දින 18 ක් අතුරුදන් වූ කෙලි පොඩ්ඩ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 5, 2021

දින 18 ක් අතුරුදන් වූ කෙලි පොඩ්ඩ

අගුළු දමා වසා තිබුණු නිවස දෙස රහස් පරීක්ෂක රොබ් වයිල්ඩ් බලා සිටියේය. වයිල්ඩ්ගේ උපෙදස් අනුව, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හතර වටින් නිවස වටලා තිබුණි. 'යමු ඇතුළට යමු' රහස් පරීක්ෂකවරයා උපදෙස් දුන් සැණින්, පොලිස් නිලධාරීහු අගුළු කඩා දමමින් නිවසට කඩා වැදුණාහ. රහස් පරීක්ෂක වයිල්ඩ් ඇතුළු පොලිස් කණ්ඩායමට නිවසට කඩා වැදුණේ මීට දින 18 කට පෙර අතුරුදන් වූ සිව් හැවිරිදි පුංචි දැරිය සොයමිනි. ක්ලියෝ ස්මිත් සොයමිනි. 
සිවු හැවිරිදි පුංචි දියණිය ක්ලියෝ ස්මිත් ඇගේ මව එලී, සුළු පියා ජේක් ගිඩන් සහ බාල නැගණිය ඉස්ලා ද සමඟ විනෝද චාරිකාවක් සඳහා බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කැනාවන් නගරයට ඔබ්බෙන්, 'කොරල් කෝස්ට්' සුන්දර වෙරළ තීරයේ කෝබා බ්ලෝහෝල්ස් බලා පැමිණ සිටියාය. 

පුංචි ක්ලියෝට එය සැබැවින්ම අපූරු අත්දැකීමක් වූයේ එය ඇගේ පළමු 'කෑම්පිං' සවාරිය වූ බැවිනි. සුන්දර මුහුදු වෙරළකින්, මුහුදු ලෙන් සහ කලපුවකින් 'කොරල් කෝස්ට්' අලංකාර විය. 'කොරල් කෝස්ට්' දේශීය සංචාරකයන් අතරේ ප්‍රකටය. 'කොවිඩ් 19' වසංගතය හමුවේ පැනැවුණු සංචරණ සීමා ලිහිල් කළ සැණින් පසුගිය ඔක්තෝබර් 15 වැනිදා කෝබා බ්ලෝහෝල්ස් කෑම්පිං භූමිය දරු දැරියන් පිරිවරාගත් පවුල් 100 දෙනකුගේ කූඩාරම්වලින් පිරී තිබුණි.

ඒ අතර, ක්ලියෝ සහ ඇගේ පවුලේ අයගේ කූඩාරම ද විය. විශාල කූඩාරම් සියල්ල එක ළඟ පිහිටි අතර, ඒවා සැමට පෙනෙන සේ විවෘතව තැබුණි. ඒ එහි නැවැතී සිටි එකිනෙකා, එකිනෙකාගේ ආරක්ෂාව වෙනුවෙන් සොයා බැලූ බැවිනි. ආරක්ෂාව ගැන කිසිවකු තුළ කිසිදු බියක් පැවැතියේ නැත. 
රාත්‍රී 8 පමණ වනවිට ක්ලියෝ සහ ඇගේ නැගණිය නිදන බෑග්වල ගුලි වී කූඩාරම තුළ නින්දට වැටුණු බව පැවැසෙයි. එලී සහ ජේක් ඔවුන් තුරුළු කර ගනිමින් නින්දට වැටුණේ තවත් රෑ බෝ වීමෙන් අනතුරුවය. පාන්දර 1.30 ට පමණ ක්ලියෝ අවදි වී ඇත්තේ තිබහයි පවසමිනි. තමන් ඇයට වතුර දුන් පසු ඇය යළි නින්දට වැටුණැයි එලී පවසයි. 

එලී සහ ජේක් පසුව දා එනම් 16 වැනිදා උදේ අවදි වෙද්දී නිදන බෑගය පිටින් ක්ලියෝ අතුරුදන් ව සිටියාය. දියණිය අහල පහළ ඇතැයි සිතා එලී සහ ජේක් පමණක් නොව, ඔවුන්ට සහාය දක්වමින් කෑම්පිං පැමිණ සිටි සෙසු පිරිස ද දැරිය සොයන්න පටන් ගත්හ‍. ඒත් ක්ලියෝ ගැන හෝවුවාක් නොවීය. යුවළ, දියණියගේ අතුරුදන් වීම පොලිසියට දැනුම් දුන්නේ 16 වැනිදා උදේ 6.23 ටය. 
උදෑසන 7 වෙද්දී පුළුල් පොලිස් සෝදිසි මෙහෙයුමක් ඇරැඹිණි. පොලිස් නිලධාරීහු ගොඩබිමින්, ගුවනින් සහ මුහුදෙන් ක්ලියෝ සොයන්න වූහ. ඒත් හෝඩුවාවක් ලැබුණේ නැත. 'මගේ දූ කීයටවත් මාව දාලා තනියෙන් කෙහෙවත් යන්නේ නැහැ. ඇය තනිවම කූඩාරමෙන් එළියට ගියේ නැහැ. කවුරු හෝ ඇය අරන් ගියා' මව වැළපෙන්න වූවාය. 16 වැනිදා ඇරැඹුණු සෝදිසි කිරීම් නොකඩවා 17, 18,‍ 19 දින පුරා පැවැත්විණි. 

එලී සහ ජේක් පොලිසියෙන් හෝඩුඩාවක් බලාපොරෝත්තු වූ නමුත් හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසිය සමත් වී සිටියේ නැත. ඔක්තෝබර් 20 වැනිදා පොලිස්පති ඩැරිල් ගෝන්ට් මාධ්‍ය හමුවේ කියා සිටියේ දැරිය පැහැර ගැනීමට ලක්වූයේදැයි යන්න පැවැසීමට තවමත් ඉක්මන් වැඩි බවත්, ඇය කැළයේ හෝ මුහුදු වෙරළ තීරයේ හෝ අතරමං වී සිටිනවා විය හැකි යැයි පොලිසිය විශ්වාස කරන බවය. අතුරුදන් දැරිය සොයමින් මෙහෙයුම් දිගටම පවත්වන බව ද පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කළේය. 

පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ නොකී දෙයක් ද විය. ඒ, ඒ වනවිටත් දැරිය පැහැර ගැනීමට ලක් වූයේ යැයි සැක කරමින් රහසේ විමර්ශනයක් ඇරැඹී තිබීමය. එම විමර්ශනය මෙහෙයවූයේ පොලිස් රහස් පරීක්ෂක රොබ් වයිල්ඩ් ය. ඔහු සීසීටීවී කැමරා දසුන් පරීක්ෂා කළේය. කෑම්පිං භූමියේ කසළ බදුන් හාරා අවුස්සන්න වූයේය. 
කෑම්පිං සඳහා පැමිණ සිටි සියලු දෙනා ගැන විස්තර සොයා බලා ඔවුන්ගේජංගම දුරකතනවලින් එම ස්ථානයේ කළ රූගත කිරීම් සහ ජායාරූප ද එකතු කර ගනිමින් ඒවා ද පරීක්ෂා කරන්න පටන් ගත්තේය. ඔක්තෝබර් 21 ක් වැනිදා වනවිට පොලිසිය නිගමනයකට එළැඹී සිටියේය. බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත ආණ්ඩුකාර මාර්ක් මැක්ගෝවන් පොලිස්පතිවරයා ද පිරිවරාගනිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. 

දැරිය පැහැර ගෙන යන්න ඇතැයි පොලිසිය විශ්වාස කරන බවත්, ඇය ගැන හෝඩුවාවක් ලබා දෙන අයකුට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක තෑග්ගත් දෙන බවත් ආණ්ඩුකාරවරයා පැවැසුවේය. මේ වනවිට ක්ලියෝගේ අතුරුදන් වීම මුළු ඕස්ට්‍රේලියාව ම කම්පා කර තිබුණි. දැරිය පැහැර ගත් තැනැත්තා ඇය බටහිර ඕස්ට්‍රේලියාවේ සිට වෙනත් ප්‍රාන්තයකට රැගෙන යාවි යැයි බියට පත් වුණු පොලිසිය ප්‍රාන්ත සීමා වසා දමා සියලු දෙනා සෝදිසි කරන්න විය.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ඒ වනවිටත් සංචරණ සීමා පනවා තිබුණු බැවින් පැහැර ගැනීම කළ තැනැත්තාට ක්ලියෝ රැගෙන වෙනත් ප්‍රාන්තයකට යෑම අසිරු බව පොලිසිය දැන සිටියේය. රහස් පරීක්ෂක රොබ් වයිල්ඩ් ඇතුළු පොලිස් කණ්ඩායම, කැනාවන් නුවර අගුලු දමා තිබුණු ඒ නිවස වටලා ඊට කඩා වැදුණේ පසුගිය 3 වැනිදා අලුයම් කාලයේය. පොලිසිය නිවස වට කළේ කුමන හෝඩුවාවක් ලැබීමෙන්දැයි මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය වී නැත. ඒ, විමර්ශන කටයුතු තවමත් අවසන්නොවන බැවිනි. 
නිවසට කඩා වැදුණු වයිල්ඩ් ඇතුළු සියලු දෙනා සැනැසුම් සුසුම් හෙළන්න වූයේ දින 18 කට පසු ඔවුන්ට නිරුපද්‍රිත සිටි පුංචි ක්ලියෝ නිවසින් හමුවීමත් සමඟය. එය රහස් පරීක්ෂක රොබ් වයිල්ඩ් සහ ඇතුළු බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිස් නිලධාරීන්ගේ වික්‍රමයකි. 

පොලිස්පති ඩෝව්සන් මාධ්‍ය හමුවේ කියා සිටියේ රහස් පරීක්ෂක වයිල්ඩ් ඇතුළු පොලිස් කණ්ඩායම මෝටර් රථයක් රහසේ ලුහුබැඳ ගිය බවත්, ඒ අනුව, ඔවුන්ට ක්ලියෝ රඳවා සිටි නිවස හමුවුණු බවත් පමණි. 

දැරිය පැහැර ගන්න ඇත්තේ කවුරුන්දැයි යන සැක කළ තැනැත්තා හරිහැටි හඳුනා ගැනීමට හැකිවීම දැරිය බේරා ගැනීමට හැකිවුණු බව රහස් පරීක්ෂක වයිල්ඩ් පවසා ඇත. අවසානයේ පැහැර ගැනීම සම්බන්ධයෙන් සැක පිට 36 හැවිරිදි ටෙරන්ස් ඩෙරල් කෙලී නමැත්තා අත්අඩංගුවට ගැණුනි. 
කූඩාරමේ නිදා සිටි ක්ලියෝ පැහැරගෙන ගියේ ඩෙරල් කෙලී යැයි චෝදනා එල්ල් වී ඇත. කෙසේ නමුත් පොලිස් අත්ඩඅංගුවට ගැනීමෙන් පසු ඩෙරල් කෙලී හදිසියේ රෝහල් ගත කිරීමට පොලිසියට සිදුවිය. ඒ, ඔහු අත්අඩංගුවේ සිටිද්දී පහර කෑමට ලක් වූ නිසාය. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුවෙමින් පවතී. 

 ක්ලියෝගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් බැඳුණු සිදුවීම් සියල්ල තමන් තවමත් හරිහැටි දන්නේ නැතැයි පොලිසිය කියයි. විමර්ශන නොකඩවා සිදුවෙයි. ''සිදුවුණේ කුමක්දැයි ක්ලියෝගෙන් දැනගන්න ටික දවසක් යාවි. විශේෂඥයන් කණ්ඩායමක් ඇයගෙන් හෙමින් සීරුවේ සිදුවුණු දේ විමසා බලාවි. ඒ එම අමිහිරි අත්දැකීම ඇගේ සිතට වදයක් නොවන විදියටයි.'' රහස් පරීක්ෂක වයිල්ඩ් පැහැදිලි කර ඇත. 

෴ ලුසිත ජයමාන්න - BBC ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom