මෙවර නත්තල ඉතාමත් සුවිශේෂී එකකි. ඊට හේතුව 'ජේම්ස් වෙබ්' ය. 'ජේම්ස් වෙබ්' යනු අභ්‍යවකාශ දුරේක්ෂයකි. ඇමෙරිකා අභ්‍යවකාශ ආයතනය හෙවත් 'නාසා' NASA, යුරෝපා අභ්‍යවකාශ ආයතනය හෙවත් 'එසා' ESA සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය හෙවත් 'සිසා' CSA එකමුතු වී වසර 24 ක් තිස්සේ නිපදවූ දැවැන්ත දුරේක්ෂයකි.
විවිධ බාධක මැද, ප්‍රමාදයන්ගෙන් පසු, නත්තල් දා 'ජේම්ස් වෙබ්' අභ්‍යවකාශය බලා ගියේය. එය අභ්‍යවකාශ ගවේෂණයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් බව නාසා ආයතනය පැහැදිලි කළේ මහත් ආඩම්බරයෙනි. 'ජේම්ස් වෙබ්' දුරේක්ෂය අභ්‍යවකාශයට ගියේ, තරු ගැන හෝ ග්‍රහලෝක ගැන හෝ නිකම්ම නිකම් අධ්‍යයනයකට නොවෙයි.
'ජේම්ස් වෙබ්' දුරේක්ෂයට සුවිශේෂී හැකියාවක් ඇත. අතීතයට නෙත් හෙලන්න 'ජේම්ස් වෙබ්' දුරේක්ෂයට පුළුවනි. 'ජේම්ස් වෙබ්' දුරේක්ෂය, එක්තරා ආකාරයක කාල යන්ත්‍රයක් වැනිය.
අභ්‍යවකාශයට යැවුණු විශාලතම දුරේක්ෂය ලෙස සැලකෙන්නේ ද 'ජේම්ස් වෙබ්' ය.
දුරේක්ෂය නිපදවීමට වැයවී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 9.6 කට වැඩිය. දුරේක්ෂය පෘථිවි කක්ෂයට රැගෙන යෑමත් අභ්‍යවකාශයට තල්ලු කිරීමත් සිදු කළේ අධිබලැති 'ඒරියන්' රොකට්ටුවකිනි. රොකට්ටුව, නත්තල් දා උඩු ගුවන බලා ගමන් ආරම්භ කළේ ප්‍රංශ ගයනාවේ 'කෝරෝ' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
'කෝරෝ' අභ්‍යවකාශ මධ්‍යස්ථානය අයිති යුරෝපා අභ්‍යවකාශ ආයතනයටය. ප්‍රංශ ගයනාව යනු දකුණු ඇමරිකාවේ ඉහළ කෙළවරේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටි, ප්‍රංශයට අයත් භූමි ප්‍රදේශයකි. ප්‍රංශය යුරෝපා අභ්‍යවකාශ ආයතනයට සම්බන්ධ ප්‍රධාන සාමාජික රටකි.
'ජේම්ස් වෙබ්' යනු ඉදිරියේ දී 'හබල්' දුරේක්ෂයේ තැන ගන්නා අභ්‍යවකාශ දුරේක්ෂයයි.
'ජේම්ස් වෙබ්' රැඳවෙන්නේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක් දුරිනි. දුරේක්ෂය ඊට නියමිත රාජකාරි අරඹනු ඇත්තේ තව මාස 6 කිනි. 'ජේම්ස් වෙබ්' දුරේක්ෂයේ විෂ්කම්භය මීටර් 6.5 කි. ෂඩාස්රාකාර රන්වන් දර්පන පද්ධතියකින් 'ජේම්ස් වෙබ්' දුරේක්ෂය සමන්විතය. ආරම්භයේ දී 'ජේම්ස් වෙබ්' දුරේක්ෂය නිපදවීමට වෙන් කෙරුණේ ඇමෙරිකන් ඩොලර් බිලියන 8 කි.
දුරේක්ෂය 2011 දී සම්පූර්ණ කර උඩු ගුවනට යැවීමට නියමිත වුවත්, තාක්ෂණික ගැටලු හේතුවෙන් එය තවත් වසර 10 ක් ප්‍රමාද විය. එම ප්‍රමාදය හේතුවෙන් දුරේක්ෂය සාදා අවසන් කර අභ්‍යවකාශයට යවද්දී ඒ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 9.6 ක් විය.
'හබල්' ද නාසා ආයතනය අභ්‍යවකාශයේ රැඳවූ දුරේක්ෂයකි. මෙය අභ්‍යවකාශයට යැවීම සිදුවූයේ 1990 වසරේදීය. හබල් දුරේක්ෂය රඳවා ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර 600 ක දුරිනි. නාසා ආයතතනය අවස්ථා කීපයකදී ගගනගාමීන් යවා හබල් දුරේක්ෂය පිළිසකර කළේය.
අභ්‍යවකාශයට නෙත් යොමු සිටින හබල් දුරේක්ෂය මිනිසා විසින් අභ්‍යවකාශයට යවා අභ්‍යවකාශයේ රැඳවූ පළමු අභ්‍යවකාශ දුරේක්ෂයයි. 'ජේම්ස් වෙබ්' දුරේක්ෂය, 'හබල්' දුරේක්ෂයේ අනුප්‍රාප්තිකයා වනු ඇත. 'හබල්' දුරේක්ෂය නිපදවූයේ වසර 24 ක් සඳහාය. ඒත් මේ දක්වා ඒය හොඳින් ක්‍රියාත්මක වෙයි. ඒසේ වූයේ දුරේක්ෂය අලුත්වැඩියා කළ බැවිනි.
නාසා ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළත්, 'හබල්' දුරේක්ෂය සඳහා යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ දායකත්වය ලැබී තිබේ. 1990 අප්‍රේල් මස 24 වන දින ඇමෙරිකාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඩිස්කවරි ෂටලය මගින් හබල් දුරේක්ෂය අභ්‍යවකාශයට ගෙන ගොස් අභ්‍යවකාශයේ රැඳවීම සිදුවිය.
බරින් කිලෝග්‍රෑම් 11,110 වන 'හබල්' දුරේක්ෂය, දිගින් මිටර් 13.2 කි. හබල් දුරේක්ෂයේ ප්‍රධාන දුරේක්ෂය පරාවර්තන දුරේක්ෂයකි. කෙටි අධෝරක්ත, පාරජම්බුල සහ දෘෂ්‍ය ආලෝක තරංග හසු කර ගැනීමට හැකියාව ඇත. හබල් දුරේක්ෂයට වර්ග කීපයක කැමරා ද සවි කර ඇත.
'ජේම්ස් වෙබ්' දුරේක්ෂය, කාලය සහ අවකාශය අතරේ විහිදෙන ආලෝකය හසු කර ගනී. ඒ අනුව, එම ආලෝකයේ මුල, මැද සහ අවසානය පැහැදිලිව හඳුනා ගැනීම සිදුවෙයි. උදාහරණයක් ලෙස හිරුගෙන් (හිරු ද තරුවකි.) නිකුත් වන ආලෝකය පෘථිවියේ අපට දකින්න ලැබෙන්නේ මිනිත්තු 8 කට පසුවය. ඒ, එම ආලෝකය පෘථිවියට ළඟා වීමට මිනිත්තු 8 ක් ගතවන බැවිනි. අප හිරුගේ ආලෝකය ලෙස දකින්නේ මිනිත්තු 8 ක් පැරැණි ආලෝකයයි.
'ජේම්ස් වෙබ්' දුරේක්ෂයට තරු, මන්දාකිණි, ග්‍රහලෝක ඇතුළු ග්‍රහ වස්තූන්ගෙන් නිකුත් වන මුල් ආලෝකය අධ්‍යයනය කිරීමේ හැකියාව පවතී. ඒ කාලය සහ අවකාශය අතරේ විහිදෙන ආලෝකය හසු කර ගැනීමෙනි. ඒ අනුව, විශ්වය මූලාරම්භයේ රහස් සොයා ගැනීම විද්‍යාඥයන්ගේ අරමුණය.
'ජේම්ස් වෙබ්' දුරේක්ෂය වැදගත් වන්නේ මේ නිසාය.
දුරේක්ෂය, 'ජේම්ස් වෙබ්' ලෙස නම් කර ඇත්තේ, 'ඇපලෝ' සඳ ගමන සිදුවෙද්දී, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජේම්ස් වෙබ් සිහි ගන්වමිනි. මොහු ඇමෙරිකාවේ නාසා ආයතනයේ දෙවැනි ප්‍රධානියාය.
ජේම්ස් වෙබ් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ 1961 වසරේ සිට 1968 දක්වා කාලයේය. දුරේක්ෂය ජේම්ස් වෙබ් යනුවෙන් නම් කිරීම සම්බන්ධයෙන් විරෝධයක් ද එල්ල විය. ඒ, ජේම්ස් වෙබ් ඉතාමත් දළදඩු පරිපාලකයකු ලෙස සැලකෙන බැවිනි. ඔහු නාසා නිලධාරීන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට ලක් වූ චරිතයක් බව පැවැසෙයි.
'ජේම්ස් වෙබ්' දුරේක්ෂය ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය නොවැම්බර් 22 වැනිදා ඇමෙරිකාවේ මේරිලන්ඩ් ජනපදයේ ග්‍රීන්බෙල්ට් නුවර, නාසා ගොඩාඩ් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. එහිදී විදෙස් මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට ඊ මේල් හරහා ද අවස්ථාවක් හිමිවිය. ජේම්ස් වෙබ් දුරේක්ෂය සම්බන්ධයෙන් නාසා ආයතනයෙන් විමසූ ප්‍රශ්න කීපයකට ලැබුණු පිළිතුරු, සිංහල පරිවර්තනයක් ලෙස මෙසේ දැක්වෙයි.
'ජේම්ස් වෙබ්' කියන්නේ මොකක්ද?
සරලව පැහැදිලි කළොත්, 'ජේම්ස් වෙබ්' කියන්නේ දර්පනයක්. යෝධ දර්පනයක්. අධෝරක්ත කිරණ භාවිතයට ගන්නා කුඩා ෂඩාස්රාකාර දර්පන එක් වී සකස් කළ යෝධ දර්පනයක්. 'අලුත් ඇසකින්' අපට විශ්වය දිහා බලන්න මේ දර්පනය උදව් වේවි. මේක විශාලයි. සංකීර්ණයි. මෙහෙම නිර්මාණයක් අප මීට කලින් හදලා නැහැ. බොහොම සංකීර්ණ තාක්ෂණයක් තමයි අප මේ සඳහා යොදා ගෙන තිබෙන්නේ.
දුරේක්ෂයේ අරමුණ මොකක්ද?
අරමුණ තමයි, විශ්වය ගැඹුරේ සැඟවුණු රහස් අනාවරණය කර ගැනීම. 'බිග් බෑන්ග්' හෙවත් මහා පිපිරුම ගැන අහලා තියෙනවා නේ. විශ්වය ආරම්භ වුණේ 'මහා පිපිරුමෙන්' පසුවයි. ඉතිං, අවුරුදු මිලියන 250 කට කලින් මහා පිපිරුමෙන් පසු තරු පණ ලබද්දී සහ මන්දාකිණි උපත ලබද්දී මුලින්ම විහිදුණු ඒ සියුම් ආලෝකය හසු කර ගැනීමයි දුරේක්ෂයේ අරමුණ.
දුරේක්ෂයේ අන්තර්ගතය ගැන කීවොත්?
ඔව්, කලින් අප පැහැදිලි කළා, රන් ආලේපිත දර්පනය තමයි ප්‍රධාන කොටස. මේ දර්පනය ප්‍රමාණයෙන් විශාලයි. සම්පූර්ණ දර්පනය අභ්‍යවකාශයට යවන්න විදියක් නැහැ. ඒකයි ෂඩාස්රාකාර කුඩා දර්පන 18 ක් එක් කරමින් මෙය නිර්මාණය කර තිබෙන්නේ. ඒක හරියට ජිග්සෝ ප්‍රහේලිකාවක් එකිනෙක සම්බන්ධ කළා වගේ. මේ යෝධ දර්පනයට අමතරව තිබෙනවා තවත් දර්පනයක්. එය තමයි දෙවැනි දර්පනය. ද්විතීක දර්පනය. ප්‍රධාන දර්පනයට ලැබෙන දත්ත දුරේක්ෂයේ ප්‍රධාන පද්ධතියට හරවා එවීම සිදු කරන්නේ මේ ද්විතීක දර්පනයයි. ඒ වගේමයි සූර්යයාගේ දැඩි තාපයෙන් ආරක්ෂා වීමට තාප පලිහක් ද සවි කර තිබෙනවා. දුරේක්ෂය ඇතුළේ තියෙනවා ප්‍රධාන උපාංග තුනක්. කිලෝ මීටර් මිලියන දහස් ගණනක් ඈත සිට ආලෝකය හසුකර ගැනීම සිදුවන්නේ ඒවායින්. මෙම උපාංගවලින් එකක් වන්නේ නවීනතම තාක්ෂණයෙන් නිපදවූ කැමරාවකි.
ජේම්ස් වෙබ්ට පිටසක්වළයෝ හමුවේවිද?
දුරේක්ෂයට හැකියාව තිබෙනවා ඈත ග්‍රහලෝක වැසී ඇති දූවිලි ස්ථර විනිවිද යමින් ඒවා හොඳින් නිරීක්ෂණය කරන්න. එහෙම හැකියාව තිබුණත්, පිටසක්වළ ජීවීන් ගැන හෝඩුවාවක් සොයා ගන්න නම් හැකිවෙන එකක් නැහැ. ඒත් ජීවයේ පැවැත්මට හේතු සාධක අඩංගු වායුගෝල ඇති ග්‍රහලෝක හඳුනා ගැනීමට ජේම්ස් වෙබ් දුරේක්ෂය උදව් වේවි. ඒක සහතිකයි.
෴ උපුටා ගැනීම - NASA