පෘථිවියට තවත් චන්ද්‍රයෙක් 'කමෝඅලේවා' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 8, 2022

පෘථිවියට තවත් චන්ද්‍රයෙක් 'කමෝඅලේවා'

පෘථිවියට තවත් චන්ද්‍රයෙක් සිටිනවා යැයි කීවොත්, ඔබ මවිත වේවි. ඒත් අහසේ දකින්න ඇත්තේ එකම එක චන්ද්‍රයෙක් පමණයි. චන්ද්‍රයන් දෙදෙනකු දකින්න නැහැනේ. ඔව්; ඒක ඇත්ත. 'පෘථිවියේ දෙවැනි චන්ද්‍රයා' යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කර ඇත්තේ කුඩා ග්‍රහකයකි. 

මේ ග්‍රහකය සොයා ගැනීම සිදුවූයේ අද ඊයේ නොවෙයි; 2016 වසරේදීය. 2016 දී සොයා ගැණුනත් මේ ග්‍රහකය, එසේත් නැතිනම් පෘථිවියේ 'දෙවැනි චන්ද්‍රයා' ගැන ගැන සවිස්තරාත්මක තොරතුරු සහ ඒ සම්බන්ධයෙන් අබිරහස් අනාවරණය වීම දැන් සිදුවෙමින් පවතී. ඒ, 'කමෝඅලේවා' Kamo’oalewa යන නමින් නම් කළ එම 'දෙවැනි චන්ද්‍රයා' සම්බන්ධයෙන් නව අධ්‍යයනයන් සිදුවෙද්දීය. 

'කමෝඅලේවා' ග්‍රහකය, අර්ධ චන්ද්‍රයකු quasi-moon යනුවෙන් ද තාරකා විද්‍යාඥයන් නම් කර තිබේ. 2016 දී 'කමෝඅලේවා', මුලින්ම හඳුනා ගැනීමට සමත් වූයේ හවායි විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයන්ය. 'කමෝඅලේවා' යනු හවායි වදනකි. එහි සරල අර්ථය 'තනිවම සංචාරය කරන දරුවා' යන්නයි.

'කමෝඅලේවා' ග්‍රහකයේ විෂ්කම්භය මිටර් 50 කි. තවත් පැහැදිලි කළොත් ප්‍රමාණයෙන් ඉතාලියේ ඇලවෙන පීසා කුලුන හා සමානය. 'කමෝඅලේවා' පෘථිවිය වටා ගමන් කරයි. ඒ, සැතපුම් මිලියන ගණනක් දුරිනි. අපේ චන්ද්‍රයා (ඉර එළිය නැති වෙලාවට දකින්න ලැබෙන කෙනා) ගමන් කරන්නේ සැතපුම් 2,39,000 ක් පමණ දුරිනි. 'කමෝඅලේවා' ග්‍රහකයේ අසාමාන්‍ය ගමන් මඟ නිර්මාණය වී ඇත්තේ පෘථිවියේත්, සූර්යයා එසේත් නැතිනම් හිරුගේත් ගුරුත්ව බලයෙනි. 

ඒ නිසාම 'කමෝඅලේවා' ග්‍රහකයේ ගමන් මඟ නැමීමක් ආකාරයෙන් පවතී. සෑම අප්‍රේල් මාසයකම 'කමෝඅලේවා' පෘථිවියට දකින්න ලැබේ. ඒ, දින කීපයක් සඳහා පමණි. පියවි ඇසින් දැකීමේ හැකියාවක් නැත. හේතුව එය ප්‍රමාණයෙන් කුඩා නිසාය. 'කමෝඅලේවා' දැකගත හැක්කේ පෘථිවියේ ඇති විශාල දුරේක්ෂ ආධාරයෙන් පමණි. 

ඒ නිසාම වසර ගණනක් තිස්සේ 'කමෝඅලේවා' රහස් සඟවා ගෙන සිටියේය. ඒත් දැන් 'කමෝඅලේවා' සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයන සිදුවෙද්දී, එහි අබිරහස් එකිනෙක අනාවරණය වීමට පටන් ගෙන ඇතැයි 'නේචර්' විද්‍යා සඟරාව පෙන්වා දෙයි. ඒ, එම අධ්‍යයන වාර්තා ඇසුරින් ලිපියක් පළ කරමිණි.

'කමෝඅලේවා' සම්බන්ධයෙන් මෙම අධ්‍යයනයට සම්බන්ධ වී සිටින්නේ ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ග්‍රහ වස්තු පර්යේෂණ ඒකකයේ විද්‍යාඥ බෙන් ෂාර්ක්ලි ඇතුළු කණ්ඩායමය. 'කමෝඅලේවා ග්‍රහකයේ ගමන් මඟ පිහිටා තිබෙන්නේ, එසේත් නැතිනම් ගමන් මඟ නිර්මාණය වී ඇත්තේ හිරුගේ ගුරුත්ව බලයට අනුවයි. එක් අවස්ථාවක කමෝඅලේවා පෘථිවියට සමානව කක්ෂයක ගමන් කරනවා. ග්‍රහකයක් වුවත්, මෙය පෘථිවියේ දෙවැනි චන්ද්‍රයා යන නමින් තාරකා විද්‍යාඥයන් හඳුන්වා දෙන්නේ ඒ නිසයි. ඒ ගමන් මඟ ටිකක් වෙනස් අමුතු එකක්' යැයි ෂාර්ක්ලි පැහැදිලි කර තිබේ. 

විශ්වයේ පාවෙන ග්‍රහක තාරකා විද්‍යාඥයන්ට ආගන්තුක නොවුණත්, කමෝඅලේවා අසාමාන්‍ය වන්නේ එහි ගමන් මඟ නිනාස නොවෙයි. කමෝඅලේවා ග්‍රහකයේ පෙනුමත් අසාමාන්‍ය යැයි පැවැසෙයි. ඇතැම් අධෝරක්ත සංඛ්‍යාතවල ග්‍රහක දීප්තිමත්ව ආලෝකය පරාවර්තනය කළත්, 'කමෝඅලේවා' එසේ කරන්නේ නැත. 

කමෝඅලේවා ට ඇත්තේ අඳුරු ස්වභාවයකි. ඒ නිසාම 'කමෝඅලේවා' සැබැවින්ම ග්‍රහකයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් ද අබිරහසක් පැවැතිණි. කෙසේ නමුත් විද්‍යාඥයන් ඔවුන්ගේ නව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ, අධෝරක්ත සංඛ්‍යාතවලදී කමෝඅලේවා දීප්තිමත් නොවීමට හේතුව එය විවිධ ද්‍රව්‍යවලින් නිර්මාණය වී තිබීම සහ එහි සම්භවය වෙනස් වීම නිසා බවය. 

 ඇරිසෝනා විශ්ව විද්‍යාලය යටතේ ඇති ග්‍රැහැම් කඳු මුදුණේ පිහිටි 'විශාල දෙනෙති දුරේක්ෂය' යොදා ගනිමින්, විද්‍යාඥ බෙන් ෂාර්ක්ලි ඇතුළු කණ්ඩායම 'කමෝඅලේවා' පරාවර්තනය කරන ආලෝක වර්ණාවලියේ රටාව පුළුල් ලෙස අධ්‍යයනය කර තිබේ. ඒවා 'නාසා' ආයතනය 'ඇපෙලෝ' මෙහෙයුම්වලදී සඳට ගොස් ගෙනා 'චන්ද්‍ර පාෂාණ' සමඟ සන්සන්දනය කර තිබේ. එහිදී අනාවරණය වුණු දෙයක් නම්, 'කමෝඅලේවා' ග්‍රහකය සඳෙන් වෙන්වුණු කැබැල්ලක් විය හැකි බවය. ඒත් 'කමෝඅලේවා' සඳෙන් කැඩී වෙන්වී ගියේ කෙසේදැයි යන්න පැහැදිලි නැත. 

අප සඳ නැතිනම් චන්ද්‍රයාගේ සම්භවයක් ඇති කිසිම ග්‍රහ වස්තුවක් විද්‍යාඥයන්ට මීට පෙර හමු නොවීම ඊට හේතුවය. 'පෘථිවිය අසලින් ගමන් කරනා ග්‍රහක සියල්ලේම වර්ණාවලි සම්බන්ධ පරීක්ෂණ සහ 'කමෝඅලේවා' ග්‍රහකයේ වර්ණාවලියේ දත්ත සන්සන්දය කළා. ඒ කිසිවක් සමාන වන්නේ නැහැ.' යැයි ෂාර්ක්ලි පවසයි. 

පසුගිය වසර තුනක කාලය තිස්සේ, ෂාර්ක්ලි ඔහුගේ උපදේශිකාව ද වන මහාචාර්ය විෂ්ණු රෙඩ්ඩි සමඟ 'කමෝඅලේවා' පිළිබඳ වාදවිවාදවල පැටලුණු කෙනෙකි. ඒ, 'කමෝඅලේවා' ග්‍රහකයේ මූලාරම්භය සහ බිහිවීම සම්බන්ධයෙනි.

'ඇත්තටම අපට කිසිම නිගමනයකට එන්න පුළුවන් වුණේ නැහැ. දුරේක්ෂයෙන් ලබා ගත් දත්ත පාදක කර ගනිමින් තමයි අප අවසන් නිගමනයට ආවේ. 'කමෝඅලේවා'ගේ අසාමාන්‍ය ගමන් මඟ අනුවත් අපට අනුමාන කරන්න පුළුවන් වෙනවා 'කමෝඅලේවා' සඳුගෙන් වෙන්වුණු කැබැල්ලක් විය හැකි බව යැයි මහාචාර්යවරිය විෂ්ණු රෙඩ්ඩි කියයි. 

'ගණනය කිරීම් අනුව 'කමෝඅලේවා' තවත් වසර 300 ක් පමණ දැනට එය ගමන් කරන ගමන් මඟ අනුගමනය කරාවි. 'කමෝඅලේවා' මෙම අසාමාන්‍ය ගමන් මඟට යොමු වන්න ඇත්තේ මීට අවුරුදු 500 කට පමණ කලින්' යැයි මහාචාර්යවරිය පැහැදිලි කර ඇත. ඊට පස්සේ එය හුදෙකලාව, ඉතාමත් දීර්ඝ කාලයක් විශ්වයේ සැරිසරනු ඇත.

෴ උපුටා ගැනීම - Nature

Classified_Ad

Classified_Ad_News_Bottom