ඉන්දීය ගොවි අරගලය අවසන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Nov 19, 2021

ඉන්දීය ගොවි අරගලය අවසන්

ඉන්දීය ගොවීන්ට අද (19) සුවිශේෂී දිනයකි. ජයග්‍රාහී දිනයකි. ඒ, වසරක කාලයක් පුරා, ඉන්දීය ගොවීන් දිවි පරදුවට තබා‍ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ මධ්‍යම රජයට එරෙහිව ගෙන ගිය අරගලය අවසන් ව ජය හිමිවීම නිසාය. ගොවීන්ට ජය හිමිවූයේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය රජය පරාජය බාර ගැනීමට සිදුවීමත් සමඟය. 

ආන්දෝලනයට තුඩු දුන් ගොවි පනත් තුන අවලංගු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද උදෑසන රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැහැදිලි කළේය. 'මා අද ඔබට කියනවා. මුළු රටටම කියනවා. ගොවි පනත් තුනම අහෝසි කිරීමට මා පියවර ගන්නවා. මේ මස අගදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී අදාළ නීති ඉවත් කරගැනීමට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගන්නවා' යැයි අග්‍රාමාත්‍ය මෝදි පවසද්දී, ඉන්දියාව පුරා වීදි බැස මාර්ග හරස් කරමින් සහ මාර්ග අවට රැඳී සිටිමින් වසරකට ආසන්න කාලයක්, අව්වේ වේලෙමින් වැස්සට තෙමෙමින් පොලිසියේ අඩන්තේට්ටම් හමුවේ අසරණ වූ ගොවීහු ප්‍රීති ඝෝෂා නගන්න වූහ.

බොහෝ දෙනා රස කැවිලි බෙදා ගනිමින් සතුට සමරන්න පටන් ගත්තේය. ගොවි අරගලය අවසන් වූයේ 'සතුටු අවසානයක්' සහිතව නොවෙයි. පසුගිය වසර අවසානයේ ආරම්භ වුණු විරෝධතා මෙම 2021 ආරම්භයේ දී වඩ වඩාත් උණුසුම් වී ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේය. ඉන්දියාව පුරා විරෝධතා රැලි පැවැත්විණි. ප්‍රධාන නගරවලට විරෝධතා පැතිරෙන්න වුයේ ළැව් ගිනි මෙනි. මිලියන 250 කට වැඩි පිරිසක් විරෝධතාවට එක් වූ බව පැවැසෙයි. ගොවි සංවිධාන 40ක සහ ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ 14ක සහාය අරගලයට හිමිවිය. විරෝධතා නවදිල්ලි අගනුවරට පවා ව්‍යාප්ත විය. 
ඉන්දීය ප්‍රධාන දේශපාලන කණ්ඩායම වන 'කොංග්‍රස් පක්ෂය' දේශපාලන වාසි නොබලා ගොවීන් සමඟ අත්වැල් බැඳ ගැනීම සුවීශේෂී සිදුවීමක් විය. අරගලයට පොලිසිය හරස් වෙද්දී, ඉන්දීය ගොවීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ලෙයින් ඉන්දීය පොළොව තෙත් විය. 2021 මාර්තු 5 වැනිදා වනවිට විරෝධතා සඳහා සහභාගී වී මියගිය ගණන 248 කි. ජූලි 10 වැනිදා වනවිට මියගිය ගණන 537 තෙක් ඉහළ ගොස් තිබුණි. පසුගිය නොවැම්බර් පළමු වැනිදා වනවිට මියගිය ගණන 750 සීමාව පසු කර තිබුණි. මෝදි ප්‍රමුඛ රජය පරාජය බාර ගනිද්දී මියගිය විරෝධතා කරුවන් ගණන 768 ක් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. 

ලබන වසර එනම් 2022 වෙද්දී, කෘෂි ක්ෂේත්‍රය තුළ ගොවීන්ගේ ආදායම දෙගුණයකින් වැඩි කරමින්, කෘෂි ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමේ ඉලක්කය මෝදි සතු විය. 2019 දී දෙවැනි වර විශිෂ්ට ජයක් හිමිකර ගැනීමත් සමඟ, මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය, නව කෘෂිකාර්මික පනත් කෙටුම්පත් එසේත් නැතිනම් ගොවි පනත් නෙටුම්පත් 3 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 

2020 සැප්තැම්බරයේ දී එම පනත් සම්මත වී නව නීති සකස් කෙරුණි. ආන්දෝලනයක් ඇති කළේ මෙම පනත් තුනය. ගොවි නිෂ්පාදන සහ වෙළඳාම පිළිබඳ පනත් කෙටුම්පත, ගොවීන් සවිබල ගන්වමින් සහ ආරක්ෂා කර ගනිමින් සහතික මිලක් ලබා දීම සහ ගොවිපොල සේවා නිසි අයුරින් පවත්වා ගෙන යෑමේ පනත් කෙටුම්පත සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සංශෝධන පනත් කෙටුම්පත යනු විරෝධතා ඇති වීමට හේතු සාධක වුණු එම පනත් තුනය. 

පාර්ලිමේන්තුවේ දී මෙම පනත් සම්මත වෙද්දී ඉන්දීය කෘෂිකර්ම අමාත්‍ය නරේන්ද්‍ර සිං තෝමර්, පැහැදිලි කළේ මෙම නව පනත් 3, ඉන්දියාවේ කොඳු නාරටිය වන කෘෂිකර්මාන්තය නගා සිටුවීම ඉලක්ක කරගනිමින් සකස් කළ බවය. කෙසේ නමුත්, ආරම්භයේ දී පටන් ඉන්දීය ගොවීන් සහ ගොවි සංගම් එක පයින් ඊට විරෝධය දැක්වීය. නව පනත් හරහා ඉන්දියාවේ ගොවි ජනතාවගේ නිෂ්පාදන ප්‍රමාණය සහ ආදායම ඉහළ යන බව කෘෂිකර්ම අමාත්‍ය නරේන්ද්‍ර සිං තෝමර් දිගින් දිගටම පෙන්වා දුන්න ද ගොවීන් එය පිළිගත්තේ නැත. 

ගොවීන් නියෝජනය කරමින් ගොවි සංගම් පෙන්වා දෙන්න වූයේ නව පනත් හරහා ගොවීන්ගේ අභිලාෂය ඉටු නොවන බවත්, එම පනත්වලින් කෘෂි ව්‍යාපාරයට දැඩි ලෙස හානි සිදුවන බවත්ය. ගොවි නිෂ්පාදන අලෙවිය, මිල නියම කිරීම සහ ගබඩා කිරීමට අදාළව දශක ගණනාවක් මුළුල්ලේ පැවති නීතිරීති වෙනස් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ රජය කටයුතු කර ඇත්තේ ගොවීන්ගෙන් ඒ පිළිබඳ කිසිදු විමසීමක් නොකර යැයි චෝදනා එල්ල වන්න පටන් ගත්තේය. 
එම චෝදනා විරෝධතා තෙක් දුරදිග ගියේ ඉන්පසුවය. අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ රජය නව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඒවා සම්මත කර ගැනීම සිදුවූයේ අදානි සමූහ ව්‍යාපාරයේ අධිපති ගෞතම් අදානි සමඟ එක් වෙමින් යැයි මෝදිට චෝදනා නැගෙන්න විය.

 අග්‍රාමාත්‍ය මෝදි සහ අදානි සමූහ ව්‍යාපාරයේ අධිපති ගෞතම් අදානි අතරේ 'ගජ මිතුරු' සබඳතා පවතින බවත්, අදානිට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ඔහුගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට මෝදි රජය මෙම නව කෘෂි පනත් කෙටුම්පත් සම්මත කර ගත් බවටත් චෝදනා නැගෙන්න විය. ගොවි විරෝධතා මෙහෙයවූ නායක ගුර්නාම් සිං චරුති පැහැදිලි කර ඇත්තේ, මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගොවි නිෂ්පාදන මිලදී ගැනීම සහ ඊට මිලක් නියම කිරීම හරහා ඉන්දීය ගොවීන් තව තවත් අසරණ වනු ඇති බවය.

ඉන්දීය ගොවීන්ට අවසානයේ දී ඔවුන්ගේ ගොවි බිම් පවා අහිමි වනු ඇතැයි ගුර්නාම් සිං චරුති පෙන්වා දි තිබුණි. නව පනත් කෙටුම්පත් සකස් කෙරුණේ අදානි සමූහ ව්‍යාපාරයට වාසිදායක අයුරින් බවත්, එයින් ඉන්දීය ගොවි ජනතාවට කිසිදු වාසියක් නොමැති බවත් ගුර්නාම් සිං චරුති පෙන්වා දී තිබුණි. 

ඒ අනුව, ඉන්දියාව දරුණු ලෙස 'කොවිඩ් 19' වසංගතයෙන් බැට කද්දී, 'කොවිඩ් 19' අවදානම පවා නොතකා විරෝධතා පැවැත්විණි. ගොවීහු දහස් ගණනින් පා ගමනින් සහ ට්‍රැක්ටර්වලින් නවදිල්ලියට ඇදෙන්න වූහ. තැන තැන කූඩාරම් අටවා ගනිමින්, මහමඟ නිදමින් ඉන්දීය ගොවීහු විරෝධය පළ කරන්න වූහ. 

ඉන්දියාව තුළ කුලය, ජනවර්ගය, ආගම යනාදී වශයෙන් බෙදීම් තිබුණද මෙම විරෝධතාවයේදී ඒ සියලු ආකාර වර්ගවාදී චින්තනයෙන් බැහැරව ගොවීන් ලෙස ඒකරාශි වී සිටීම සුවිශේෂී වෙයි. අරගලය සඳහා දිල්ලි නුවරට රැස්ව සිටින පිරිස් අතර හරියානා සහ පන්ජාබ් ප්‍රාන්තවල ගොවීන් බහුතරයක් සිටින අතර ඔවුන්ගෙන් බහුතරය සික් ජාතිකයෝ ද සිටියහ. ඉන්දීය ගොවීන්ගේ මෙම අරගලය ජාත්‍යන්තරයට ද ගියේය. 

ඉන්දීය ගොවීන්ට සහාය පළ කරමින්, එංගලන්තයේ ලන්ඩන් නුවර මෝටර් කාර් විරෝධතා පෙළපාළියක් පැවති අතර එරට තවත් ප්‍රදේශ කිහිපයකද විරෝධතා රැලි පැවැත්විණි. කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ ද ගොවි අරගලයට පක්ෂපාතීත්වය දක්වමින් අදහස් පළ කර තිබිණ. ඕස්ට්‍රේලියාවේ ද විරෝධතා පැවැත්විණි. ඒ අදානි සමූහයට එරෙහිවය. 

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ අදානි සමූහ ව්‍යාපාරයේ අධිපති ගෞතම් අදානි අතරේ 'ගජ මිතුරු' සබඳතා පැවැතීම රහසක් නොවෙයි. ගෞතම් ශාන්තිලාල් අදානි යනු අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියාය. වයස අවුරුදු 59 කි. ඉන්දියාවේ දෙවැනි ධනවතා මෙන්ම බලවතා ද වන්නේ මොහුය. බල ශක්තිය, දේපොළ වෙළෙඳාම්, යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍ර ගණනාවක් හරහා අදානිගේ ව්‍යාපාරික ජාලය විහිදී පවතී. ව්‍යාපාර ක්ෂේත්‍රයේ පරතෙරට ගිය මොහු දෙවැනි වන්නේ ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිට පමණි. අදානි ඉන්දියාවේ දෙවැනි ධනවතා වන්නේ ඒ අනුවය. 

ගෞතම් අදානි, ශ්‍රී ලංකාවේ අපට ද ආගන්තුකයකු නොවෙයි. අප රජය, කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කළේ අදානි සමූහ ව්‍යාපාරය සමඟය. අදානි පවුලේ සියලු දෙනා ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටී. 

ගෞතම් අදානිගේ පුතු කරන් අදානි, අදානි සමූහයට අයත් වරාය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරියාය. අදානිගේ බාල සොහොයුරු රාජේෂ් අදානි, අදානි සමූහයේ කළමනාකර අධ්‍යක්ෂවරයාය. බෑණනුවන් වන ප්‍රණාම් අදානි, අදානි එන්ටර්ප්‍රයිසස්හි අධ්‍යක්ෂවරයාය. ගල්අඟුරු ආකර ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා ලෙස ද මොහු කටයුතු කරයි. හරිත බලශක්ති ව්‍යාපාරය මෙහෙයවන්නේ සාගර් අදානිය. 

අදානි පවුලේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 28.5ක් පමණ යැයි පැවැසෙයි. ඉන්දියාවේ නැගෙනහිර, ක්‍රිෂ්ණපට්නම් වරාය මිලදී ගැනීමත් සමග අදානි සමූහය සතු වරාය ගණන 10 ක් බවට පත් වී තිබේ. ක්‍රිෂ්ණපට්නම් වරායේ කොටස් 75%ක් අදානි පවුල මිලට ගන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 135.7 කටය. එය ඉන්දියාවේ, පෞද්ගලික අංශයට අයත් වූ දෙවැනි විශාලම වරාය ද වෙයි. 2019 වසරේ 'ඉන්දියා ටුඩේ' සගරාව ඉන්දියාවේ බලවත්ම පුද්ගලයන් නම් කළේය. එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිවූයේ ගෞතම් අදානිටය. 

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad