පාකිස්තානය වෙනුවෙන් මලික්ගේ කනගාටුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 11, 2021

පාකිස්තානය වෙනුවෙන් මලික්ගේ කනගාටුව

‘මා බලාපොරොත්තුවෙන් ඉන්නවා, සමස්ත පාකිස්තාන ජනතාව වෙනුවෙන්, ප්‍රියන්ත මහතාගේ බිරිද සහ පුතුන් දෙදෙනා හමුවී කනගාටුව පළ කරන්න.’ යැයි මලික් අද්නාන් කියයි. පාකිස්තාන රජය එරට වැසියකුට පිරිනමන දෙවන ඉහළම සිවිල් සම්මානය, මලික් අද්නාන් ට පිරිනැමුවේ, ඔහු දිවි පරදුවට තබා, ඔහුගේ කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත කුමාර දියවඩන බේරා ගැනීමට ගත් උත්සාහය අගය කිරීමක් ලෙසය. 

මලික් අද්නාන් එම සාම්මානය ලබා ගත්තේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අතිනි. සියල්කොට් සිට මලික් අද්නාන්, Daily FT පුවත්පත සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, එදා එම අවස්ථාවේ තමන් ට පාකිස්තානුවකු ලෙසත් සැබෑ මුස්ලිම්වරයකු ලෙසත්, සැබෑ මනුෂ්‍යයකු ලෙසත් ක්ෂණික තීරණ කීපයක් ගැනීමට සිදුවුණු බවය. 

එදා එම අදුරු දිනයේ පකිස්ථානයේ මනුෂ්‍යත්වයේ ප්‍රතිරූපය බේරා ගැනීම ගැන තමන්ට හැකිවුණත්, ප්‍රියන්ත මහතාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණන් බව මලික් අද්නාන් සොව පළ කරයි. සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් හි කර්මාන්තශාලා සේවකයන්, ප්‍රියන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන් 40 හැවිරිදි මලික් තවමත් සිටින්නේ කම්පනයෙනි. 

මෙහි දැක්වෙන්නේ, මලික් අද්නාන්, Daily FT පුවත්පත වෙනුවෙන්, ශානිකා ශ්‍රියානන්ද සමග පැවැත් වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි. 

ඔබ ගැනත්, ඔබ රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමට කොපමණ කාලයක් සේවය කරනවාද යන්න පිළිබද විස්තර කියන්න. 
පසුගිය අවුරුදු 16 පුරාවට මම රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ රැකියාව කරනවා. මගේ පදිංචිය සියල්කොට් ඔලාක් අවාන් කෘෂිකාර්මික ගම්මානයේ. මගේ පවුලේ හතර දෙනයි. සහෝදරයෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා. 2020 දී අපේ තාත්තා මියගියා. ඔහු කෘෂිකර්මාන්තයේ සම්බන්ධ කෙනෙක්. මම රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් හි නියෝජ්‍ය කළමනාකරුවෙකු ලෙස සේවය කරනවා. මම පන්ජාබ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධාරියෙක්. 

ප්‍රියන්ත කුමාර සහ කර්මාන්ත ශාලාවේ සේවකයන් අතර සම්බන්ධය කොහොමද? 
ඔහු මිනිසුන්ට හරිම කරුණාවන්තයි. ඒත් රාජකාරි කරද්දී, දැඩිව කටයුතු කළ කෙනෙක්. හුගක් මහන්සිවෙලා කැපවීමෙන් රැකියාව කළ කෙනෙක්. කර්මාන්තශාලාවේ සේවකයන් ද තමා මෙන්ම කැපවීමෙන් වගකීමෙන් වැඩ කරාවි කියලයි ඔහු සැමවිටම සිතුවේ. 

කර්මාන්තශාලා සේවකයන් ඔහු කෙරෙහි දැක්වූ ආකල්පය?
ඔවුන් ඔහුට කීකරුව කටයුතු කළා. යම් ආකාරයක මතභේද තිබුණා. ඒත් ඒ කිසිවක් කළමණාකරුවන් ඉදිරියේ විවෘතව ප්‍රකාශ වුණේ නැහැ. අපේ කර්මාන්ත ශාලාවේ කළමනාකරුවන් 100 ක් සහ කම්කරුවන් 2,200 ක් ඉන්නවා. අපි ඇඟලුම්වල සිට ක්‍රීඩා භාණ්ඩ දක්වා නිෂ්පාදනය කරනවා. 

ඒ අවාසනාවන්ත දවසේ සිදුවුණු දේ මතක් කළොත්? 
එදා උදේ 10 විතර, කම්හල් සේවකයන් පෝස්ටර් කිහිපයක් අලවා තිබුණා. ඔහු කම්හල් ශාලාවේ සිට ඔහුගේ කාර්යාලයට යමින් සිටිද්දී ඒ අතරතුරේ තමයි සියල්ල සිදුවුණේ. පෝස්ටර් ඉවත් කිරීමට සහ ඒ ගැන විවේචනය කිරීමට ඔහු පියවර ගෙන තිබුණා. ඒ සමගම කම්කරුවන් අතරේ නොසන්සුන්තාවක් ඇතිවුණා. ඔහු ඔවුන්ගේ ආගමික අදහස්වලට විරෝධය දැක්වූ බවට චෝදනා එල්ල වුණා. ඔවුන් ඔහුට බණිමින් ඔහුගේ කාර්යාල කාමරයටත් ගියා. කෑ ගසමින් විරෝධය පළ කළා. කලබල කරන්න ගත්තා. ඊට පස්සේ ඔහු, ඔවුන්ගෙන් බේරෙන්න කර්මාන්ත ශාලාවේ වහලයට දිව්වා. සේවකයෝ ඔහුට කෑ කෝ ගසමින් බණිමින් පස්සෙන් යන්න පටන් ගත්තා. 

එම පෝස්ටර්වල ලියා තිබුණේ මොනවාද සහ ඔහුට උර්දු කියවීමට හා ලිවීමට හැකියාව තිබුණාද?
පෝස්ටර්වල තිබුණු දේ පැහැදිලි කරන්න දැන් මට හැකියාවක් නැහැ. ඒ වගේමයි ඔහුට උර්දු කියවීමට හෝ ලිවීමට හැකියාවක් තිබුණේ නැහැ. 

උර්දු බසින් පෝස්ටර්වල ලියා ඇති දේ තේරුම් ගැනීමට ඔහුට හැකියාව නැතිනම්, ඔහු ඒ සම්බන්ධයෙන් විවේචන කළේ කොහොමද? 
ඔහුට ඒවායේ ලියා ඇති දේ තේරුම් ගැනීමට නොහැකි වුණා. අප ඒ දේවල් දැන සිටියා. එසේ වුවත් ඔහුට එරෙහි විරෝධයක් ගොඩ නැගුණා. 

ඔහු වහලයට දුවන විට,ඔබ ඔහු සමග සිටියාද?
ඔව්, කලබලෙන් ඔහු බේරගන්න ඕන නිසා මමත් ඔහු සමග හිටියා. කලබලය උත්සන්න වෙද්දී, කර්මාන්ත ශාලාවේ දෙවැනි ගේට්ටුවෙන් පිරිස් ඇතුළට එන්න පටන් ගත්තා. අපේ කම්හලේ සේවකයන් පමණක් නොවෙයි, වෙනත් කම්හල් සේවකයන් සහ ගම්වැසියන් දෙවැනි ගේට්ටුවෙන් ඇතුළට කඩා වැදුණා. කෝපයට පත්වුණු බොහෝ දෙනකු ප්‍රියන්තට පහර දෙද්දී, මා ඔවුන් මැදට පැනලා ප්‍රියන්ත වෙනුවෙන් කතා කළා. ඔහු බේරා ගන්න පින්සෙණ්ඩු වුණා. ඒත් කෝපයට පත් පිරිස සිටියේ කාගේවත් කීමට කන් දෙන තත්ත්වයක නොවෙයි. ඔවුන් සිටියේ කෝපයෙන් වියරු වැටිලා. අවාසනාවකට මට ඔහු බේරා ගන්න බැරිවුණා. පහරදීම්වලින් මමත් තුවාල වුණා. මුලදී සේවකයෝ 50 ක් 100 ක් හිටියා. මම මගේම තවත් සේවකයෙක් බැගෑපත් වුණා ඔහුට අනතුරක් කරන්න එපා කියලා. ඒත් වැඩක් වුණේ නැහැ. 

කලහකාරී පිරිස දකිද්දී ඇතිවුණු හැගීම මොකක්ද?
කොහොම හරි ඔහු බේරාගන්නයි ඕනෑ වුණේ. ඔහු හොද නායකයෙක්. හොද හාදයෙක්. යාළුවෙක්. ඔහු බේරා ගන්න ලැබුණා නම් තමයි හොද. ඒත් බැරිවුණා. අපි දෙන්නා වසර ගණනක් එකට රැකියාව කරනවා. ඔහු මගේ ප්‍රධානියා. 

පාකිස්තාන ජනතාවට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
ඉස්ලාම් දහමේ සැබෑ අර්ථය වටහා ගන්න. වටිනාකම අවබෝධ කර ගන්න. කිසියම් අයකු කුමන හෝ ආකාරයේ වරදක් කර තිබෙනවා නම් පාකිස්තාන නීතියට අනුව කටයුතු කරන්න. නීතිය අතට ගැනීමෙන් වළකින්න. 

ප්‍රියන්තගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් තවමත් කම්පනයෙන් සිටින ශ්‍රී ලාංකික ජනතාවට ඔබෙන් පණිවිඩයක් තිබෙනවාද? 
මේ සිද්ධිය නිසා පකිස්‌තාන ජාතිකයන් සමඟ තිබෙන මිත්‍රත්වය පළුදු කර ගන්න එපා යැයි මා ඉල්ලා සිටිනවා. මේ සිදුවීම ගැන අප හැමෝම කම්පාවටත් කනගාටුවටත් පත් වී සිටිනවා. මෙවැනි විපත් යළි සිදු නොවන්න අප වග බලා ගන්න ඕනෑ. 

පාකිස්තානුවකු ලෙස දිවි පරදුවට තබා මනුෂ්‍යත්වය වෙනුවෙන් සියලු පාකිස්තානුවන්ගේ ප්‍රතිරූපය රැක ගැනීමට කටයුතු කරමින් මුළු ලෝකයටම පණිවිඩයක් දීමට හැකිවුණු නිසා මට ගෞරව සම්මානයක් හිමිවුණා. ඒ ගෞරව සම්මානය, මා ප්‍රියන්තයේ දරු දෙදෙනාටත් ශ්‍රී ලාංකිකයන්ටත් පුදන්න කැමතියි. නුදුරේදී අප අපගේ ශෝකය ප්‍රකාශ කිරීමට ප්‍රියන්තගේ පවුලේ අය බැලීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාත් සමග මමත් ඒ ගමනට එක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

෴ උපුටා ගැනීම - Daily FT

Classified_Ad

Classified_Ad_News_Bottom