නිළිය හොයාගෙන සම්මානය එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 22, 2021

නිළිය හොයාගෙන සම්මානය එනවා

රටවල් 86ක සිනමා නිර්මාණ 1,300කට වැඩි ගණනක් අභිබවා Bayelsa ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සෝමරත්න දිසානායක මහතාගේ ‘සුනාමි’ චිත්‍රපටය සම්මාන දෙකක් දිනා ගැනීම අපට මහත් ආඩම්බරයකි. ‘සුනාමි’ චිත්‍රපටය සඳහා හිමිවූයේ හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම නිළියට හිමි සම්මානය. හොඳම නිළිය ලෙස සම්මානයට ප්‍රාත වූයේ නිරන්ජනී ෂන්මුගරාජා ය. 

ලබාගත් ජයග්‍රහණයේ සතුට කොහොමද? 
අපට ලැබෙන හැම ජයග්‍රහණයක්ම අලුත්නෙ. ඒ හැම ජයග්‍රහණයක්ම අලුත් විශ්වාසයක් ඇති කරනවා. ඒ වගේම ලොකු වගකීමක් ඒ තුළ පැවරිලා තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ සිනමාව. සිංහල, දෙමළ කියලා වෙන් කරන්න බැහැ. ඉතින් මට මේ ලැබුණු ජයග්‍රහණයත් එක්ක ශ්‍රී ලාංකීය සිනමාව තුළ තව ලොකු දෙයක් කරන්න වගකීමක් පැවරිලා තියෙනවා කියන හැගීමක් මට දැනෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න හරි විදියට ඉදිරියට යන්න ඕනෑ කියන දේ, ඒ සතුට තමයි මට ගොඩක් දැනෙන්නෙ, මේ ජයග්‍රහණය තුළින්. 

සම්මානය තමන්ගේ දෝතින් ලබා ගැනීමට නොහැකිවීම ගැන දුකද? 
මේ සම්මාන උළෙල පැවැත්වුණේ නයිජීරියාවේ "Bayelsa' ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදීයි. ඒ වෙනුවෙන් සම්මාන ගේන්න යන්න අපට හැකිවුණේ නැහැ. අපට ආරාධනා කරලා තිබුණා. නමුත් රටේ ඇතිවුණු කොවිඩ් තත්ත්වයත් එක්ක මේ වෙනුවෙන් සම්බන්ධ වෙනවා කියන්නේ ප්‍රශ්නයක්නෙ, නමුත් ඒරටේ සිට අපේ මව් රටට මේ සම්මාන ඉතා නුදුරේම ලැබෙන්නට සලස්වනවා. විශේෂයෙන් කියන්න ඕනෑ මේ නිර්මාණය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නිළියට හිමි සම්මාන ද්විත්වය පමණක් නෙමෙයි ලැබුණේ. අපි මේ වෙනුවෙන් සම්මාන 9කට නිර්දේශ වෙලා තිබුණා. හොඳම නළුවා, හොඳම නිළිය, කැමරා අධ්‍යක්ෂණය, ජනතා සම්මානය මේ හැමදේටම නිර්දේශ වෙලා තිබුණෙ. ඇත්තටම ජාත්‍යන්තර සම්මාන උළෙලක මේ විදියට නිර්දේශවීම ලොකු ආඩම්බරයක්. මේ කණ්ඩායමේ හැමෝගෙම දායකත්වය මත තමයි මේ ජයග්‍රණය මට ලබාගන්න හැකිවුණේ. 
සම්මාන දිනූ චරිතය ගැන කතා කරමුද?
‘සුනාමි’ චිත්‍රපටයේ ‘කල්‍යාණි’ ලෙස තමයි මම රංගනයේ යෙදුණෙ. ඇත්තටම අභියෝගාත්මක චරිතයක්. මේ චරිතය ගැන කතා කරද්දි ඇත්තම කියනවා නම් පෞද්ගලිකව මම අම්මා කෙනෙක් නෙමෙයි. නමුත් මේ චරිත රංගනයේ මම දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඒ මවක්, බිරිඳක් විදියට විවිධ විදියේ භාව ප්‍රකාශයන් මේ තුළින් ඉදිරිපත් කරන්න වුණා. හැඟීම් ප්‍රකාශනයන් මේ තුළ වැඩිපුර තිබුණා. මවගේ චරිත රංගනය ගත්තම ඒ තුළ අහිංසක මවක් වගේම සැර, පරුෂ මවක් වෙන්නත් සිදු වුණා. මොකද මෙහි එක් තැනක තියෙනවා සුනාමියෙන් නැතිවුණු දරුවා අවුරුදු 12 කින් පසුව හොයාගත්තම ඒ දරුවා මේ මවට ආදරේ කරන්නේ නැහැ. ඉතින් ඒ හැඟීමත් එක්ක මේ දරුවාව ආපසු දෙනවා. ඉතින් ඒ හැඟීම එක්ක අහිංසක, සැර පරුෂ හැම භාවයකම නිරූපණයක් කරන්න සිදු වුණා. ඇත්තටම මේ චරිතය අධ්‍යක්ෂවරයා ලබාදෙද්දිත් මට කියපු දෙයක් තමයි මේ චිත්‍රපටය ලියන්න වාඩිවුණාම මුලින්ම මතක් වුණෙත් මාව කියලා. කල්‍යාණි අම්මා කියන්නේ නිරංජනීම තමයි කියන දේලු ඔහුගේ ඔළුවට ආවේ. ඉතින් අධ්‍යක්ෂවරයෙක් ඒ විදියට කියද්දි ඒකත් රංගන ශිල්පිනියකට ලබන්න පුළුවන් උපරිම සම්මානයක්. ඒක වෙනම සතුටක්. ඉතින් මම මේ සිනමා නිර්මාණය තුළින් මේ හැමදේම නොඅඩුව ලැබුවා. 

මේ නිර්මාණය වෙනුවෙන් කරපු කැප කිරීම් ගැන කිව්වොත්?
ඇත්තටම මීට පෙර මම සම්බන්ධවුණු නිර්මාණ එක්ක බලද්දි මේ රංගනය මම පෙර සඳහන් කළා වගේ අභියෝගාත්මක රංගනයක්. දිවි පරදුවට තියලා රංගනයේ යෙදෙන්න වුණු අවස්ථා තිබුණා. ඇත්තටම මම මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙත් මුලින්ම පුංචි බොරුවක් කියලා. මොකද මේ වෙනුවෙන් පීනන්නට දැනගෙන ඉන්න ඕන වුණා. නමුත් මට ඇත්තටම පීනන්න බැහැ. ඒ වගේ පොඩි හේතුවක් නිසා මට මේ වගේ ලොකු අවස්ථාවක් නැති කරගන්න බැහැනේ. ඒ නිසා තමයි මට ඒ විදියේ බොරුවක් කියන්න වුණෙත්. ඉතින් මට පීනන්න බැරි කෙනෙක් විදියට වතුරට දාද්දි ලොකු ප්‍රශ්නයක් වුණා. නමුත් මගේ හිතේ පුංචි හෝ බයක් තිබුනේ නැහැ. ඒත් වතුරට ගහගෙන යද්දි බයක් ඇතිවෙනවානේ. මට මේ රංගන කටයුතුවල දායක වෙද්දි වතුර පෙවිලා වතුරේ ගිලිලා ලොකු ඇබැද්දි සිදුවුණා. ඒ දේවල් මතක් වෙද්දිත් දැන්නම් පුංචි බයක් නොදැනෙනවාම නෙමෙයි. නමුත් දෙයක් කැමැත්තෙන්, ආදරයෙන්, කැප කිරීමකින්, උපරිම දායකත්වයක් ඒ දේට ලබාදෙනවානම් බාහිර කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි වපුරන දේ ප්‍රථිපලය තමයි අවසානයේ අපිට ලැබෙන්නේ. කරපු කැප කිරීම් අපතේ ගිහින් නැහැ. 

දැන් ඔබේ රංගනය ගැන මොකද කියන්නේ? 
දැන් මගේ අම්ම තමයි මගේ රූගත කිරීම්වලට පවා මාව උනන්දු කරවන්නෙ. මාව ඒදේට සූදානම් කරවන්නෙ. දැන් මට කිසිදු තහංචියක් නැහැ. සමහර වෙලාවට මේ ක්ෂේත්‍රයන් පිළිබඳ නිසි අවබෝධයක් නැතිකමෙන් බොහෝ විට මෙවැනි තහංචි වැටෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ක්ෂේත්‍රය ප්‍රසිද්ධ නිසා කතාබහ වෙනවා වැඩියිනෙ. නමුත් කාන්තාවන්ට හැම ක්ෂේත්‍රයකම යම් මට්ටම්වල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ගෙවල්වල වුණත් ඒ ප්‍රශ්න තියෙනවා. නමුත් තමන් ජීවත්වෙන විදියයි වැදගත් වෙන්නෙ මේ හැමදේටම. ඉතින් මම ගැනත් මුලින් අම්මට බයක් ඇතිවෙන්න ඇති. මොකද මම තාත්තා නැතිව හැදුණු ළමයෙක්. අපේ ගෙදර පිරිමි කෙනෙක් නැහැ මට ඒ ආරක්ෂාව දෙන්න. නමුත් මම මට මේ ලැබුණු අවස්ථාව හරියට භාවිතා කළා. ඒ භාවිතයෙන් මම මගේ හිතින්ම හිතාගත්තා මම හොඳ දක්ෂ නිළියක් කියන දේ. මම මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න ඕනෑ කියන තැනයි හිටියේ. ඒ විශ්වාසය තදින්ම තිබුණා. 
මගේ පළමු නිර්මාණය 2013 වසරේ ‘ඉනි අවන්’ සිනමා නිර්මාණය හරහා මම හොඳම නිළිය සම්මානය ලබා ගන්නවා. ඉතින් ඒ ජයග්‍රහණය ලැබීමත් එක්ක මගේ ගෙදර අයටත් ආඩම්බරයක් දැනෙන්න ඇති. ඉතින් අද වෙද්දි මම මේ තුළ යම්කිසි දෙයක් කරගෙන තියෙන නිසා හොරෙන්වත් අම්මගේ අකමැත්තෙන්වත් දෙයක් කරන්න අවශ්‍ය වෙලා නැහැ. අම්මා හැමදේටම ලොකු සහයෝගයක් ලබාදෙනවා. 

අද රංගන ශිල්පිනියක් විදියට රටේම ලොකු ආදරයක් ලබනවා. මොකද හිතෙන්නෙ? 
ඒ ගැනනම් තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. මම දෙමළ ජාතික කාන්තාවක් වුණත් ජාති, ආගම් භේදයක් නැතිව අතිවිශාල පිරිසක් මට මේ වෙද්දි ආදරය කරනවා. ඇත්තටම මගේ මේ රටේ මිනිස්සු හරිම ආදරණීයයි. ඉතින් වයස් භේදයකින් තොරව මේ ලැබෙන ආදරයට මමත් ගොඩක් ආදරෙයි. ඒ ගැන වචනයෙන් සඳහන් කරන්න බැරි තරම්. 
මීට පෙර ඔබ සම්මාන කිහිපයකට පාත්‍රවෙලා තියෙනවා නේද? 
ලංකාවේ නළු නිළියන්ට අත්පොළසන් නාදයි, සම්මානයි තමයි තියෙන ලොකුම සතුට. මොකද අපේ මේ කර්මාන්තය ලොකුවට තියෙන්නේ මුදල් නෙමෙයිනෙ. ඉතින් මුලින්ම මම නිර්මාණයකට සම්බන්ධ වෙද්දි ලොකු බයකින් ආවෙ. මොකද මාව මේ කර්මාන්තයට භාර ගනීද කියන සැකයත් එක්ක. නමුත් මගේ පළමු සිනමා නිර්මාණයෙන්ම ලංකාවේ අති දැවැන්ත තරු පිරිස මැදින් මටත් වඩා ගොඩක් දක්ෂ ප්‍රවීන නිළියන් අතරින් හොඳම නිළිය සම්මානයට යන්න හැකිවුණා. ඒ පළමු රංගන නිර්මාණයෙන්ම. මට ඒ දේ අදටත් පුදුමයි. ජනතාව මේ තරම් ආදරයකින් මාව වැළඳගත්තද කියන දේත් පුදුමයක්. ඉතින් ඒ ආරම්භයේ පටන් මට මේ වෙද්දි හොඳම නිළිය සම්මානය තෙවරක් සහ හොඳම සහය නිළිය සම්මානය එක් වරක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ හැමදේම එක්ක මගේ තවත් සිනමා නිර්මාණ පහක් තිරගතවෙන්න සූදානම්ව තියෙනවා. මේ සියල්ලත් එක්ක මගේ තියෙන එකම බලාපොරොත්තුව තමයි අපේ රටේ ජනාධිපති සම්මාන උළෙලක සම්මානයක් ලබාගැනීම. දෙස් විදෙස් සම්මාන ලබාගත්තට ජනාධිපති සම්මාන උළෙලකින් මගේ නම නිර්දේශ වෙනවානම් හෝ මට ඒ වටිනාකම ගොඩක් දැනෙයි. මොකද මගේ රට ඇතුළේ ලැබෙන විශිෂ්ටම සම්මානය ජනාධිපති සම්මානය කියන දේ මට දැනෙන්නෙ. ඒ දේ තමයි මගේ ලොකුම අරමුණ සහ බලාපොරොත්තුව. 

 ෴ ධනු විජේරත්න - සැදැල්ල අතිරේකය
  ඡායාරූප - මුහුණු  පොතෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom