'ජෙරනිමෝ' මරා දැමේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 1, 2021

'ජෙරනිමෝ' මරා දැමේ

මහත් ආන්දෝලනයක් ඇති කරමින්, ලොව කාගේත් අවධානය දිනූ 'ජෙරනිමෝ' නමැති ඇල්පාකා මරා දැමීමට එංගලන්ත පශු වෛද්‍යවරු ඊයේ (31) කටයුතු කළහ. 

ඇල්පාකා යනු ඔටුවන් සහ ලාමා සතුන්ගේ පවුලට අයත් සතෙකි. ඇල්පකා ලාමා සතුන්ට වඩාත් ඥාති වෙයි. ඇල්පකා සහ ලාමාගේ නිජබිම ලතින් ඇමෙරිකාව වුවත්, යුරෝපා රටවලත් නවසීලන්තයේත් ඇල්පාකා සහ ලාමා ගොවිපල සතුන් ලෙස ඇති දැඩි කෙරේ. අද වනවිට බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල ඇල්පාකා සහ ලාමා ගොවිපොල බොහොමයකි. 

මහත් ආන්දෝලනයක් ඇති කරමින් ලෝකයේ අවධානයට ලක් වුණු 'ජෙරනිමෝ' නමැති කළු ලොම්වලින් සමන්විත ඇල්පාකා පිරිමි සත්වයා මරා දැමීමට පියවර ගැනුණේ ඌට ගව ක්ෂය රෝගය වැලඳී තිබීම නිසාය. වසර කීපයක් තිස්සේ පැවැති ආන්දෝලනාත්මක සිදුවීම් පෙළකින් පසු 'ජෙරනිමෝ' මරා දැමීම සිදුවූයේ අධිකරණ නියෝගයකට අනුවය. 

අවුරුදු 8 ක් වයසැති 'ජෙරනිමෝ' ජීවත් වූයේ එංගලන්තයේ ග්ලොස්ටෂයර් පළාතේ බ්‍රිස්ටල් නුවරට නුදුරින්, විකර් ගම්මානයේ, 'ෂෙපර්ඩ් ක්ලෝස්' නමැති ගොවිපොලේය. ජෙරනිමෝගේ හිමිකාරිය හෙලන් මැක්ඩොනල්ඩ් වන අතර ඇය වසර 15 ක් තිස්සේ ඇල්පාකා සතුන් බෝ කිරීම සිදු කරයි. හෙලන් මැක්ඩොනල්ඩ්, 'ජෙරනිමෝ' මිලදී ගෙන එංගලන්තයේ ඇගේ ගොවිපොලට ගෙනැවිත් තිබෙන්නේ නවසීලන්තයෙනි. ඒ, 2017 වසරේදීය. 

නවසීලන්තයෙන් රැගෙන එද්දී 'ජෙරනිමෝ' සිවු වරක් 'ගව ක්ෂය රෝගය' වැලඳී ඇතිදයි පරීක්ෂා කර ඇත. එහිදී 'ජෙරනිමෝ' නිරෝගී බව තහවුරු විය. 2017 වසරේ අගෝස්තු මාසයේ දී 'ෂෙපර්ඩ් ක්ලෝස්' ගොවිපොලට 'ජෙරනිමෝ' රැගෙන ඒමෙන් පසු, පාරිසරික, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් 'ජෙරනිමෝ' යළි පරීක්ෂා කර තිබේ. 'ජෙරනිමෝ', 'එන්ෆර්ප්ලෙක්ස්' රුධිර පරීක්ෂණයකට යොමු කළ අවස්ථාවේදී තහවුරු වූයේ ඔහුට ගව ක්ෂය රෝගය ආසාදනය වී ඇති බවය.

ඒ අනුව, 'ජෙරනිමෝ' ගොවිපොලේ හුදෙකලා කර තිබීමට උපදෙස් ලැබුණි. 2017 නොවැම්බර් මාසයේ දී පශු වෛද්‍යවරුන් යළිත් වරක් 'ජෙරනිමෝ', රුධිර පරීක්ෂණයකට යොමු කළ අතර එහිදී ද තහවුරු වූයේ ගව ක්ෂය රෝගය ආසාදනය වී ඇති බවය. ඒ අනුව 'ජෙරනිමෝ' මරා දැමීම හැර වෙන විකල්පයක් නොමැති බව පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශය විය. 'එන්ෆර්ප්ලෙක්ස්' රුධිර පරීක්ෂණය ඇල්පාකා සතුන් සඳහා වෙනම සකස් කළ රුධිර පරීක්ෂණයක් නොවන අතර, නිරෝගී ඇල්පාකා සතකු වුවත් රෝගී සතකු ලෙස හඳුනා ගැනීම සිදුවීමේ සම්භාවිතාවක් පවතී. 

එහෙයින් පරීක්ෂණ ප්‍රතිඵල තමන් පිළි නොගන්නා බවත් 'ජෙරනිමෝ'ගේ හිමිකාරිය හෙලන් මැක්ඩොනල්ඩ් තරයේ කියා සිටියාය. පාරිසරික, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුව සහ හෙලන් මැක්ඩොනල්ඩ් අතර ගැටුමක් තෙක් එය දුරදිග ගියේය. පශු වෛද්‍යවරුන් දිගින් දිගටම කියා සිටියේ 'ජෙරනිමෝ' මරා දැමීම කළ යුතු බවය. 

එසේ නැතිනම්, 'ෂෙපර්ඩ් ක්ලෝස්' ගොවිපොලේ පමණක් නොව අවට සෙසු ගොවිපොල සතුන් අනතුරේ වැටෙනු ඇති බවත්, දහස් ගණනක් සතුන් මරා දැමීමට සිදුවනු ඇති බවත්ය. ගව ක්ෂය රෝගය පළාත පුරා ව්‍යාප්ත වුවහොත් වාර්ෂිකව දහස් ගණනක් ගොවිපොල සතුන් මරා දැමීමට සිදුවනු ඇති බව ද පශු වෛද්‍යවරු පෙන්වා දුන්හ. 

පාරිසරික, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුව, 'ජෙරනිමෝ' වහා මරා දැමීම කළ යුතු යැයි පවසද්දී, පරිසර ලේකම් (ඇමැති) ජෝර්ජ් යුස්ටීස් ද පාරිසරික, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවේ එම තීරණය අනුමත කළේය. ජෝර්ජ් යුස්ටීස් පරිසර ලේකම් ධුරය බාර ගැනීමට පෙර ගොවිපල හිමිකරුවෙකි. ගොවිපොලේ තමන් ආදරයෙන් රැකබලා ගන්නා සතකු මරා දැමීමට සිදුවීම කොතරම් දුකක්දැයි තමන් හොඳින් දන්නා බවත්, නොකර බැරි අවස්ථාවක එසේ කිරීමට සිදුවන බවත් පෙන්වා දුන්නේය. 

පාරිසරික, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවේ තීරණයට එරෙහිව, ජෙරනිමෝට සාධාරණයක් ඉල්ලමින් හෙලන් මැක්ඩොනල්ඩ් කළ හඩ නැගීමට ග්ලොස්ටෂයර් පළාතේ ගොවිපොල හිමිකරුවන්ගේත්, බ්‍රිස්ටල් නගර වැසියන්ගේත් සහාය හිමිවිය. විරෝධතා රැලි පැවැත්විණි. හෙලන් මැක්ඩොනල්ඩ් ඉල්ලා සිටියේ ඇප්ලාකා සතුන් වෙනුවෙන් ගව ක්ෂය රෝගය ආසාදනය වී ඇතිදැයි සියයට 100 ක් නිවැරදිව දැනගන්නා ක්‍රමයක් සකස් කරන ලෙසය. 

බ්‍රිතාන්‍යයේ 'ඇල්පාකා' සත්ව සන්සදය පමණක් නොව, සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් ද විරෝධතා සඳහා එක් විය. 'ජෙරනිමෝ බේරා ගනිමු' යනුවෙන් ලන්ඩනයේ ඩවුනිං වීදියේ අගමැති නිල නිවස ඉදිරිපිට පවා විරෝධතා පැවැත්විණි. විරෝධතා උත්සන්න වෙද්දී, 'ජෙරනිමෝ' සම්බන්ධ ගැටලුව, අධිකරණය හමුවට ගෙන යෑමට පාරිසරික, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කළේය. ඒ, 2018 වසරේදීය.

හෙලන් මැක්ඩොනල්ඩ් අධිකණයෙන් ඉල්ලා සිටියේ යළි පරීක්ෂණයක් සිදු කරමින් 'ජෙරනිමෝ' වෙනුවෙන් සාධාරණයක් ඉටු කර දෙන ලෙසය. ඉන්පසු 2018 සිට මෙම 2021 තෙක් නඩු විභාග කීපයක් 'ජෙරනිමෝ' සම්බන්ධයෙන් පැවැත්විණි. අවසානයේ, අධිකරණය තීන්දු කළේ වහා 'ජෙරනිමෝ' මරා දැමීම කළ යුතු බවය. 

'ජෙරනිමෝ' බේරා ගැනීමට 1,40,000 ක පිරිසක් අත්සන් කරමින් පෙත්සමක් පවා ඉදිරිපත් කෙරුණ ද එයින් ඵලක් නොවිණි. ඒ අනුව, පොලිස් නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායමක් පැමිණ බලහත්කාරයෙන් 'ජෙරනිමෝ' රැගෙන ගොස් මරා දැමීම සිදු කළ බව බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom