MU තවත් බිහිසුණු ප්‍රභේදයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 2, 2021

MU තවත් බිහිසුණු ප්‍රභේදයක්

'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන, තවත් නව කොරෝනා වයිරස විකෘති ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මෙම විකෘතිය හැඳින්වෙන්නේ 'මූ' යනුවෙනි. 

මෙය පළමු වරට හමුවී ඇත්තේ ලතින් ඇමෙරිකා රටක් වන කොලොම්බියාවෙනි. 'මූ' විකෘතිය නිල වශයෙන් හැඳින්වෙන්නේ B.1.621 යනුවෙනි. මෙය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ 2021 ජනවාරි මාසයේය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය, විමසිල්ලෙන් පසුවිය යුතු වයිරස විකෘති අතරට 'මූ' විකෘතිය ද එක් කර තිබේ. 'මූ' විකෘතිය නිර්මාණය වී ඇත්තේ විකෘතිකරණයට ලක් වුණු විකෘති වයිරස ප්‍රභේද එකිනෙක මුසුවීමෙන් යැයි වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. 

දැනට ඉතාමත් බිහිසුණු වයිරස විකෘති ලෙස හඳුනාගෙන තිබෙන, 'ඇල්ෆා', 'ඩෙල්ටා', 'ලැම්බ්ඩා', 'එප්සලොන්' වැනි වයිරස විකෘති අතරට ඉදිරියේ දී 'මූ' විකෘතිය ද එක් වීමට ඉඩ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් තිබේ. 

මේ වනවිට 'ඇල්ෆා' විකෘතිය රටවල් 193 කින් ද 'ඩෙල්ටා' විකෘතිය රටවල් 170 කින් ද හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 'ලැම්බ්ඩා', 'එප්සලොන්' වයිරස විකෘති ද වේගයෙන් රටින් රටට ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කරයි. 

තවමත් 'මූ' විකෘතිය හමුවී ඇත්තේ කොලොම්බියාව ඇතුළු ලතින් ඇමෙරිකා සහ යුරෝපා රටවල් 40 කින් පමණක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. එන්නත්වලින් අඩපණ කළ නොහැකි තවත් වයිරස විකෘතියක් ගැන ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට දින දෙකකට පෙර අනතුරු ඇඟවීමක් කළේය. 

එම විකෘතිය දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනාගත් 'සී.1.2.' විකෘතියයි. මෙය ද 'මූ' විකෘතිය හා සමාන බව පැවැසෙයි. 'සී.1.2.' නිර්මාණය වී ඇත්තේ ද විකෘතිකරණයට ලක්වුණු විකෘති ප්‍රභේද රැසක් එකතු වීමෙනි.

'මූ' සහ 'සී.1.2.' නිසැක වශයෙන්ම එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් සහ ඒවායේ වේගවත් ව්‍යාප්තිය සම්බන්ධයෙන් කොලොම්බියා සහ දකුණු අප්‍රිකා විද්‍යාඥයන් ලබා දුන් දත්ත විශ්ලේෂණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මේ මොහොතේ කළයුතු වන්නේ අවධානම් වයිරස විකෘති ලෙස නම් කළ 'මූ' සහ 'සී.1.2.' ගැන විමසිල්ලෙන් පසුවීම යැයි ද සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගැබ්‍රියේසිස් විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් පැහැදිලි කර තිබේ.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom