හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ ඕනෑම 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතකට තමන් අනුමැතිය ලබා දෙන බව ඇමෙරිකානු ජාතික වසංගත රෝග පාලනය සහ වැලැක්වීමේ CDC ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත මාත්‍රා ලබා ගත් ඕනෑම විදේශිකයකුට නිරෝධායනයට ලක් නොවී ඇමෙරිකාවට පිවිසීමට අවස්ථාව ලැබේ.
ඇමෙරිකා රජය මේ වනවිට චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් රැසක් ඇතුළු රටවල් 33 කට පනවා තිබූ සංචාරක තහනම ද ඉවත් කර ඇත. ඒ, පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්වූ විදේශිකයන් සදහා එරට විවෘත කරමිනි.
හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත්තේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සහ 'මොඩර්නා', 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්', මහා බිතාන්‍යයේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා' (ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් ද ඇතුළුව), 'සයිනොෆාම්' සහ 'සිනොවැක්' යන එන්නත් සදහා පමණි.
'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා' යනු මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවූ එන්නතය. මෙම එන්නත රටවල් කීපයක නිෂ්පාදනය කෙරේ. ඉන්දියාවේ එය නිෂ්පාදනය කෙරෙන්නේ 'කොවිෂීල්ඩ්' යන වෙෙළඳ නාමය යටතේය.
ලොව පළමුවෙන් නිපදවූ සහ ලියාපදිංචි කළ එන්නත වන්නේ රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නතය. මෙම එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත. 'ස්පුට්නික්' එන්නතට අනුමැතිය දීම කෙරහි අවදානය යොමු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දා පවසා තිබුණි.
෴ උපුටා ගැනීම - CNN