තවත් ටජ්මහලක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 1, 2021

තවත් ටජ්මහලක්

ටජ්මහල සැලකෙන්නේ ආදරයේ උතුම් සංකේතය ලෙසය. බිරිඳගේ සෙනෙහසට ටජ් මහලක් හැදූ සැමියකුගේ කතාවක් මේ වනවිට ඉන්දියාවෙන් අසන්න ලැබේ. බිරිඳගේ ආදරය වෙනුවෙන් මෙම ටජ්මහල ඉදිකිරීමට කටයුතු කර ඇත්තේ 52 හැවිරිදි ව්‍යාපාරිකයකු වන ආනන්ද් ප්‍රකාෂ් චෞස්කී ය. මෙම ටජ්මහල ඇත්තේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්‍ ප්‍රාන්තයේ බුල්හන්පූර් නගරයේය. ලෝ ප්‍රකට ආදරයේ සංකේතය වන ටජ්මහල ඇත්තේ ඉන්දියාවේ අග්‍රා නගරයේය.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් මේ වනවිට සංචාරක කටයුතු අඩපණ නොවුණා නම්, අදත් දිනකට 70,000 කට වැඩි දෙස් විදෙස් සංචාරකයන් ටජ්මහල නැරඹීමට පැමිණෙන ඇත. ටජ්මහල නවීන ලෝක පුදුමයක් සහ ලෝක උරුමයක් ලෙස සැලකෙයි. ටජ්මහල් යනු සොහොන් ගැබැක් ලෙස ඉදි කළ කිරිගරුඬ මන්දිරයකි. ෂාජහාන් මෝගල් අධිරාජ්‍යයා සිය බිරිඳ මුම්තාස් මහල් සිහිවීමට, ඇගේ ආදරය වෙනුවෙන් ටජ් මහල ඉදි කළේ යැයි පැවැසෙයි. 

ඉන්දීය ඉස්ලාමීය ගෘහ නිර්මාණ කලාවේ ආභරණය ලෙස ද සැලකෙන ටජ්මහල ශ්‍රේෂ්ඨ කලා කෘතියකි. පර්සියන් (ඉරාන), තුර්කි හා ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ සංකලනයක් වු මෙය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ කැඩපතක් ලෙස ද සැලකෙයි. ටජ් මහල ලෝක උරුමයක් ලෙස නම් කෙරුණේ 1983 වසරේදීය.

කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය වුවත් ටජ්මහල් යනු ගොඩනැඟිලි සංකීර්ණයයි. මෙහි ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් දහස් ගනණකගේ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් වී ඇත. සාජහාන්, සිය ආදරණීය බිරිඳ වෙනුවෙන් ටජ්මහල ඉදි කළේ ඇගේ මරණින් පසුවය. 

ව්‍යාපාරික ආනන්ද් ප්‍රකාෂ් චෞස්කී සිය ටජ්මහල ඉදිකර ඇත්තේ බිරිදගේ ආදරය සහ පැසැසුම් මධ්‍යයේය. චෞස්කී ඉදි කළ ටජ් මහල සොහොන් ගැබක් නොවෙයි. එය චෞස්කී සහ ඔහුගේ බිරිඳ මංජුෂාගේ නිවසයි.
පෙනුමින්, සෑම අතින්ම ටජ් මහලට සමාව වුවත් ප්‍රමාණයෙන් මෙම 'ටජ් මහල් නිවස' කුඩාය. ඉදිකිරීම් සඳහා වැයවුණු මුදල ඉන්දීය රුපියල් මිලියන 20 කි. චෞස්කීගේ ටජ්මහල් නිවස ඉදිකර ඇත්තේ ඔහුට අයත් අක්කර 50 ක ඉඩමේ ය. කුඩා වෛද්‍ය මධ්‍යස්ථානයක් ද ඊට අයත් වෙයි. 

සැබෑ ටජ්මහල මෙන්ම මෙම 'ටජ් මහල් නිවස' ද මේ වනවිට ජනප්‍රිය වී ඇත. බුල්හන්පූර් නගර වැසියන් සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන් එය නැරැඹීමට පැමිණෙන බව වාර්තා වේ. ටජ්මහල් නිවස දේශීය සංචාරක ආකර්ශණයක් බවට පත්වී අවසන්ය. තරුණ තරුණියන් මංගල උත්සව 'ප්‍රී ෂූට්' සඳහා තෝරා ගන්නේ ද චෞස්කීගේ 'ටජ් මහල් නිවස' නිවසය. 

'නගරයේ හැමෝම වගේ මා හොඳින් හඳුනනවා. ඒනිසා නිවස බලන්න එන කවුරුවත් ආපසු හරවා යවන්නේ නැහැ. හැබැයි නිවස ඇතුළට නම් හැමෝම ගෙන්වා ගන්නේ නැහැ. ඒකට හේතුව ටජ් මහලක් වුණත් මෙයයි අපේ නිවස' යැයි චෞස්කී පැහැකිලි කර ඇත. චෞස්කීගේ 'ටජ් මහල් නිවස' පිටතින් මෙන්ම ඇතුළින් ද සැබැවින්ම සුන්දර යැයි පැවැසෙයි. 

ඇතුළත බිත්තිවලටත් බිමටත් සුදු පැහැති මාබල් (කිරිගරුඩ) අල්ලා ඇත. යෝධ ජනේල, තිර යොදා අලංකාර කර ඇත. නිවසට ප්‍රධාන නිදන කාමර දෙකකි. එයින් එකක් බිම් මහලේත් අනෙක ඉහළ මහලේත් ඇත. ඊට අමතරව පුස්තකාලයක් සහ භාවනා කාමරයකින් ද ටජ්අමහල් නිවස සමන්විතය. ආනන්ද් ප්‍රකාෂ් චෞස්කී මුස්ලිම් ජාතිකයකු නොවෙයි. ඔහු පවසන්නේ, ඔහුගේ ටජ්මහල් නිවසේ ඇතුළත නිර්මාණ සහ ජනෙල් රෙදි සහ සෝෆා ද ඇතුළු ගෘහභාණ්ඩ ඔහුට රිසි පරිදි වෙනස් කළ කර ඇති බවය. 

චෞස්කී ට මෙම ටජ්මහල් නිවස ඉදි කිරීමට වසර 3 ක් ගත වී ඇත. ඉදි කිරීම් සඳහා ඔහු ඉන්ජිනේරුවන් ද සමඟ නිරන්තරයෙන් අග්‍රා නුවරට ගොස් සැබෑ ටාජ් මහල නරඹා ඇත. අන්තර් ජාලය හරහා ටජ්මහල අභ්‍යන්තරයේ ත්‍රිමාණ දසුන් නරඹමින්, ඇතුළත වෙනස් කිරීම් කර තිබේ. 

''මගේ මුල් අදහස වූයේ ටජ්මහලට සමාන අයුරින් නිවස ඉදි කිරීමයි. ඒත් ඉන්ජිනේරුවන් කීවා ඔවුන්ට සැබෑ ටජ්මහල ප්‍රතිනිර්මාණය කළ හැකි බව. ඒ අනුව, සැබෑ ප්‍රමාණයට වඩා අඩුවෙන් නිවස නිර්මාණය සිදුවුණා.'' යැයි චෞස්කී පවසන්නේ මහත් ආඩම්බරයෙනි. ජීවතුන් අතර සිටින ආදරණීය බිරිඳ වෙනුවෙන් ටජ්මහල් තැනූ පළමු ඉන්දියානුවා චෞස්කී නොවෙයි. 

2013 වසරේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ විශ්‍රාමලත් රජයේ සේවකයකු ද මෙවැනි නිර්මාණයක් කළේය. ඊට ද මේ අයුරින් ම ප්‍රසිද්ධියක් ලැබුණි. ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම් අළු යට ගිනි මෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය මුස්ලිම් වැසියන්ට නිරන්තරයෙන් කෙණෙහිලිකම් කරනවා යැයි චෝදනා නැගෙයි. 

අන්තවාදී හින්දු ජාතිකයන් අග්‍රා නුවර ටජ්මහල කෙරෙහි දක්වන්නේ යහපත් ආකල්ප නොවෙයි. ඔවුන්ට එය සුන්දර ගෘහ නිර්මාණ විස්කමක් නොවෙයි. ආදරයේ සංකේතය නොවෙයි. මුස්ලිම් අධිරාජ්‍යයකු ඉදි කළ සොහොන් ගැබක් පමණි. භාරතීය ජනතා පක්ෂයට අනුව, ටජ්මහල ඉන්දීය සංස්කෘතිය නොවෙයි. එය ද්‍රෝහීන්ගේ නිර්මාණයකි. 

''මා මේ ටජ්මහල ඉදි කළේ මගේ බිරිඳට ඇති ආදරය නිසා පමණක් නොවෙයි. මා හින්දු ජාතිකයෙක්. මට ඕනෑ ආගම සහ කුලය අතින් අප ඉන්දියානුවන් අතරේ ඇති බෙදීම සහ වෛරය අවම කරන්න. ඒක පහසු දෙයක් නොවන බව මා හොඳින් දන්නවා. මගේ ටජ්මහල මගේ බිරිඳගේ ආදරයයි. ඒත් එය ආගමික, සමාජීය සහ දේශපාලනික බෙදීම අභිබවා යෑමක්'' යැයි චෞස්කී බීබීසී පුවත් සේවයට පවසා තිබේ. 

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom