දීපාවලී සැමරෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Nov 4, 2021

දීපාවලී සැමරෙයි

හින්දු ජනතාව මහත් හරසරින් සමරන දීපාවලි උත්සවය අදට (4) යෙදී ඇත. හින්දු ජනතාව බොහෝ උත්සව සමරන අතර, ඉන් සුවිශේෂී තැනක් හිමිවන්නේ දීපාවලියටය. මන්ද දීපාවලි දිනයේදී මිනිසුන්ගේ අඥානය දුරුවී ප්‍රඥාව පහළ වූ දිනයක් හැටියට හින්දූන් සලකන නිසයි. හින්දු දර්ශනය පවසන පරිදි දුක් දොම්නස් පිරුණ අඳුර නසා, සතුට සොම්නස පිරී උතුරා යන කරුණාව පතුරුවා ආනන්ද වූ ආලෝකය විහිදුවා හින්දුන්ගේ නිවෙස් ආලෝකවත් කරන දීප පේලිය දැල්වීම දීපාවලිය යන්නෙන් අර්ථවත් වේ. මෙහි ‘දීප’ යන්න ආලෝකයද ‘ආවලී’ යන්න පේළිය යනුවෙන්ද හැඳින්වේ. මෙම වචන දෙක සන්ධි වී දීපාවලිය සැදී ඇත.

පූරාණ කතා 
දීපාවලිය සිහිගන්වන බොහෝ පුරාණ කතා පුරාණ ග්‍රන්ථවලින් පෙන්වා දිය හැක. එයිනුත් ප්‍රසිද්ධතම කතා පුවත වන්නේ නරක අසුරයාගේ කතාවයි. මෙම කතා පුවත මූලිකව දීපාවලිය ඇතිවීමට තුඩුදුන්නත් සමස්ත ඉන්දියාව පුරාම දීපාවලිය සමරන බැවින් ඒ ඒ වාර්ගික ජාතීන් මෙය සැමරීමට විශේෂ කරණා මතු කරති. 

නරක අසුරයාගේ කතා
නරක අසුරයා උත්පත්තිය ලබන්නේ පොළව මහීකාන්තාවටත් වරාකර් නමැති අසුරයාටත් දාවයි. භූමා දේවිය යනු මහා ලක්ෂමිගේ පැතිකඩයි. මෙම නරක අසුරයා ඝන වනාන්තරයට ගොස් මහා බ්‍රහ්මයා උදෙසා කළ උපවාසය කොතෙක්ද කිව්වහොත් එය මහා බ්‍රහ්මයාටද දැණුනේය. එම උපවාසය අවසානයේ නරක අසුරයා ඉදිරිපිට මහා බ්‍රහ්මයා දිස්විය. මේ අවස්ථාවේදී මහා බ්‍රහ්මයා මෙසේ පැවසුවේය.

‘නරක අසුරයිනි. නුඹ මා වෙනුවෙන් කළ උපවාසය ඉතා අනර්ඝයි. එම නිසාවෙන් මාගෙන් ඕනෑම වරයක් ඉල්ලව. මා දෙන්නම්.’ එවිට නරක අසුරයා.‘මහා බ්‍රහ්මයාණෙනි මා හට ‘සහා වරම’ නොමැරී සිටීමේ වරම ලබා දෙන්න’ යැයි ඉල්ලුවේය. එවිට මහා බ්‍රහ්මයා නරක අසුරයාණෙනි එවරම කිසිවෙකුට දෙන්නට බැහැ. මන්ද මේ ලෝකයේ ඉපදුණ සෑම කෙනෙකුටම මරණය අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. එම නිසාවෙන් මෙම වරම දෙන්න බැහැ.’ යැයි පැවසීය. 

එවිට නරක අසුරයා මදක් කල්පනාකොට එසේ නම් මට මවගෙන් පමණක් මරණය ලබා දෙන්න යැයි ඉල්ලීය නරක අසුරයා එසේ කීවේ කොයි මවද තම දරුවාව මරන්නේ. එහෙම වෙන්නේ නෑ. ඒ නිසා මට මේ ලෝකයේ නොමැරී සිටීමට පුළුවන් යැයි සිතුවේය. එයට මහා බ්‍රහ්මයා එකඟ වී එම වරම ලබා දුන්නේය. වරම ගත් නරක අසුරයා මනු ලොවට පිවිස තම සංහාරය පටන් ගත්තේය. 

මනුලොව සියලුම මිනිසුන්ට ඔහු වින කරන්නට පටන් ගත්තේය. මනුලොව මෙම සංහාරය නිසා සියලු දේවාලවල පූජා නැවැත්විණි. මිනිසුන්ට මහත් වධයක් විය. ඉන්පසු නරක අසුරයා තම මිතුරා වන පානාසුරයන් සමඟ ඉන්ද්‍ර ලෝකයට පිවිස එහි සිටි දෙවියන්ට වධ දෙන්නටත් සංහාරය කරන්නටත් පටන් ගත්තේය. මෙසේ කළේ තමා මෙම තුන් ලෝකයටම අධිපති බව පෙන්වීමටයි. 

ඉන්ද්‍ර ලෝකයේ අධිපති වූ ඉන්ද්‍ර දෙවියන් සොයා යාමේදී ඔහු නරක  අසුරයාගේ වධයට හසුනොවී ඔහු නාරායනන් ළඟට නොහොත් මහා විෂ්ණු දෙවියන් ළඟට ගොස් නරක අසුරයාගේ අවනඩුව කීවේය. මේ අතර ඉන්ද්‍ර දෙවියන්ටත් මව වන අදිති ගේ කුණ්ඩලාභරණත් නරක අසුරායා විසින් අත්පත් කරගෙන ඇයව සිරභාරයට ගත්හ. 

මහා විෂ්ණු දෙවියෝ අවනඩුව අසා ඉන්ද්‍ර දෙවියන්ට මෙසේ කීහ. ඉන්ද්‍ර ඔබ ක්‍රිෂ්ණ දෙවියන් ළඟට යන්න ඔබගේ ඔය පැනයට පිළිතුරක් ලැබේවි. වහාම ඉන්ද්‍ර දෙවියෝ ක්‍රිෂ්ණ දෙවියන් මුණගැසී මේ පිළිබඳ දැනුම් දුන්පසු නරක අසුරයා විනාශ කිරීමට භාරගත්තේය. ඉන්ද්‍ර ඔබ සුවසේ යන්න. මං නරක අසුරයාව සිරභාරයට කරන්නෙමි. ක්‍රිෂ්ණා මෙසේ කීවේ තම භාර්යාව වන සත්‍යභාමා උපයෝගී කරගෙන මේ නරක අසුරයන්ව විනාශ කිරීමට හැකියයි අවබෝධ කරගැනීමෙන් අනතුරුවය. 

සත්‍ය බාමා යනු තමාගේ බිරිඳ වුවත් ඇය පෙර භවයේදී භූමා දේවියයි. මෙම භූමා දේවතාවගේ පුත් නරක අසුරායත් අතර යුද්ධයක් හටගත්තේය. එම යුද්ධයට සත්‍ය බාමාද ක්‍රිෂ්ණා එකතු කරගෙන ගියේය. දෙදෙනා අතර දරුණු සටනක් ඇතිවෙන අතරතුර නරක අසුරයාගේ සිතේ සත්‍ය බාමාව දැක බියක් ඇතිවන අයුරු ක්‍රිෂණ දුටුවේය. ක්‍රිෂ්ණා නරක අසුරායාගේ පහරකින් සිහිසුන් වූවාසේ රඟපෑවේය.

එයින් කිපුණු සත්‍ය බාමා දුන්නකින් ඊතලයක් නරක අසුරයාගේ පපුවට විද්දේය. එය නරක අසුරයාගේ පපුවට වැදී ඔහු මිය ගියේය. මේ මිය යන මොහොතේ සත්‍ය බාමා තම පුතා බව දැනගත් විට දුකට පත්වී ඇත. නරක අසුරයාද එම මොහොතේ තම මව බව දැනගත්තේය. තම මවගෙන් අවසාන ඉල්ලීමක් කරන නරක අසුරයා තමා මැරණ මෙම දිනයදී ආලෝක පහන් පේලි දල්වා සමරන ලෙසට මතක් කරයි. ඒ අනුව සෑම හින්දු ගෙදරකම දීපවාලි දිනයට ආලෝක පේලි දල්වති. 

නරක අසුරයාව සිරභාරයට ගන්නා ලද්දේ සදුර්ති දශම් නම් අමාවක දිනයකය. ඒ අනුව දීපවාලි දිනයද අමාවක දිනට යෙදේ. ප්‍රධාන පුවත හැටියට මෙම කතාව සැලකුවත් ඉන්දියාව පුරාවම මෙය සැමරීමට විවිධ පුරාවෘත ලියැවී ඇත. 

රාමාගේ කතා පුවත
රාම, සීතා සහ ලක්ෂණ වනගතවී සිට පසුව රාවණා රජු පරදා අයෝධ්‍යාවට පැමිණි දිනයේ අයෝධ්‍යා වැසියන් අලෝක පේලි දල්වා එළිය කළ බව රාමානයනය සිහිගන්වයි. මෙම සංසිද්ධිය ඉන්දියාවේ උතුරුකරයේ දීපාවලිය ඇති වීමට තුඩු දුන්නා යයි කිව හැක. 

ජෛන සාහිත්‍ය
ජෛන සාහිත්‍ය හදාරණ අපට පෙනීයන්නේ ජෛනාගමේ නිර්මාතෘ වන ජෛන මහාවීර නොහොත් නිඝණ්ඨනාථ පුත්ත ගිහි ගෙයින් නික්මී ගිය දවස දීපවාලි දිනය බව එම සාහිත්‍ය පෙන්වා දෙයි. 

චන්ද්‍ර ගුප්ත වික්‍රමාදිත්‍ය
ඉන්දියාවේ රජකළ රජවරයකු වන චන්ද්‍ර ගුප්ත වික්‍රමාදිත්‍ය රජතුමා සිංහාසනාරූඪ වූයේද දීපාවලි දිනයක බව ඉන්දියානු ඉතිහාසය පෙන්වා දෙයි. 

කාලි දේවිය
ඉන්දියාවේ බෙංගාලි දේශයේ දීපාවලිය යනුවෙන් පූජාවක් වනුයේ කාලි දේවියට පුද පූජා පැවැත්වීමයි. සෑම දෙයක්ම විනාශ කිරීම ඉතා දැඩි ලෙස පෙරටගත් ඇයගේ එම ශක්තියේ දිනය ලෙසද මෙම දිනය ලෙස සිහිගන්වයි. 

ලක්ෂ්මි දේවිය
හින්දු පුරාණයේ දැක්වෙන තවත් දේවකතාවක දීපාවලිය ගැන මෙසේ සඳහන් වේ. කිරි සයුරෙන් උපන් මහා ලක්ෂ්මි නමැති දෙවඟන ශ්‍රීමත් නාරායනන් (මහා විෂ්ණු) නමැති දෙවියා විසින් සරණපාවා ගත් දිනය දීපවාලි දිනය යනුවෙන් එම කතා පුවතෙන් දැක්වේ.

භාරතී කවියා
දකුණු ඉන්දියානු මහා කවි භාරදිගර් තම කවි සාගරයේ කවියකින් මෙසේ කියයි. උල්ලත්තිල් උන්මෛ ඩලි උන්ඩාකිල් වාක්කිතිලේ ඩලි උන්ඩාශුම් මෙයින් අදහස් වන්නේ හදවතේ සත්‍ය නමැති එළිය ඇතිවුවහොත් වචනයේ එළිය විහිදුවයි, යන්නයි. හින්දුන්ගේ අදහසට අනුව දීපවාලිය මෙසේ අර්තවත් කරනු ලබන බව කිවයුතුය. මෙයට හේතු වන්නේ හින්දුන්ගේ චාරිත්‍ර ධර්ම අර්ථයේ පරිසමාප්තියෙන්ම මිනිස් හදවතේ එළිය විහිදුවන අයුරක් දිස්වන නිසාය. 

භගවත් ගීතාව 
භගවත් ගීතාව දීපාවලියට අර්ථයක් සපයමින් යහපත් අය ආරක්ෂා කරන්නටත් අයහපත් අය විනාශ කරන්නටත් ධර්මය බබළවා දිදුලීමට සැලැස්වීමත් ලොව පවතින තාක්කල් මම පහළ වෙමි යන්නය.

ශ්‍රී රාමලිංග අඩිහල්ව
ඩලුර් ශ්‍රී රාමලිංග අඩිහල් නමැති වියතානන් දීපාවලිය හඳුන්වන්නේ ආලෝකා උදපාදි ඥානං උදපාදි යනුවෙනි. එනම් ආලෝකය මංගල කරුණාව නමස්කාරය වේවා යියි එහි අර්ථයයි. 

ශිව පුරාණය
මිනිසා මමත්වයෙන් මිදී සෑම පුද්ගලයෙකුට හොඳ ජීවිතයක් ගෙවීමට ප්‍රාර්ථනා කරන්න දීපවාලි දිනයේ සිදු කළ යුතු බවයි. 

කුඩා ළමයින්ට ගුණධර්ම
කුඩා ළමයින්ට පාඩමක් උගන්වන දීපාවලිය දෙමළ බසින් එහි අර්ථය මෙසේ ඔප් නංවයි. ‘අරියාමෛ ඉරුළ් අහන්රනාල’ අඥානය නමැති අඳුර නැතිවූ දිනය ‘අසුරතන්වෛල් විලහිය නාල් අසුර ගුණයත් නොහොත් නරක ගුණ නැති වූ දිනයයි.’ දෛවීහම් පොංගි එළුන්දනාල් ‘දේවත්වය ඉතිරී නැගී සිටි දිනයයි. අන්බු මලර්ද නාල්’ මෛත්‍රීය පුබුද වූ දිනයයි. යනුවෙන් හිංදු සංස්කෘතිය ඉතා ගැඹුරින් දීපාවලියට අර්ථයක් සපයා දෙයි.

දින පහක දීපාවලි
දීපාවලියට විශේෂ වූ විධික්‍රම කීපයක් හින්දු ධර්ම චාරිත්‍රවල දක්නට ලැබේ. එය දින පහක් (5) තිස්සේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් වේ. 

මේ අනුව පළමු දිනයේදී සිදුකරනු ලබන ක්‍රියාකාරකම වනුයේ යම දීපය දැල්වීමයි. මෙම ක්‍රියාකාරකම දීපාවලි දිනයට පෙර දිනයේදී සූර්යයා අවරට යාමට ප්‍රථම නිවසට පිටත දකුණු දෙස බලා නිවසෙහි සිටින ප්‍රමාණයට එක් අයෙකුට එක් පහනක් බැගින් සෑම කෙනෙක්ම නිරෝගීව සිටිය යුතු යැයි සිතා ද එයට පරිසරයක්ද ඇති විය යුතුයැයි සිතාද පහනක් දැල්විය යුතුවේ.

දෙවන දිනය දීපාවලි දිනය මෙම දිනය සදුර්දසි යයි කියනු ලැබේ. මෙම දිනයේදී සුබ හෝරාවේදී රත්තරන් අලුත් ඇඳුම් ආභරණ මිලදී ගෙන ඒවා එදින හවසට ඇඳ ලක්ෂ්මි කුවේර පූජාව කිරීමෙන් රත්තරන් වැනි සම්පත් ඒකරාශි කරගැනීමට හැකි වන බව හින්දුන්ගේ විශ්වාසයයි. 

දීපාවලි දිනයේදී හිමිදිරි පාන්දර තුනේ සිට පාන්දර 6.00 අතරතුරේදී ස්නානය කොට නිවසෙහි පහන් දල්වා ක්‍රිෂ්ණ දේවතාවන් වැඳිය යුතුය. මෙහිදී ලක්ෂ්මි පූජාව සිදු කිරීම තුළින් වර්ෂය පුරාවටම එම නිවසෙහි ලක්ෂ්මිය හිඳ ආශිර්වාද කරන බව හින්දුන්ගේ විශ්වාසයයි. එමදින හවස සෑම නිවසකම ආලෝක පේලි දල්වනු ලැබේ. 

තුන්වැනි දිනයේදී දවල් දොළහ හවස තුන අතර තුර මළවුන් දානයක් දී මිය ගිය සැම වෙනුවෙන්ම තිලෝදක දානයක් දිය යුතුය. 

හතරවන දිනයේදී කාර්තිගෛ ස්නානය සිදුකරනු ලැබේ. මෙහිදී කාර්තිගෛ මාසයේ (ඉල්මස) මාස පෝය දවසේ සිට ඊළඟ මාස පෝය තෙක් දවස් තිහක් නදි ස්නානය පාරිශුද්ධ ජලයේ ස්නානය සමුද්‍ර ස්නානය කළ යුතුය. සියලු දෝෂවලට සුදුසු කාලය මෙම කාලයේදී සිදු කරනු ලබන ස්නානයේ පස්වන දිනයේදී යම තුවිතියේ නෑම ක්‍රියාකාරකම් සිදුකරනු ලැබේ. එදින දවල් 3 සිට සවස 6 තෙක් ඇති කාලය යම තුවියේ කාලය වේ. මෙම කාලය තුළ සහෝදර සහෝදරියන්ගේ නිවෙස්වලට ගොස් ඒ අයට තෑගි බෝග දී කෙසෙල් කොළවල කෑම සිදුකරනු ලැබේ. 

මෙසේ සිදුකළ හොත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත් දීර්ඝායුෂත් ඔවුන්ගේ ආදරයත් ලැබෙන බව යමරාජධර්මන් පවසන බව හින්දු පුරාණය පෙන්වා දෙයි. 

මෙසේ දින පහක් සමරන උත්සවයේදී මිනිස් සිතේ සතුටු වී ධර්මය ඉස්මතුව අධර්මය යටපත් වී තම ආත්මයට සහනයන් ලැබෙන්නේ යයි හින්දුන්ගේ විශ්වාසයයි. එම නිසා මෙම දිනයේදී නැටුම් ගැයුම් වැයුම් සිදුකිරීම පුරාණයේ සිටම සිදුවන සිරිතකි. 

මේ නිසා මිනිස් දිවියට ඉසුරක්, එළියක්, අඥානය දුරුවී ගුණයක් ගෙන දෙන උත්සවයක් සේ දීපාවලි උත්සවය සැලකිය හැකිය. මෙවර දීපාවලි උත්සවය කොරෝනා අවදානම මධ්‍යයේ සැමරීමට හින්දුන්ට සිදුවී ඇත. මෙම දිනයේදී නරක  අසුරයා විනාශ වූවා සේ මෙම කොරෝනා වසංගතයත් දීපාවලියේ මහිමයෙන් විනාශ වේවායැයි ප්‍රාර්ථනා කරමු. 

෴ ආචාර්ය දෙමළ පණ්ඩිත් 
පන්මොළි විත්තහර් පන්මෝලි පුලවර් 
සාහිත්‍යෙව්දී මඬුළුගිරියේ විජේරත්න - උපුටා ගැනීම - 'ලංකාදීප'

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad