' එන්නත ලබා ගත් ඉතාමත් සුළු පිරිසක්, එන්නත නිසා දරුණු රෝගාබාධවලට ලක් වුණු බව ද පැවැසෙයි. එන්නත ලබා ගැනීමෙන් පසු අසනීප වූ ඔවුහු හෘදරෝගීන් බවට පත් වූහ. එය 'ෆයිසර්' ගැන ඇති විශ්වාසය පළුදු කිරීමට එය බරපතල කරුණක් නොවිණි. 

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ සමාගම සමඟ එක් වී නිපදවූ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සම්බන්ධයෙන් ඇති විශ්වාසය පළුදු වූයේ එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටි ඇති වී බොහෝ දෙනා මියයෑමෙනි. 

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී තිබේ. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා', රුසියාවේ 'ස්පුට්නික් 5', චීනයේ 'සයිනෝෆාම්' ඇතුළු සියලු එන්නත්වලින් සිදුවන්නේ, 'කොවිඩ් 19' වයිරසය සිරුරට ඇතුළු වීමෙන් පසු සිරුරේ ඊට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය, එන්නත හරහා කල්තියා සිරුරේ ඇති කිරීමට සැලැස්වීමය. 

එවිට වයිරසය යම් හෙයකින් සිරුරට ඇතුළු වුවහොත් ඊට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය කෙරෙයි. චීනයේ නිෂ්පාදිත 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත්වලට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත. ඒ, ඒවා ද සෙසු එන්නත් මෙන්ම හදිසි භාවිතයට සුදුසු බව පෙන්වා දෙමිනි. 

 සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත් අතරින් ද රටවල් බොහොමයක භාවිතයට ගැනෙන්නේ 'සයිනෝෆාම්' එන්නතය. මෙම එන්නත සම්බන්ධයෙන් පළමුවෙන් අධ්‍යයනයක් කර එය සාර්ථක එන්නතක් බව තහවුරු කළේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. චීනය ද එරට වැසියන්ට මහා පරිමාණයෙන් 'සයිනෝෆාම්' එන්නත් ලබා දීම සිදු කළේ එක්සත් අරාබි එමිරේට්ස් වෛද්‍ය පර්යේෂකයන් ලබා දුන් නිර්දේශ අනුවය. 

'සයිනෝෆාම්' එන්නත ගැන පුළුල් ලෙස අධ්‍යයනයක් කර එම අධ්‍යයන වාර්තා ලොවට ඉදිරිපත් කළ තවත් රටක් වන්නේ අප ශ්‍රී ලංකාවය. 'සිනොවැක්' ආගන්තුක වුවත් 'සයිනෝෆාම්' එන්නත ශ්‍රී ලංකාවේ අපට ආගන්තුක නැත. කෙසේ නමුත් 'සයිනෝෆාම්' පමණක් නොව, 'සිනොවැක්' එන්නත් සම්බන්ධයෙන් නිශේෂනීය පුවත් විදෙස් මාධ්‍ය හරහා අසන්න ලැබේ. ඒ, 'සයිනොෆාම්' සහ 'සිනොවැක්' එන්නත් දෙකම ලබාගත් බොහෝ දෙනාට කොවිඩ් ආසාදනය වී රෝගී වූ බව සහ මරණයට පත් වුණු බවය. 

 සාමාන්‍යයෙන් ප්‍රතිශත්තිකරණ එන්නත් නිපදවීමටත් ඒවා සාර්ථකදැයි සායනික පර්යේෂණ සිදු කිරීමටත් ඒවා ආරක්ෂිතදැයි සැකහැර දැනගැනීමටත් වසර පහක් හෝ 10 ක් ගත වෙයි. 2019 වසරේ දෙසැම්බරයේ ආරම්භ වුණු 'කොවිඩ් 19' වයිරසයට පිළියම් ලෙස, මේ වනවිට එන්නත් බොහෝ ගණනක් කරළියට පැමිණ ඇත. තවත් නව එන්නත් නිර්මාණය වෙමින් ද පවතී. ඉන්දියාව ඩී.එන්.ඒ. එන්නතක් නිපදවන බව ද පැවැසෙයි. 

එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ සියලු එන්නත් අනුමත කර ඇත්තේ ඒවා සියයට සියයක් සාර්ථකයි බව පවසමින් නොව, සංකූලතා අවම කර ගැනීමටත් මරණ අවම කර ගැනීමටත් හැකි බව පෙන්වමින් හදිසි භාවිතයට සුදුසු බව නිර්දේශ කරමින් පමණි.‍ ආසියාවේ, දකුණු ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ රටවල් 100 ක පමණ 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත නිපදවන පළමු අප්‍රිකානු රටවල් දෙක බවට පත්වන බව මොරොක්කෝ සහ ඊජිප්තුව එරට දී 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත් නිපදවීම ද සිදු කරයි. 

චිලී, මොන්ගෝලියාව සහ සීෂෙල්ස් දූපත්, චීන එන්නත් දෙකම ලබාදීමෙන් අනතුරුවත් කොවිඩ් 19 රෝගය බහුලව පැතිර යන රටවල් අතරින් කීපයකි. මොන්ගෝලියාවේ සහ සීෂෙල්ස්හි ද වයිසයේ සීඝ්‍ර පැතිර යෑමක් පෙන්නුම් කළේය. මෙම රටවල් දෙකේ කුඩා ජනගහනයක් ජීවත් වූවත්, ජනගනත්වය අනුව රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කර ඇත. එන්නත්කරණයේ ඉදිරියේ සිටින එම රටවල් දෙකම වැඩිපුර භාවිත කළේ සයිනොෆාම් එන්නතය. 

ආසාදිතයන් යළි වැඩි වෙද්දී, සීෂෙල්ස් ජනගහනයෙන් 68% ක් සහ මොන්ගෝලියාවේ ජනගහනයෙන් 55% ක් එන්නත ලබාගෙන තිබුණි. බ්‍රසීලයේ කරන ලද පර්යේෂණයට අනුව අනාවරණය වී ඇත්තේ, අසාධ්‍ය තත්වයට පත්වීම සහ රෝහල්ගතවීම සම්බන්ධයෙන් 'සිනොවැක්' එන්නත 100% ක ඵලදායී බවත්, රෝහල්ගතවීම සම්බන්ධයෙන් 'සයිනොෆාම්' එන්නත 79%ක් ඵලදායී බවත්ය. හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය බෙන් කවුලින් පෙන්වා දී ඇත්තේ, කොවිඩ් වැලැක්වීම සම්බන්ධයෙන් එම එන්නත් දෙකෙහිම ඵලදායීතාව 'මධ්‍යස්ථ' තත්වයක පැවතියත්, අසාධ්‍ය බවට පත්වීම සම්බන්ධයෙන් එමගින් 'ඉතා ඉහළ ආරක්ෂාවක්' සැලසෙන බවය. 

කෙසේ වුවත්, මෙම පර්යේෂණවලට යොදාගනු ලැබුවේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් සොයාගනු ලැබූ මුල් වයිරසයට එරෙහිව එන්නත් කෙතරම් ඵලදායක ද යන්න පමණක් බවත් ඒවා නව ප්‍රභේදවලට එරෙහිව ක්‍රියාකරන්නේ කෙසේද යන්න ප්‍රමාණවත් අලුත් දත්ත තවමත් ප්‍රකාශයට පත්වී නොමැති බවත් මහාචාර්ය බෙන් කවුලින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom