මූදේ බැහැලා සමුළුව අමතලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 16, 2021

මූදේ බැහැලා සමුළුව අමතලා

දේශගුණික විපර්යාස පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ 'කොප්26' සමුළුව සති දෙකක් තිස්සේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරදී පැවැත්විණි. මේ සමුළුව මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය තීරණය කරන ඉතාමත් වැදගත් පාරිසරික සමුළුවක් විය. 

ජගත් පරිසරවේදීන්, දිගින් දිගටම පෙන්වා දුන්නේ, ලෝකය බේරා ගැනීමට මනුෂ්‍ය වර්ගයාට ලැබෙන අවසන් අවස්ථාව මෙම 'කොප්26' සමුළුව බවය. රටවල් 200 ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයෝ සමුළුවට සම්බන්ධ වූහ. සමුළුවේ ආරම්භක දින දෙක වෙන්වූයේ රාජ්‍ය නායකයන් වෙනුවෙනි. 

ඉන්පසු නියෝජිතයෝ සමුළුව අමතමින් දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සම්බන්ධයෙන් තම තමන්ගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. තුවාලු නමැති පුංචි දූපත් රාජ්‍යයේ විදේශ ඇමැති සිමෝන් කොෆේ ද සමුළුවට සිය අදහස් ඉදිරිපත් කළේය. ඒ, වීඩියෝ පණිවුඩයක් හරහා සමුළුවට රැස්වුණු පිරිස ආමන්ත්‍රණය කරමිනි. 

මිහිකත උණුසුම්වීම සහ සාගර ජල මට්ටම දිනෙන් දින ඉහළ යෑමත්, කුඩා දූපත් මුහුදට බිලිවීමත් ගැන විදේශ ඇමැති සිමෝන් කොෆේ ලෝකය දැනුවත් කළේය. පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයකු ද වන තුවාලු දූපත පිහිටා ඇත්තේ, හවායි සහ ඕස්ට්‍රේලියාව අසලය. තුවාලු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සාමාජික රාජ්‍යයකි. දූපතේ ජනගහනය 12,000 කි. 

'දේශගුණික විපර්යාස සහ සාගර ජල මට්ටම ඉහළ යෑම ගැන සුළුවෙන් හිතන්න බැහැ. අප ගිලෙනවා. අප විතරක් නොවෙයි, හැමෝම ගිලෙනවා. සාකච්ඡා කළා ඇති. දැන් අප කවුරු කවුරුත් කළ යුත්තේ දැඩි තීන්දු තීරණ ගැනීමයි. තුවාලු වැසියන් වන අප දේශගුණික විපර්යාසවල තරම බොහොම හොඳින් දන්නවා. මුහුදු මට්ටම දිනෙන් දින ඉහළ යනවා. මේ විඩියෝවෙන් ඔබට එය තවත් පැහැදිලි වේවි' යැයි විදේශ ඇමැතිවරයා පැවැසුවේ තුවාලු දූපතේ මුහුදට යට වුණු ස්ථානයක සිටය. 

විදේශ ඇමැතිවරයාගේ දණ හිස දක්වා මුහුදු වතුර පිරී පවතී. වසර කීපයකට පෙර මෙම ස්ථානයේ තුවාලු වැසියෝ පදිංචි වී සිටියහ. 1993 වසරේ සිට මේ දක්වා සෑම වසරකටම සෙ.මී.0.5 කින් මුහුදු මට්ටම ඉහළ යමින් පවතින අතර, තුවාලු දූපතේ ස්ථාන කීපයක් මුහුදට බිලි වී අවසන්ය. 

 දේශගුණික විපර්යාසවල අනිසි ප්‍රතිඵලයක් ලෙස මිහිමත උණුසුම් වීම යනු මනුෂ්‍ය අප ද ඇතුළු සියලු ජීවීන්ගේ පැවැත්මට විශාල තර්ජනයකි. මෙම තර්ජනය දිනෙන් දින වැඩි වෙනවා මිස අඩුවන්නේ නැත. 19 වැනි සියවසේ පැවැතියාට වඩා අද අපගේ ලෝකය සෙල්සිස් අංශක 1.2 කින් උණුසුම් වී ඇත. වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය මේවනවිට සියයට 50 කින් ඉහළ ගොසිනි. 

ජීවත් වීමට සුදුසු වටපිටාවක් ඇති කර ගැනීමට නම්, ඉහළ යන උෂ්ණත්වය පහළ දැමිය යුතුය. විද්‍යාඥයන්ට අනුව, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම කළ යුතුය. 'කොප්26' සමුළුවේ දී සම්මුතීන් ඇති කර ගැනුණේ මේ සම්බන්ධයෙනි. 

විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, දැනට පවතින අහිතකර තත්ත්වය අනුව, ලෝකය උණුසුම් වන වේගය අනුව, මෙම සියවස අවසන් වෙද්දී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 කට වඩා ඉහළ යනු ඇත. මෙය අනාගතයේ දිනෙක සෙල්සියස් අංශ 4 සීමාවට ළං වුවහොත් එදාට පෘථිවිය ජීවයෙන් තොර කාන්තාරයක් වනු ඇත. 

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom