භූකම්පන අනතුරු ෆෝන් එකෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 30, 2026

භූකම්පන අනතුරු ෆෝන් එකෙන්

ගූගල් සමාගම, කෘතිම බුද්ධිය, ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන සහ භූමිකම්පා අතරේ සම්බන්ධයක් ඇති බව දන්නවාද? මේ කියන්න හදන්නේ ඒ ගැනයි. ඒත් මුලින්ම භූමිකම්පා ගැන කතා කරමු. 

පෘථිවියේ මතුපිට ස්තරය නිර්මාණය වී ඇත්තේ, එකිනෙකට යා වූ දැවැන්ත පාෂාණ තැටි සමූහයකිනි. විද්‍යාත්මකව මේවා හැඳින්වෙන්නේ භූතැටි ලෙසය. පෘථිවි අභ්‍යන්තරයේ පවතින අධික තාපය හේතුවෙන් මේ භූතැටි වසරකට සෙන්ටිමීටර කිහිපයක ඉතා සුළු වේගයකින්, අඛණ්ඩව එහා මෙහා චලනය වෙයි. මෙය පෘථිවිය මතුපිට සිටින අපට දැනෙන්නේ නැත. මෙලෙස චලනය වන භූතැටිවල දාර එකිනෙකට ගැටීමේදී හෝ ඒවා එකක් මතින් අනෙක ලිස්සා යෑමේදී, ඒවායේ රළු ස්වභාවය නිසා තදින් හිරවීමකට ලක් වෙයි. 

භූතැටි මෙලෙස හිරවී තිබුණ ද, ඒවා තල්ලු වීමට උත්සාහ කරන බැවින් වසර ගණනාවක් තිස්සේ දැවැන්ත පීඩනයක් හා ශක්තියක් ගොඩනැගෙයි. මෙම පීඩනය දරාගත නොහැකි මට්ටමට පැමිණෙද්දී, හිරවී ඇති පාෂාණ ස්තර, එකපාරටම බිඳී හෝ ලිස්සා ගොස් නිදහස් වෙයි. ක්ෂණිකව මුදාහැරෙන අතිදැවැන්ත ශක්තිය භූකම්පන තරංග ලෙස පෘථිවි පෘෂ්ඨය දෙසට ගමන් කරයි. පොළොව සෙලවෙනු අපට දැනෙයි. භූමිකම්පාවක් වනු මෙයයි. 

 පසුගිය දා, පැය 24 ක් ඇතුළත ලෝකයේ රටවල් කීපයක් ප්‍රබල භූමිකම්පාවලින් කැලැඹිණි. මේ රටවල් එක ළඟ පිහිටි රටවල් නොවෙයි. කලාප දෙකකට අයත් රටවල්ය. ලෝක සිතියම නිරීක්ෂණය කළොත්, මේ රටවලට පහළින් භූතැටි පිහිටන අයුරු දැකිය හැකිය. 

ජපානය, පැපුවා නිව් ගිනියාව, ඇමෙරිකාවට සහ දකුණු ඇමෙරිකාවට අයත් වෙනිසියුලාව යනු මෙම රටවල්ය. ජපානය කැලඹුණේ රික්ටර් පරිමාණයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකිනි. පැපුවා නිව්ගිනියාවට බලපෑමේ රික්ටර් පරිමාණයේ ඒකක 5.4 ක් සටහන් කළ භූමිකම්පාවකි. ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයෙන් වාර්තා වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් සටහන් කළ භූමිකම්පාවකි. 

මහා විනාශයක් සිදුවූයේ වෙනිසියුලාවට බලපෑ භූමිකම්පාවලිනි. වෙනිසියුලාව ප්‍රබල භූමිකම්පා දෙකකින් කැලඹුණි. මියගිය ගණන 4000 කි. 5,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අතුරුදන් ගණන 68,000 ක් යැයි පැවැසෙයි. වෙනිසියුලාව කැලඹුවේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් සහ 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පා දෙකකින් සහ පසුකම්පන මාලාවකිනි. රික්ටර් පරිමාණය යනු භූමිකම්පාවකදී මුදාහැරෙන ශක්ති ප්‍රමාණය හෙවත් එහි ප්‍රබලතාව මැනීම සඳහා භාවිත කරන මිනුම් දණ්ඩය.

1935 දී චාල්ස් රික්ටර් නමැති ඇමෙරිකානු විද්‍යාඥයා විසින් හඳුන්වා දුන් මෙම ක්‍රමවේදයේදී, භූමිකම්පාවකින් උපදින තරංගවල විශාලත්වය භූකම්පන ලේඛන නමැති උපකරණය මඟින් සටහන් කර, අගය ගණනය කරයි. සාමාන්‍යයෙන් මෙය අංක 1 සිට 10 දක්වා වූ පරාසයකින් දක්වන අතර, අපට නොදැනෙන සියුම් සෙලවීම්වල සිට නගර පිටින් විනාශ කළ හැකි මහා විපත් දක්වා භූමිකම්පා මෙයින් වර්ගීකරණය කෙරේ. 

මෙම පරිමාණයේ ඇති සුවිශේෂීත්වය, එය රේඛීය පරිමාණයක් නොවීමය. රික්ටර් පරිමාණයේ සෑම අංකයක්ම, ඊට පෙර අංකයට වඩා 10 ගුණයක තරංග විශාලත්වයක් සහ දළ වශයෙන් 32 ගුණයක වැඩි ශක්ති මුදාහැරීමක් පෙන්නුම් කරයි. උදාහරණයක් ලෙස, රික්ටර් ඒකක 6 ක භූමිකම්පාවක් යනු ඒකක 5 ක භූමිකම්පාවකට වඩා 32 ගුණයක බලවත් එකකි. 

 භූමිකම්පා සිදුවන නිශ්චිත වේලාව, දිනය හෝ ස්ථානය සති හෝ මාස කිහිපයකට කලින් පුරෝකථනය කිරීමට තවමත් ලෝකයේ කිසිදු තාක්ෂණයකට හැකියාවක් නැත. එහෙත්, භූමිකම්පා හටගන්නේ, කලින් සඳහන් කළ විදියට භූතැටි මායිම්වලට ඉහළිනි. එබැවින්, භූතැටි මායිම්වලට ඉහළින් ඇති රටවල වැසියන් ඕනෑම මොහොතක භූමිකම්පාවකට සූදානමින් සිටිය යුතුය. 

භූමිකම්පා ගැන පුරෝකතනය අසීරු වුවත්, භූමිකම්පාවක් හටගනිද්දී, තත්ත්පර කීපයකට පෙර, ඒ ගැන අනතුරු ඇගවීම් කළ හැක. ඒ තත්ත්පර කීපය ඔබේ ජීවිතය බේරා දෙනු ඇත. සියයට 100 ක් සාර්ථක නැතත්, දැනට අප සතුව ඇත්තේ මෙම අනතුරු ඇගවීම පමණි. වෙනිසියුලා භූමිකම්පාවලින් දහස් ගණනක් මියගියත්, තුවාල ලැබුවත්, සුන්බුන් අතරේ සිරවුවත්, වෙනිසියුලා වැසියන් බිලියන ගණනකගේ ජීවිත බේරා දීමට මෙම අනතුරු ඇඟවීමේ පද්ධතියට හැකියාව ලැබුණි. 

මෙම පද්ධතිය, ගූගල් සමාගම, කෘතිම බුද්ධිය සහ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් සුසංයෝගයකි. ගූගල් සමාගම මෙම අනතුරු ඇඟවීමේ ක්‍රමය හඳුන්වා දුන්නේ 2020 දීය. 2021 වසරේ පිලිපීනය භූමිකම්පාවකින් කැලඹෙද්දී, බොහෝ දෙනකු බේරා ගැනීමට මෙම ක්‍රමය සමත් විය. ඒත්, 2023 වසරේ තුර්කිය කැලැඹූ ප්‍රබල භූමිකම්පාවේ දී මෙම ක්‍රමය සාර්ථක වූයේ නැත. භූමිකම්පා සම්බන්ධයෙන් මෙම ක්ෂණික අනතුරු ඇඟවීම් ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ භූමිකම්පාවකදී පිටවන කම්පන තරංගවල වේගය පාදක කරගනිමිනි. 

භූමිකම්පාවකදී මුලින්ම නිකුත් වන්නේ හානියක් නොවන, වේගවත් ප්‍රාථමික කම්පන තරංගය. මහා විනාශයක් සිදු කරන ද්විතීයික කම්පන තරංග නිකුත් වීම සිදුවන්නේ ඉන්පසුවය. පොළොව මතුපිට ඇති අධි-සංවේදී ‘සෙයිස්මෝමීටර’ පද්ධති මඟින් මෙම ප්‍රාථමික තරංග හඳුනාගෙන, විනාශකාරී තරංග ළඟා වීමට පෙර අනතුරු අඟවයි. මෙම ක්‍රමය, ගූගල් සමාගම, ඔවුන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන්වලට ඇප් එකකින් (මෘදුකාංග යෙදුමක්) හඳුන්වා දී ඇති අතර, එම යෙදුම හරහා, ස්මාට්ෆෝනයට අනතුරු ඇඟවීම් ලැබෙයි. 

එවිට ඔබට ආරක්ෂිත ස්ථානයකට යෑමට ලැබෙන කාලය තත්ත්පර කීපයක් හෝ මිනිත්තුවක් පමණි. තාක්ෂණයේ දියුණුවත් සමඟ (සියයට සියයක් සාර්ථක නොවුණත්) ජීවිත ආරක්ෂා කිරීම සඳහා ස්මාර්ට් ෆෝන් මේ අයුරින් දායක කර ගැනීමට ගූගල් සමාගම කටයුතු කිරීම ප්‍රසංශනීය බව කිව යුතුය. ලොව පුරා බිලියන ගණනක් වන ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් හරහා සම්බන්ධ කර ගනිමින් භූමිකම්පා අනතුරු අගවන දැවැන්ත ඩිජිටල් ජාලයක් මේ වනවිටත් නිර්මාණය වී ඇත. 

මෙම පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ස්මාට් ෆෝන්වල ඇති ඇක්සලරොමීටර් (Accelerometer) නමැති කුඩා සංවේදකය (Sensor) ආධාරයෙනි. දුරකථනය හරවන විට හෝ චලනය වන විට එය හඳුනාගන්නා මෙම සංවේදකයට, භූමිකම්පාවකදී මුලින්ම නිකුත් වන, මිනිසාට නොදැනෙන සියුම් තරංග පවා ග්‍රහණය කරගත හැකිය. 

යම් නිශ්චිත ප්‍රදේශයක එකම අවස්ථාවක දුරකථන සිය ගණනක හෝ දහස් ගණනක මෙලෙස එක හා සමාන සියුම් කම්පනයක් සටහන් වූ සැණින්, එම දත්ත ගූගල් සර්වර් වෙත ගලා යයි. එහිදී කෘතිම බුද්ධි තාක්ෂණය මඟින් එය භූමිකම්පාවක් බව ක්ෂණිකව තහවුරු කරගන්නා අතර, භූකම්පන තරංග තදින් පැතිර යාමට පෙර එම ප්‍රදේශයේ සහ අවට සිටින ජනතාවගේ දුරකථන වෙත ස්වයංක්‍රීයවම අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි. 

 මෙම පද්ධතිය හරහා භූමිකම්පාවේ ප්‍රබලතාව අනුව, ආකාර දෙකක පණිවිඩ නිකුත් වෙයි. රික්ටර් පරිමාණයේ 3.0 ත් 4.5 ත් අතර සුළු භූචලන සඳහා සාමාන්‍ය දැනුවත් කිරීමේ පණිවිඩයක් (Notification) ලැබෙන අතර, රික්ටර් පරිමාණයේ 4.5 ට වැඩි මහා පරිමාණ විනාශකාරී භූමිකම්පාවලදී ස්මාට්ෆෝන් සයිලන්ට් (Silent) කර තිබුණ ද, මහ හඬකින් එය නාද වෙයි. දුරකතනයේ තිරය පුරා අනතුරු ඇඟවීම් දිස්වෙයි. 

මෙහිදී වහාම ආරක්ෂිත තැනකට යන ලෙස උපදෙස් ලැබෙයි. භූමිකම්පාව හටගන්නා ප්‍රධාන කේන්ද්‍රයේ සිටින අයට මෙයින් අනතුරු ඇඟවීමක් ලැබීමට කාලයක් නොමැති වුව ද, ඉන් කිලෝමීටර කිහිපයක් ඈතින් සිටින ජනතාවට විනාශකාරී බලපෑම ළඟා වීමට පෙර තත්පර 10 සිට 60 දක්වා කාලයක් ලබා දීමට අනතුරු ඇඟවීමේ තාක්ෂණය සමත් වෙයි. මෙම පහසුකම දුරකථනයේ සෙටිංවල ඇති සේෆ්ටි ඇන්ඩ් ඉමර්ජන්සි හෝ ලොකේෂන් මඟින් සක්‍රිය කරගත හැකිය. 

ලුසිත ජයමාන්න 
BBC ඇසුරිනි

Classified_Ad