ඌරු හදවත් බද්ධයේ කතාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 13, 2022

ඌරු හදවත් බද්ධයේ කතාව

මහාචාර්ය වෛද්‍ය බාර්ට්ලි ග‍්‍රිෆිත් යනු ඇමෙරිකාවේත් ලෝකයේත් ප‍්‍රමුඛ පෙළේ ශල්‍ය වෛද්‍යවරයෙකි. ඉන්ද්‍රීය බද්ධ කිරීම සම්බන්ධ විශේෂඥයෙකි. වෛද්‍ය ග‍්‍රිෆිත්, මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයට අයත්, මේරිලන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඩේවිඩ් බෙනට් හමුවීමට ගියේ ඔහුට වැදගත් දෙයක් පැවැසීමටය. 

57 හැවිරිදි ඩේවිඩ් බෙනට්, දරුණු හදවත් රෝගියෙකි. ඔහු සිටියේ මරණ මංචකයේ බලාපොරොත්තු සුන් කර ගෙනය. එහෙත්, වෛද්‍ය ග‍්‍රිෆිත්, බෙනට් හමුවට ගියේ බලාපොරොත්තුවක් සමඟය. ඩේවිඩ් බෙනට් ට හදවත් බද්ධයක් කළ යුතු විය. ඒත් ගැටලුව ඔහුට ගැලපෙන, සුදුසු හදවතක් නොතිබීමය.

‘ඔබට ජීවත් වෙන්න නම්, හදවතක් බද්ධ කළ යුතුයි. ඒත් ගැලපෙන හදවතක් සොයා ගැනීම පහසු නැහැ. මනුෂ්‍ය හදවතක් සොයාගෙන එය බද්ධ කළත් ඔබේ සිරුර එය ප‍්‍රතික්ෂේප කරාවි.’ වෛද්‍යග‍්‍රිෆිත් පැහැදිලි කරන්න විය. 

‘මනුෂ්‍ය හදවතක් බද්ධ කරන්න බැරි වුණත්, අපට පුළුවන් වේවි ඔබට සතකුගේ හදවතක් බද්ධ කරන්න. ඔබ කැමතිද ඌරකුගේ හදවතකට?’ යැයි වෛද්‍යවරයා බෙනට්ගෙන් විමසුවේ සිනාසෙමිනි. 

බෙනට් මුලින් සිතුවේ එය වෛද්‍යවරයා විහිළුවක් කරන බවය. කෙසේ නමුත් එය විහිළුවක් නොවිණි. ජීවත් වීමේ බලාපොරොත්තු දැල්වෙද්දී, බෙනට් ඊට කැමැති විය. ‘දොස්තර මහත්මයා මාව ඌරෙක් කරන්නද හදන්නේ?’ 

බෙනට්ගේ පිළිතුර වූයේ එයයි. ඒ අනුව, වෛද්‍ය ඉතිහාසයේ පෙරැළියක් සිදුවිය. ලොව පළමු වතාවට, ඌරකුගේ හදවතක් මිනිසකුට බද්ධ කෙරුණි. පැය හතක් තිස්සේ කළ මේ ඓතිහාසික සැත්කමෙන් පසු ඩේවිඩ් බෙනට් යහතින් පසුවෙයි. මෙම සැත්කම වෛද්‍ය විද්‍යාවේ නව පිටුවක් පෙරැළීමට සමත් වූ බව අවිවාදයෙන් පිළිගත යුතුය. 

ලොව පුරා හදවත් සැත්කම් අපේක්ෂාවෙන් අවුරුදු ගණන් පෝලිම්වල සිටින රෝගීන්ට එය නව අපේක්ෂාවක් ඇති කළේය. මේ වනවිට ඉන්ද්‍රිය බද්ධ කිරීම් සඳහා, පොරොත්තු ලේඛනයේ සිටින ඇමෙරිකානුවන් ගණන ලක්ෂයකට වැඩිය. ඔවුන් වැඩි දෙනා හදවත් සහ වකුගඩු රෝගීන් ය. 

එසේ පොරොත්තු ලේඛනවල සිටින බොහෝ දෙනා මියයන්නේ ඔවුන්ට ගැලපෙන ඉන්ද්‍රියන් නිසි වේලාවට නොලැබීමෙනි. සතුන් අවශ්‍ය පරිදි අවයව එසේත් නැතිනම් ඉන්ද්‍රියන් නිර්මාණය කර ඒවා ලබා ගැනීම ඉන්ද්‍රීය හිඟයට විසඳුමය. කෙසේ හෝ වේවා මෙවැනි බද්ධයක් සිදු කිරීම සදාචාරාත්මක ද යන්න ගැන ද විවාදයක් මතු වී අවසන්ය. 

වඩා වැදගත් වන්නේ රෝගියාගේ ආරක්ෂාව ද සත්ත්ව අයිතිවාසිකම් ද නැතිනම් ආගමික විශ්වාසයන් ද යන්න සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වී තිබේ. ඩේවිඩ් බෙනට් සම්බන්ධ සැත්කම, ලොව ප්‍රථම වතාවට කෙරුණු අත්හදා බැලීමේ සැත්කමක් යැයි කීවොත් එහි ද වරදක් නැත. ඒ නිසා, බෙනට් ට විශාල අවදානමක් ඇති බව වටහා ගත යුතුය. ඉතා හොඳින් ගැළපෙන මිනිස් හදවතක් වුවත්, බද්ධ කිරීමෙන් පසු රෝගියාගේ සිරුර විසින් බොහෝ විට ප්‍රතික්ෂේප කෙරේ. ඒ නිසා සතකුගේ අවයව කොටසක් බද්ධ කිරීමේ අවදානම තවත් වැඩි යැයි වෛද්‍යවරු පැහැදිලි කරති. 

බද්ධ කිරීම සඳහා සත්ත්ව කොටස් යොදා ගැනීම වෛද්‍යවරුන් විසින් දශක ගණනාවක් තිස්සේ කරනු ලබන දෙයකි. සතුන්ගේ අවයව එසේත් නැතිනම් ඉන්ද්‍රියන් මිනිසුන්ට බද්ධ කිරීම හැඳින්වෙන්නේ xenotransplantation (සීනෝ-ට්‍රාන්ස්ප්ලාන්ට්ටේෂන්) යන ඉංග්‍රීසි වදනින්ය. xenotransplantation සැත්කම්වලින් ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිඵලය. 

1984 දී කැලිෆෝනියාවේ වෛද්‍යවරුන් පිරිසක් බැබුනයකුගේ හදවතක් බද්ධ කොට දැරියකට ජීවිතය දුන් බව පැවැසෙයි. ඒත් ඇය ජීවත් වූ දින 21ක් පමණය. මෙවැනි සැත්කම්වල ඇති අවදානම කිව නොහැකි තරම් විශාලය. ඒත් වෙනත් විකල්පයක් නැති තැන රෝගියාගේ කැමැත්ත ලබා ගෙන, වෛද්‍ය සභාවේ ද අවසර ඇතිව, මෙවැනි සැත්කම් කිරීම තවමත් වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබයි. 

"සැත්කම සාර්ථක වුනත් ඒ අවසානයේ දී අවාසනාවන්ත ලෙස රෝගීන් මිය යන අවස්ථා තියෙනවා. ඒ වුනත් සැත්කමේ අවදානම නොගෙන බැහැ." යැයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජුලියන් සැවුලෙස්කු පැහැදිලි කරයි. ඔහු ප්‍රායෝගික ආචාර ධර්ම විද්‍යාව පිළිබඳ අංශයේ ප්‍රධානියාය.

"මේ සැත්කම් පිළිබඳව ඇති අවදානම හොඳින් හඳුනාගෙන මේ වගේ විප්ලවකාරී සැත්කම්වලට පුද්ගලයකු එකඟවීම වරදක් නොවෙයි. මෙහිදී සැත්කමට භාජනය වන තැනැත්තාට ඔහු ඉදිරියේ ඇති විකල්ප ප්‍රතිකාර ක්‍රම, එනම් යාන්ත්‍රික හදවතක් හෝ මිනිස් හදවතක් බද්ධ කිරීම වැනි දේ ගැනත් පැහැදිලි අවබෝධයක් ඔහුට ලබා දෙන්න ඕනෑ. ඒ වගේ ම සැත්කමට පෙර මිනිස් නොවන පටක දැඩි ලෙස පරීක්ෂාවට ලක් කිරීම අවශ්‍යය "යි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

බෙනට්ට මේ සැත්කම කළ වෛද්‍යවරුන් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ, වෙනත් කිසිම විකල්පයක් නොමැති බැවින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඇති එකම විකල්පය ලෙස ජාන වෙනස් කළ ඌරකුගේ හදවතක් බද්ධ කළ බවය. සැත්කම සැලසුම් කළ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ක්‍රිස්ටීන් ලෝ පවසා ඇත්තේ ඔවුන් දශක කීපයක් තිස්සේ ප්‍රයිමේට්ස් සතුන්ට අදාළ මෙවැනි පර්යේෂණ ගණනාවක් කර ඇති බවය. 

මෙය මිනිසුන් සඳහා යොදා ගත හැකි තත්ත්වයට අප ළඟා වී ඇති නිසයි, මේ සැත්කමට යොමුවුණේ. ඇය මෙසේ පවසා තිබුණේ බීබීසී පුවත් සේවය සමඟය. සැත්කම සඳහා නිකම්ම නිකම් ඌරන්ගෙන් හදවත ලබා ගෙන නැහැ. කලින් කී ලෙස, මේ ඌරා ජානමය වශයෙන් වෙනස් කරමින් නිර්මාණය කළ සත්වයෙකි.

මිනිස් සිරුර ප්‍රතික්ෂේප නොකරන ආකාරයට, ජනාමය වශයෙන් සකස් කළ ඌරන් රසායනාගාරය තුළ ඉතා පරිස්සමෙන් ඇති දැඩි කෙරේ. කපාට හෝ හදවත හෝ ගන්නවා නම් මිනිස් සිරුරේ ප්‍රමාණයට ඒවා වර්ධනය කර ගැනීම සිදුවන්නේ ඒ අනුවය. 

මිනිස් සිරුරට ගැළපෙන ලෙසට ජානමය වශයෙන් සකස් කළත් මිනිස් සිරුර විසින් ඒවා ප්‍රතික්ෂේප වළක්වන ඖෂධ රෝගියා විසින් නොකඩවා ගත යුතු වෙයි. මේ සැත්කම නිසා, සැත්කම සාර්ථක බව දැනගත් සැණින්, සත්ත්ව හිමිකම් ආරක්ෂක සංගම් විරෝධය පෑම ආරම්භ කර තිබේ. ඒ, සත්ත්ව අවයව මිනිසුන්ට බද්ධ කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමිනි. 

එසේ විරෝධය පෑ එක් සංවිධානයක් වන්නේ පෙටා (PETA -People for the Ethical Treatment of Animals) ය. 'සතුන් කියන්නේ බුද්ධිමත් ජීවියකු වූ මිනිසාගේ අවශ්‍යතා පිරිමහන අවයව ගබඩා නොවේ' යැයි පෙටා සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබේ. විරෝධය පළ කරන්නන් පෙන්වා දෙන්නේ මිනිසාට ගැළපෙන විධියට සතුන්ගේ ජාන වෙනස් කිරීම වරදක් බවය. 

බෙනට්ගේ සිරුර ප්‍රතික්ෂේප නොකරන විධියේ හදවතක් උගෙන් ලබා ගන්නට විද්‍යාඥයන් ඌරාගේ ජන වර්ග 10ක් වෙනස් කර ඇතැයි පැවැසෙයි. සැත්කම දවසේ උදෑසන ඌරාගෙන් හදවත ලබා ගැනීම සිදු කෙරුණි. එක්සත් රාජධානියේ සත්ත්ව හිමිකම් රකින සත්ත්ව ආධාර වැඩ සටහනෙහි නියෝජිතයකු පවසා ඇත්තේ, මොනම හේතුවක් නිසාවත් අවයව බද්ධයට හෝ ජාන වෙනස් කිරීම හෝ සත්ත්ව අවයව ලබා ගැනීම හෝ නොකළ යුතු බවය. 

"සතුන්ට ඔවුන්ගේ ජීවිත නිසි පරිදි ගත කරන්නට ඉඩ සැලසීම සත්ත්ව අයිතිවාසිකමක්. සතුන්ගේ සිරුරු වෙනස් කර ඔවුන් පීඩාවට පත් කරමින් ඉන්ද්‍රියයන් ඔවුනට ස්වභාවික නොවන ආකාරයට වර්ධනය කර බද්ධ කිරීමට ගන්න එක සම්පූර්ණයෙන් ම වැරදියි.' යැයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

"ජාන වෙනස් කර අවයව තනා බද්ධ කිරීම ඒ සතුන්ට අනවශ්‍ය ලෙස පීඩා ගෙන දෙන අයුරින් නොකිරීමට වග බලා ගැනීම වැදගත් වෙනවා" යැයි විරෝධතාකරුවන්ට පිළිතුරු දෙමින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජෛව සාරධර්ම අංශයේ ආචාර්ය කැත්රීන් ඩෙවෝල්ඩර් පවසා ඇත. 

''මසට ඌරන් ඇති කිරීමත් කාටවත් ප්‍රශ්නයක් නොවෙයි. එසේ නම්, මිනිස් ජීවිත බේරා ගැනීමට ඒ සතුන් යොදා ගැනීම වරදක් වෙන්නේ කොහොමද?" යැයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජෛව සාරධර්ම අංශයේ ආචාර්ය කැත්රීන් ඩෙවෝල්ඩර් පැහැදිලි කර තිබේ. 

ආගමික අතින් බැලුවත්, ඒ සත්ත්ව අවයව තමන්ට බද්ධ කරනවාට සමහර ආගම්වල අය අකමැති වන අවස්ථා තිබේ. මෙහිදී ඌරා තෝරා ගැනීමට හේතුව උගේ හදවත ප්‍රමාණයෙන් මිනිස් හදවතට බොහෝ සේ සමාන වීමය. එමෙන්ම ඌරන් පර්යේෂණාගාරයක් තුළ පවා පහසුවෙන් ඇති කළ හැකි සතුන් විශේෂයකි. ම බෝ කිරීමත් පහසුය.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom