බ්‍රිතාන්‍ය අගමැති 'සොරි' කියයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 15, 2022

බ්‍රිතාන්‍ය අගමැති 'සොරි' කියයි

'කොවිඩ්19' වසංගතය ලෝක නායකයන් බොහෝ දෙනකුට 'වසංගතයක්' වූයේ එය ඔවුන්ගේ දේශපාලන ගමන් මඟ වෙනස් කළ බැවිනි. වයිරසය අවතක්සේරු කළ, වයිරසය හේතුවෙන් පැනැවූ නීතිරීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නායකයෝ ජනතා අප්‍රසාදයට පත් වූහ. ඇතැමුන්ට 'ගෙදර යෑමට' පවා සිදුවිය. ඒ අතරින් කැපී පෙනෙන රාජ්‍ය නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප්ය. 

ට්‍රම්ප්ට ජනාධිපති ධුරයේ රැදී සිටීමට හැකි වූයේ එක් ධුර කාලයක් පමණි. දැන් ට්‍රම්ප්ගේ මිතුරකුට ද 'ගෙදර යන' තත්ත්වයක් උදා වී තිබේ. මේ මිතුරා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා ලෙස ද කටයුතු කරන බොරිස් ජොන්සන්ය. 

ජොන්සන් මේ වනවිට ලොකු දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටී. එම දේශපාලන අර්බුදය දවසින් දවස ඔඩුදුවයි. අර්බුදයට හේතුව 'සාද පැවැත්වීම' ය. 'කොවිඩ් 19' වසංගතය හමුවේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව, ජොන්සන්ගේ රජය පැනැවූ තහංචි, ජොන්සන් ම කඩ කළේය. ඒ රහසේ සාද පවත්වමිනි. ඒ ගැන අනාවරණය වෙද්දී අග්‍රාමාත්‍ය ජොන්සන් එය තරයේ ප්‍රතික්ෂේප කළේය. ඒ ගැන බොරු කීවේය. එය හත්පොළේ ගා ගැනීමක් විය. 

ලොක්ඩවුන් තහංචි කඩ කරමින් රහසේ සාද පැවැත්වීම ජොන්සන් කළ වරදකි. බ්‍රිතාන්‍ය වැසියන් මිලියන ගණනක් නිවෙස්වලට කොටු වී සිටිද්දී, ජොන්සන් ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ අංක 10 ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේ මධුවිත තොල ගාමින් සාද පැවැත්වීම කිසිසේත් අනුමත කළ නොහැකිය. ඊටත් වඩා අනුමත කළ නොහැකි තවත් දෙයක් වන්නේ, ජොන්සන් ඒ ගැන බොරු කීමය. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට බොරු කීවේය. ජනතාවට බොරු කීවේය. සිය 'කොන්සවර්ටිව්' පක්ෂ සගයන්ට බොරු කීවේය. 

බොරිස් ජොන්සන්ගේ දෙබිඩි චරිතය අද කරළියට පැමිණ අවසන්ය. සත්‍යය අනාවරණය වී ඇත. ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේ සාද පැවැත්වීම සම්බන්ධයෙන් දිගට හරහට චෝදනා එල්ල වෙද්දී විපක්ෂය ප්‍රශ්න කරද්දී, 2021 දෙසැම්බර් මාසයේ දී අග්‍රාමාත්‍ය ජොන්සන් මෙසේ පැවැසුවේය. 'මා දිගින් දිගටම කියනවා මට එරෙහිව එල්ල වන මේ චෝදනා බොරු. කිසිම සාදයක් පැවැත්වුණේ නැහැ. කොවිඩ් නීති උල්ලංඝනයක් සිදු වුණේ නැහැ.' මේ, අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ වචනය. ඒත් විපක්ෂය උත්සාහය අත්හැරියේ නැත. ඒ අනුව, සත්‍ය සඟවන්න ඔහුට නොහැකි විය. 

පසුගිය සතියේ අග්‍රාමාත්‍ය ජොන්සන් කළ වරද පිළිගත්තේය. අගමැති නිල නිවසේ ගෙවත්තේ එළිමහනේ සාදයක් පැවැත්වූ බව මේ බොරිස් ජොන්සන් පිළිගත්තා පමණක් නොව, තමන් ඊට සහභාගී වූ බව ද පැවැසුවේය. '2020 මැයි 20 වැනිදා ගෙවත්තේ එළිමහනේ සාදයකන් පැවැත්වුණා. මා ඊට සහභාගී වී විනාඩි 25 ක් පමණ එහි සිටියා. ඊට පස්සේ මා නිල නිවසේ මගේ රාජකාරිවලට ගියා. සාදය පැවැත්වූයේ මාගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ සේවය ඇගයීමක් කරමින්. මා තරයේ විශ්වාස කරනවා ඒක රාජකාරියට අදාල දෙයක් හැටියට. ඒත් මා ඒ සම්බන්ධයෙන් හදවතින්ම කනගාටුව ප්‍රකාශ කරනවා' යැයි අග්‍රාමාත්‍ය ජොන්සන් පාර්ලිමේන්තුව සමාව ඉල්ලා සිටියේ එසේය. 

ඊට දිනකට පසු ජොන්සන්ගේ තවත් සාදයක් ගැන තොරතුරු අනාවරණය විය. දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා පිලිප් කුමරුන්ගේ අවමංගල්‍යය පැවැත්වෙද්දී, එනම් 2021 අප්‍රේල් 17 වැනිදා ද කොවිඩ් 19 සඳහා පනවා තිබූ සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් අග්‍රාමාත්‍ය ජොන්සන් අගමැති නිල නිවසේ මධුවිත සාදයක් පවත්වා ඇත. මෙය ආනවරණය වූ පසු ජොන්සන්, එලිසබත් මහ රැජිනගෙන් පවා සමාව ඉල්ලා සිටියේය. 

සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් සාද පවත්වා, පළමුවෙන් එය වසං කර, අවසානයේ දී ඒ ගැන ජනතාවගෙන්, පාර්ලිමේන්තුවෙන් සහ තම පක්ෂයෙන් සමාව ඉල්ලීම නිවැරදිද? 'සොරි' කීම ප්‍රමාණවත්ද? එසේ 'සොරි' කීම සාධාරණද? ප්‍රතිවාදී කම්කරු පක්ෂය, අග්‍රාමාත්‍යවරයාගේ මෙම සමාව ඉල්ලීම ගැන කිසිසේත් සෑහීමකට පත් වන බව පෙනෙන්න නැත. කම්කරු පක්ෂය බල කරන්නේත් ඉල්ලා සිටින්නේත් එක දෙයයි. 

අග්‍රාමාත්‍ය ජොන්සන් වහා ඉල්ලා අස්විය යුතුය! 

'සාද පැවැත්වූවා හොඳටම ඇති; අගමැතිතුමා. දැන් ගෙදර යන්න ලෑස්ති වුණොත් හොඳයි. ජනතාව ඔබ පන්නා දමන්න කලින්; ඔබේ පක්ෂය ඔබ පන්නා දමන්න කලින් ඔබ ගෙදර යන්න. ගෞරවය රැකගෙන ඉල්ලා අස්වෙන්න' කම්කරු පක්ෂ නායකයා මෙන්ම විපක්ෂ නායකයා ද වන කියර්ස් ස්ටාමර්, පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ජොන්සන්ට පවසද්දී, ජොන්සන් සිටියේ කරබාගෙනය. 

විපක්ෂ දේශපාලන කණ්ඩායම් බොහොමයක් එම අවස්ථාවේදී ජොන්සන්ට එරෙහිව නැගී සිටිමින් ඉල්ලා අස්වන්නැයි බල කරන්නට විය. අග්‍රාමාත්‍ය ජොන්සන්ට ධුරයෙන් ඉවත් වෙන්නැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් කරන බලපෑම් ගණන් නොගෙන සිටීමට ඔහුගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයට පුළුවනි. එසේත් නැතිනම්, ඔවුන්ට පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම කළ හැකිය. 

අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. නව නායකයකු තෝරා ගැනීමට නම් ඊට පෙර කළ යුතු වන්නේ විශ්වාසය පළ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වීමය. ඡන්දය පැවැත්වෙන්නේ රජයට එරෙහිව නොව, අග්‍රාමාත්‍ය ජොන්සන්ට එරෙහිවය. එසේ ඡන්දයක් පැවැත්වුවහොත් කොන්සවර්ටිව් පක්ෂයේ සියලු සාමාජිකයන් ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරනු ඇත. 

ඒ, අග්‍රාමාත්‍යවරයාට සහාය දෙනවාද? නැද්ද? ආදී වශයෙනි. එයින් ජොන්සන් ජයග්‍රහණය කළහොත්, ඔහු දිගටම පක්ෂ නායකත්වයත් අගමැති ධුරයත් හොබවනු ඇත. ඉදිරි මාස 12 ක කාලය ඇතුළත කිසිවකුට ඔහුට අභියෝග කළ නොහැකිය. පරාජය වුවහොත් ජොන්සන් අගමැති ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතුය. යළි පක්ෂ නායකත්වය වෙනුවෙන් ඔහුට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන්නේ ද නැත. 

කොන්සවර්ටිව් පක්ෂ නායකත්වය වෙනුවෙන් සුදුස්සකු පත් කර ගනු ඇත. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ඒ තැනැත්තාටය. මේ වනවිට කොන්සවර්ටිව් පක්ෂය තුළින් ම, අග්‍රාමාත්‍ය ජොන්සන්ට එරෙහිව අප්‍රසාදයක් මෙන්ම විරෝධයක් ද ගොඩ නැගී අවසන්ය. විශ්වාසය පළ කිරීමේ ඡන්ද විමසුමකට යෑමට නම්, කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන්ගෙන් සියයට 50 ක් එසේ කළ යුතු යැයි ඉල්ලා සිටිය යුතුය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටින කොන්සවටිව් සාමාජිකයන් ගණන 360 කි. ඡන්දයකට යෑමට 54 දෙනකු ඊට කැමැත්ත පළ කළ යුතුය. 

ඒත් එවැන්නක් සිදුවේවිද? අතීතයේ එවැනි විශ්වාසය පළ කිරීමේ ඡන්ද පවත්වා ඇත. ජනප්‍රියත්වය හීන වෙද්දී, කොන්සවර්ටිව් පක්ෂය, පක්ෂ නායකත්වය අමාරුවේ දැමූ අවස්ථා එමටය. 1990 දී මාග්‍රට් තැචර්ට, 2018 දී තෙරේසා මේට පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය අහිමිවීම ඊට උදාහරණය. ජනමත සමීක්ෂණ අනුව, බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් සියයට 33 ක් විශ්වාස කරන්නේ කම්කරු පක්ෂයට රට බාර දිය යුතු බවත්, කම්කරු පක්ෂ නායක කියර්ස් ස්ටාමර්, ජොන්සන්ට වඩා හොඳ අග්‍රාමාත්‍යවරයකු වනු ඇති බවත්ය. සියයට 66 ක් ජනතාව විශ්වාස කරන්නේ ජොන්සන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය. 

සියයට 24 ක් පවසා ඇත්තේ ඉල්ලා අස්විය යුතු නැති බවය. අර්බුදය ඔඩුදුවද්දී, කම්කරු පක්ෂය මේවනවිට කොන්සවර්ටිව් පක්ෂයට වඩා වැඩි ජනතා ප්‍රසාදයක් දිනා ගෙන සිටී. කම්කරු පක්ෂයට සහාය දක්වන බ්‍රිතාන්‍යයේ දිනපතා පුවත්පත් දැඩි ලෙස අග්‍රාමාත්‍ය ජොන්සන් විවේචනය කිරීම ආරම්භ කර තිබේ.

'හැම නීතියක්ම අහිංසක ජනතාවට පමණයි. අගමැතිට ඒවා අදාළ නැහැ', 'සොරි කීවාට සොරි නැහැ' ආදී ශීර්ෂපාඨ පුවත්පත්වල පළ වෙයි. ජනතාව, නීති සම්පාදකයන් සහ මාධ්‍ය මේවනවිට සිටින්නේ බොරිස් ජොන්සන්ගේ ප්‍රතිවාදින් අතරේය. බොරිස් ජොන්සන් අගමැති ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වුවහොත්, ජොන්සන් වෙනුවට පක්ෂ නායකත්වය බාර ගනිමින් රටේ අගමැති වන්නේ කවුරුන්ද? ඊට සුදුසුස්සා කවුරුන්ද?

දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස, රිෂී සුනාක් ඒ සඳහා පෙරමුණේ සිටින බවය. රිෂී සුනාක් යනු ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික දේශපාලනඥයෙකි. 41 හැවිරිදි ඔහු වත්මන් බ්‍රිතාන්‍ය මුදල් ඇමැතිවරයාය. පසුගිය වසර දෙකක කාලයේ 'කොවිඩ්' වසංගතය හමුවේ ජනතාවට සහන දෙමින්, වසංතය හමුවේ ජනතාව දිරි ගන්වමින් ජනතාවට නව බලාපොරොත්තු දුන් තැනැත්තා ලෙස පැසැසුමට ලක්වී සිටින්නේ මොහුය. 

රිෂී සුනාක් පසුපස ජනතා ප්‍රසාදය ගොඩගැසී තිබේ. ඒත් ප්‍රශ්නය පක්ෂ නායකත්වය ලබා ගනිමින් අග්‍රාමාත්‍ය ධුරය හොබවන්න ඔහු කැමැතිද යන්නය. අගමැති වීමට තමන්ගේ කිසිදු අදහසක් නැතැයි සුනාක් 2020 දී පවසා තිබේ. ඒ මුදල් ඇමැති ලෙස තමන් සිටින්නේ හෙම්බත් වී යැයි පෙන්වා දෙමිනි. ඒ 2020 දීය. අද තත්ත්වය ඊට වෙනස්ය. අද රිෂී සුනාක්ගේ අභිලාෂයන් ද වෙනස් වී තිබිය හැක.

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom