ටිකක් නපුරුයි; තරහත් යනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 4, 2022

ටිකක් නපුරුයි; තරහත් යනවා

අමන්දා නමැති මාධ්‍යවේදිනිය මේ දිනවල අපට හමුවන්නේ, පියාඹන මූණිස්සම් නාට්‍යය ඔස්සේය. මෙම නාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නේ අනුරුද්ධ ජයසිංහ ප්‍රවීන අධ්‍යක්‍ෂවරයාය. චන්න දේශප්‍රිය ප්‍රවීනයා නිෂ්පාදනය කළ මෙය රාජපුත්‍ර නිර්මාණයකි. මෙහි ‘අමන්දා’ගේ චරිතයට දායකව සිටින්නේ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්‍ෂවරයාගේ දියණිය වන නිර්මාණී ජයසිංහය. 
නිර්මාණී විතරද නම? 
නිර්මාණී අනුරංගා ජයසිංහ 

දැන් වයස එහෙම? 
මේ අවුරුද්දට අවුරුදු 21යි. 

ඉතින් 21 පාටිය ජයට ගන්න ඇති නේද?
මම එහෙම ලොකුවට පාටි ගන්න කෙනෙක් නෙවෙයි. පොඩි කාලයේ ඉඳලම මම එහෙමයි. මේ 21 එක නංගියි අම්මයි තාත්තායි එකතු වෙලා මට සප්‍රයිස් එකක් දුන්නා. ඉතින් ඒනිසා ඒක ටිකක් ලොකු පාටියක් වුණා. තෑගි ගොඩක් හම්බවුණා. මම මටම තෑග්ගකුත් ගත්තා. තෑගිවලට වඩා ලොකුම සතුට අම්මයි තාත්තයි නංගියි පවුලේ අයයි එකතුවෙලා මාව සප්‍රයිස් කරපු එක. 

ඉතින් නිර්මාණි ගැන කිව්වොත්?
මම බොහොම සරල කෙනෙක්. පාඩුවේ ඉන්න කෙනෙක්. යාළුවොත් ගොඩක් නැහැ. මම හරිම සංවේදී කෙනෙක්. තනියම ඉන්න ආස කෙනෙක්. ටිකක් නපුරුයි, තරහත් යනවා. 

නපුරු වෙන්නේ මොන වගේ අවස්ථාවලදී ද?
නංගිත් එක්ක රණ්ඩු වෙන වෙලාවට. ඒ වුණාට නංගි තමයි මට දුකේදීත් - සැපේදීත් ඉන්න හොඳම යාළුවා. හැමදේටම උදව් ගත්තෙත් එයාගෙන්. 

මොන වගේ උදවු ද ගන්නේ?
එයා ඉතින් මම යන සෑම තැනකටම මගේ පස්සෙන් එනවා. එයා නැතුව මට තනියම මොනවත් කරගන්න බැරි තරම්. එයා තමයි ඔක්කොම කියලා දෙන්නේ, උපදෙස් දෙන්නේ. මම අක්කා වුණාට මගේ අක්කා එයා වගෙයි. 

ආදරණීය නංගිගේ නම? 
චායා අනුරංගි ජයසිංහ. 

පවුලේ ඔය දෙන්නා විතර ද?
ඔව්, මායි නංගියි විතරයි. 

නංගි රඟපෑමට නැද්ද?
පොඩි කාලයේ දී තාත්තා, අධ්‍යක්‍ෂණය කළ යකඩ පහන්තිර නාට්‍යයේ රඟපෑවා. ඒකට එයාට සම්මානයකුත් ලැබුණා හොඳම ළමා නිළිය ලෙස. මාත් පොඩි කාලයේ රඟපෑවා. අවුරුදු එකේදි දෙකේදි විතර. 

ඒවායේ නම් කිව්වොත්?
අභිසමය, දහස්ගව්දුර, තට්ටු ගෙවල්. 

ඉන්පසුව දිගටම රඟපෑවෙ නැත්තේ?
නංගියි මායි දෙන්නාම අධ්‍යාපනය ගැන අවධානය යොමු කළ නිසයි. ඒ වගේම නිළියක් වෙන්න ඕනෑය කියන උනන්දුව තිබුණේ නැහැ. අපට තිබුණේ ඉගෙන ගෙන උපාධියක් කරලා ඉදිරියට යන අරමුණ. 

නිර්මාණී තවම ඉගෙන ගන්නවද?
මේ වන විට උපාධියේ දෙවන වසරේ ඉගෙනුම ලබන්නේ. 

මොන අංශයෙන්ද?
ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්ෂණවේදයෙන් තමයි උපාධිය හදාරන්නේ. නංගිත්, තොරතුරු තාක්ෂණය තමයි කරන්නේ. තාත්තා ගැන රටම දන්නවනේ, අම්මා ගැන කියමු. අම්මා අපේ වැඩවලට උදව් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා. කලින් ගුරුවරියක් ලෙස සේවය කරල දැන් අපිව බලාගෙන ගෙදර ඉන්නවා. අම්මගේ නම ඉරංගා ප්‍රේමතිලක. 

අම්මා, තාත්තාගේ නිර්මාණවල රඟපාලා නැද්ද?
නැහැ. අවස්ථා ලැබුණලු. ඒත් අම්මා කැමතිවෙලා නැහැ. හැබැයි ඉස්සර නිවේදන කටයුතු කරලා තියෙනවා. 

කොහොමද පියාඹන මූනිස්සම් නාට්‍යයට එක්වුණේ? තාත්තද ඒ ආරාධනාව කළේ?
කාලයක් කිසිම දෙයකට සම්බන්ධ වුණේ නැහැනේ. ඒ අතරේ කෙරෝනා එක්ක ගෙදරට වෙලා වැඩි කාලයක් ගෙදරම ගත කරන නිසා තාත්තත් ඇහුවා එයාගේ යාළුවොත් අහලා තිබුණා මේ නාට්‍යයට දුවවත් ගන්න කියලා. ඊට පස්සේ පිටපත දුන්නාම මටත් ආස හිතුනා. මේක හොඳට කළොත් හොඳයි කියලා තාත්තා කිව්වා. මොකද තාත්තා එහෙම ආවාට ගියාට චරිත දෙන කෙනෙක් නොවෙයි. කලින් මම වෙළෙඳ දැන්වීම්වලට දායක වුණා. ඒ නිසා ටෙලි නාට්‍යයක රඟපෑමේ ආසාවකුත් තිබුණා. 

පියාඹන මූනිස්සම් චරිතය ගැන කියමු?
මේ කතාවේ මම රඟපාන්නේ ‘අමන්දා’ නමැති මධ්‍යවේදිනියකගේ චරිතයක්. එයා අභියෝග, තර්ජන මැද්දේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරන කෙනෙක්. එයා මේ නාට්‍යයේ චරිත ඔක්කොම එක්ක ගැටෙන චරිතයක්. මේ කතාවේ මගේ චරිතය ගලා යන්නේ මෝක්ෂ සහ ඇමති ශාඛ්‍යගේ චරිත එක්කයි. ඇමති ශාඛ්‍ය එක්ක එකතුවෙලා සිදුවන දූෂණ සොයන්න සහ ඒවා හෙළිදරව් කරන්න ප්‍රයත්න ගන්නා මාධ්‍යවේදිනියක්. 

කොහොමද අමන්දාට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම මම නොහිතපු විදයේ ප්‍රතිචාර ලැබෙන්නේ. ක්ෂේත්‍රයට අලුත් නිසා බොහෝ දෙනෙක් අහන්නේ එයා කවුද? එයා කවුද? කියලයි. මම තාත්තගේ දුව කියලා බොහෝ දෙනා තවම දන්නෙ නැහැ. 

‘ගෙදර’ ජීවිතේ කොහොමද?
ගෙදර ඉතින් වැඩිපුර මායි නංගියි, මගේ ආච්චියි සීයයි ඉන්නව. නිදහසේ සතුටින් ඉන්නවා. ඉගෙනීමේ වැඩ තමයි වැඩිපුර කරන්නේ. 

ගෙදර දී තාත්තා මොන වගේද? වැඩිපුර මොනවද කරන්නේ?
තාත්තා කාර්යබහුල නිසා, ගෙදර ඉඳිද්දි හරිම නිශ්ශබ්දයි. නිදහසේ ඉන්න කැමතියි. අපේ වැඩවලටත් උදව් වෙනවා. 

අම්මද සැර? තාත්තද සැර?
තාත්තා පොඩ්ඩක්වත් සැර නැහැ, අම්මා තමයි ගෙදර සැර. 

ගෙදර කට්ටිය එකතු වුණාම සිංදු එහෙමත් කියනවද?
අම්මයි මායි තමයි වැඩිපුර සිංදු කියන්නේ. 

‘නිර්මාණී’ සතු තවත් දක්‍ෂතා මොනවාද?
උසස් පෙළ මුහුණ දුන්නේ ‘චිත්‍ර’ විෂයෙන්. මම චිත්‍ර අඳින්න හරි ආසයි. ගායනයටත් ළැදියි. පාසලේදී ගායනා තරගවලින් සහතික බොහෝමයක් අරගත්ත කෙනෙක්. සියුම් භාෂා නිර්මාණ කරන්න ආසයි. ඒ වගේ දේත් කරනවා. 

‘චිත්‍ර’ ප්‍රදර්ශනයක් කරලා නැද්ද? 
තවම කරලා නැහැ. උපාධිය කරන්නේ තොරතුරු තාක්ෂණයෙන් නිසා චිත්‍රවලට අවධානය අඩුවෙලා. ඉදිරියේ දී නිදහස ලැබෙන විදිහට කරනවා. ඒ කියන්නේ නිර්මාණි, බොහෝම නිර්මාණශීලියි කිව්වොත් හරි, එහෙම කිව්වොත් හරි. 

‘පියාඹන මූනිස්සම්’ හැර වෙනත් දායකවූ නිර්මාණ තියෙනවද?
තවම නැහැ. මීට පෙර ෆිල්ම්ස් සහ ටෙලි ඩ්‍රාමාවලට ආරාධනා ලැබුණා. ඒත් මම ඒවාට එච්චර උනන්දු වුණේ නැහැ. 

ඉදිරි බලාපොරොත්තු මොනවාද? 
ලොකුම බලාපොරොත්තුව උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවට යන එක. තව වෙන මොනවද නිර්මාණිට කියන්න තියෙන්නේ සතුටින් - නිදහසේ ජීවත්වෙන්න මම ආසයි. අපේ රටේ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 

෴ සඳුන් ගමගේ 
උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප 

Classified_Ad

Classified_Ad_News_Bottom