පැසිෆික් සාගරයේ චන්ද්‍රිකා සොහොන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 12, 2022

පැසිෆික් සාගරයේ චන්ද්‍රිකා සොහොන

දකුණු පැසිෆික් සාගරයේ 'පොයින්ට් නීමෝ' Point Nemo ගැන දන්නවාද? පළමුවෙන් දකුණු පැසිෆික් සාගරය පිහිටා තිබෙන්නේ කොතැනදැයි බලමු. පැසිෆික් සාගරය පිහිටා ඇත්තේ ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තයටත්, කැනඩාව, ඇමෙරිකාව සහ දකුණු ඇමෙරිකා රටවලට මැදිව සහ ඇන්ටාක්ටිකාවට ඉහළිනි. 'පොයින්ට් නීමෝ' යනු දකුණු පැසිෆික් සාගරයේ හුදෙකලා ස්ථානයකි.

'පොයින්ට් නීමෝ' Point Nemo යනු 'චන්ද්‍රිකා සොහොන' පිහිටා ඇති ස්ථානයයි. ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ Space Graveyard යනුවෙනි. හරියටම කීවොත්, 'පොයින්ට් නීමෝ' Point Nemo පිහිටා තිබෙන්නේ නවසීලන්තය, ඇන්ටාක්ටිකාව සහ ආජන්ටිනාවට මැදිවය. 'පොයින්ට් නීමෝ' සාගර කලාපය ලොකු ගැඹුරක් ඇති තැනක් නොවෙයි. ගැඹුර කිලෝ මීටර් 4 ක් පමණය. 'පොයින්ට් නීමෝ' ට ආසන්නයෙන්ම පවතින ගොඩබිම් ප්‍රදේශය ඇත්තේ කිලෝ මීටර් 3 ක් පමණ දුරිනි. 
'පොයින්ට් නීමෝ', චන්ද්‍රිකා සොහොනක් ලෙස භාවිතයට ගැනෙන්නේ මෙය ලොව හුදෙකලා වූ සාගර කලාපයක් බැවිනි. 'පොයින්ට් නීමෝ' නාවික කටයුතු හෝ ධීවර කටයුතු හෝ සිදුවන ස්ථානයක් ද නොවෙයි. මෙම සාගර කලාපය රළුය. තරණය කිරීම අසීරුය. කුණාටු බහුල යැයි ද පැවැසෙයි.

'පොයින්ට් නීමෝ' යන නමින් මෙම සාගර කලාපය හැඳින්වෙන්නේ ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ ලේඛක යූල්ස් වර්න්ගේ 'ලීග විසි දහසක් සාගර පතුළේ' 'Twenty Thousand Leagues Under The Sea නවකතාවේ 'නොටිලස්' සබ්මැරීනයේ කපිතාන්වරයා වන 'කපිතාන් නීමෝ' සිහි ගනිවමිනි. 

1971 වසරේ සිට පෘථිවි කක්ෂයට යැවෙන සහ පෘථිවි කක්ෂයේ රැ‍ඳවෙන අභ්‍යවකාශ නැවැතුම්පොළ, රොකට්ටු සහ විශාල චන්ද්‍රිකා ආදිය අක්‍රිය වීමෙන් පසු යළි පෘථිවියට වැටෙද්දී ඒවා සියල්ල යොමු කරන්නේ 'පොයින්ට් නීමෝ' සාගර පතුළටය. ඒ අනුව කාටවත් අනතුරක් සිදු නොවෙයි. මේ 'චන්ද්‍රිකා සොහොන' එසේත් නැතිනම් 'පොයින්ට් නීමෝ' ගැන අප දැන් කතා කරන්නේ ඇයි? ඒකට විශේෂ හේතුවක් තිබේ. ඒ ඇමෙරිකාවේ නාසා ආයතනය මාධ්‍ය හමුවේ කළ නිවේදනයක් නිසාය. 

පෘථිවි කක්ෂයේ රඳවා ඇති 'ජාත්‍යන්තර අභ්‍යවනකාශ නැවැතුම්පොළ' International Space Station ගැන නොදන්නා කෙනෙකු නොමැත. කෙටියෙන් මෙය හැඳින්වෙන්නේ ISS යන නමිනි. 'ජාත්‍යන්තර අභ්‍යවනකාශ නැවැතුම්පොළ' ලෙස මෙය හැඳින්වෙන්නේ ඇමෙරිකාවේ නාසා (NASA) ආයතනය මුල්වී, රුසියානු අභ්‍යවකාශ ආයතනය රොස්කොස්මොස් (Roscosmos), ජපාන අභ්‍යවකාශ ආයතනය ජැක්සා (JAXA) සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය (CSA) හවුල් කර ගනිමින් මෙය ඉදි කළ සහ නඩත්තු කරගෙන යන බැවිනි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට 'මුල්ගල' තැබුවේ රුසියාවය. ඒ ආරම්භයේ දී අභ්‍යවකාශයේ 'සොයූස්' ගගන යානා දෙකක් එකිනෙක සම්බන්ධ කරමින් පුංචි නවාතැන්පොළක් ස්ථාපිත කරමිනි. 1998 වෙද්දී, ඇමෙරිකාව සහ රුසියාව, සෙසු අභ්‍යවකාශ ආයතන ද හවුල් කර ගනිමින්, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීම අවසන් කර තිබුණි. 

නාසා ආයතය යළි යළි භාවිතයට ගත හැකි අභ්‍යවකාශ ෂටල යොදා ගනිමින් ඉදිකිරීම් කළේය. 1981 වසරේ ආරම්භ කළ ෂටල වැඩසටහන විශ්‍රාම යැවීම සිදු වූයේ 2011 වසරේ දී අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකර අවසන් කිරීමෙන් අනතුරුවය. ඒත් ඕනෑම දෙයක අවසානයක් තිබේ. ජාත්‍යන්තර අභ්‍යවකාශයේ ආයු කාලය ද අවසන් වෙමින් පවතී. එය සිදුවනු ඇත්තේ මීළඟ වසර 10 ඇතුළතය. 

2031 වසරේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ 'විශ්‍රාම' යැවීමට බලාපොරොත්තු වන බවත්, භාවිතයෙන් ඉවත් කෙරෙන අභ්‍යවකාශ නැවැතුම්පොළ 'පොයින්ට් නීමෝ' සාගර සොහොනට කඩා වැටීමට සලස්වන බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. සාමාන්‍යයෙන් අක්‍රිය වුණු හෝ පාලනයෙන් ගිලිහුණු හෝ චන්ද්‍රිකා කොටස් සහ රොකට් කැබලි පෘථිවි වායුගෝලය හරහා පහළට එද්දී ගිනි ගෙන දැවී විනාශ වෙයි. ඒවා පොළොවට පතිත වීමට පෙර දැවී අළු වී යයි. 

පසුගිය දා රාත්‍රී අහස දීප්තියෙන් දල්වමින් චන්ද්‍රිකා කැබලි පහළට වැටෙනු විදෙස් මාධධ ඔස්සේ දකින්න ලැබුණි. පසුව අනාවරණය වූයේ ඒවා ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගමේ කුඩා චන්ද්‍රිකා 49 කින් 40 ක කොටස් බවය. එම චන්ද්‍රිකා 40 සූර්ය කුණාටුවක බලපෑම් හේතුවෙන් පාලනයෙන් ගිලිහී පෘථිවි වායු ගෝලයට කඩා වැටී ගිනිගෙන දැවී විනාශ විය. 

අභ්‍යවකාශ නැවැතුම්පොළත් පහළට වැටෙද්දී, ගිනිගෙන දැවෙනු ඇති නමුත් එය මුළුමනින්ම විනාශ නොවෙයි. එය ජනාකීර්ණ ස්ථානයකට පතිත වුවහොත් සිදුවන්නේ මහා විනාශයකි. ඒ අනුව, 2031 වසරේ දී 'පොයින්ට් නීමෝ' සාගර සොහොනට එය කඩා වැටෙන්න සලස්වන බවත්, අභ්‍යවකාශ නැවැතුම්පොළේ අවසානය සාගර පතුළ වනු ඇති බවත් නාසා ආයතනය මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. 

1998 වසරේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ක්‍රියාකාරී වූයේ වසර 15 ක කාලයක් සඳහාය. කෙසේ නමුත් එය වසර 30 තෙක් දීර්ඝ කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. 2031 වසරේ දී ඇමෙරිකන් සහ රුසියන් අභ්‍යවකාශ යානා යොදා ගනිමින් අභ්‍යවකාශ නැවැතුම්පොළ පෘථිවියේ පහළ කක්ෂයට තල්ලු කිරීම සිදු කරන බවත්, ඒ අනුව එය නියමිත ඉලක්කයට පතිත වනු ඇති බවත් නාසා ආයතනය වැඩි දුරටත් පවසා තිබේ.

තවදුරටත් භාවිතයට ගැනීම කළ නොහැකි වන ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ 2031 වසරේ දී, 'පොයින්ට් නීමෝ' සාගර සොහොනට කඩා වැටීමට සලස්වන බව නාසා ආයතනය නිවේදනය කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. පොළොව මට්ටමේ සිට කිලෝ මීටර් 408 ක් ඉහළින් රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතු ආරම්භ වූයේ 1998 නොවැම්බර් 20 වැනිදාය. 

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 150 කි. එහි බර කිලෝ ග්‍රෑම් 444 කි. දිග මීටර් 73 කි. පළල මීටර් 109 කි. එකවර ගගනගාමීන් 7 දෙනකුට නවාතැන් ගැනීමට හැකිය.  නැවැතුම්පොළට සියලු පහසුකම් පිරි විද්‍යාගාර සහ පර්යේෂණාගාර අයත් වෙයි. මාරුවෙන් මාරුවට ගගනගාමීහු අභ්‍යවකාශයේ විවිධාකාරයේ පරීක්ෂණ සිදු කරති. සාරවත් එළවළු කොටුවක් සහ ගෙවත්තක් ද කෘත්‍රිම පරිසරයක් තුළ නිර්මාණය කර තිබේ. ගගනගාමීන්ට ව්‍යායාම කිරීමට ව්‍යායාම මධ්‍යස්ථානයක් ද නැවැතුම්පොළේ ඇත.

රුසියානුවන්ට වෙනම කොටසක් ද මෙහි ඇත. දේශපාලනික වශයෙන් ඇමෙරිකාව සහ රුසියාව අතරේ එදිරිවාදිකම් පැවැතියත්, අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය මිත්‍රශීලීව කටයුතු කරයි. පළමු වරට පසුගිය 2021 වසරේ දී අභ්‍යවකාශ නැවැතුම් පොළේ චිත්‍රපටයක් පවා රෑගත කෙරුණි. එම වික්‍රමයට සම්බන්ධ වූයේ රුසියන් නිළියක සහ අධ්‍යක්ෂවරියෙකි. 

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ සමඟ චීනයේ සම්බන්ධයක් නැත. ඊට හේතුව, චීනය සහ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් අතරේ පවතින එදිරිවාදිකම්ය. මේ වනවිට චීනය වෙනම අභ්‍යවකාශ නැවැතුම්පොළක් උඩු ගුවනේ එකලැස් කරන්නේ ඒ නිසාය. 
1971 වසරේ සිට, 'පොයින්ට් නීමෝ' චන්ද්‍රිකා සොහොනක් ලෙස භාවිතයට ගැනෙන අතර, මේ වනවිට චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා කොටස් ඇතුළු සුන්බුන් 260 කට වැඩි ප්‍රමාණයක් 'පොයිට් නීමෝ' සොහොනේ ගිල්වා තිබේ. ඒවායින් වැඩි ප්‍රමාණයක් රුසියානු අභ්‍යවකාශ යානා අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇතුළු සුන්බුන්ය. ලොව පළමු අභ්‍යවකාශ නැවැතුම්පොළ ලෙස සැලකෙන්නේ 'මීර්' MIR ය.

'මීර්' සෝවියට් දේශය පවතිද්දී රුසියාව විසින් අභ්‍යවකාශයේ රඳවනු ලැබූවකි. 'මීර්' කඩා වැටීමට සැලැස්වූයේ ද 'පොයින්ට් නීමෝ' සොහොනටය. අක්‍රිය වීමෙන් පසු ප්‍රමාණයෙන් කුඩා රුසියානු 'සලියුත්' Salyut අභ්‍යවකාශ නැවැතුම්පොළ 6 ක් ද රුසියන් භාණ්ඩ ප්‍රවාහන සහ ඉන්ධන ප්‍රවාහන අභ්‍යවකාශ යානා 140 ක කොටස් ද සාගර සොහොනට පතිත කර තිබේ. 

යළි භාවිතයට ගත නොහැකි ජපාන භාණ්ඩ ප්‍රවාහන HTV අභ්‍යවකාශ යානා හයක් සහ 'යූල්ස් වර්න්' යන නමින් නම් කළ රොබෝ යානයක් ද 'පොයින්ට් නීමෝ' සොහොනට වැටෙන්න සලස්වා තිබේ. ඊට අමතර ඇමෙරිකාවේ 'ස්පේස් එක්ස්' සමාගමේ රොකට්ටුවක්, යුරෝපා අභ්‍යවකාශ ආයතනයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානා කොටස් ද මෙහි ඇත. 

අක්‍රිය වී විශ්‍රාම යැවෙන අභ්‍යවකාශ යානා සහ අභ්‍යවකාශ නැවැතුම්පොළ පමණක් නොවෙයි; පාලනයෙන් ගිලිහී ගිය රොකට්ටු ආදියත් කෙසේ හෝ මෙම ස්ථානයට පතිත කර තිබේ. චීනය අභ්‍යවකාශයට යැවූ 'ටියැංගොන් 1' නමැති අභ්‍යවකාශ පර්යේෂණාගාරය පාලනයෙන් ගිලිහී එය පොළොවට කඩා වැටීමේ බියක් හටගත්තේ 2018 වසරේදීය. චීනය උපරිම උත්සාහයක් ගනිමින් 'ටියැංගොන් 1' පර්යේෂණාගාරය 'පොයින්ට් නීමෝ' සාගර කලාපය අසල ස්ථානයකට පතිත කළේය. 'ටියැංගොන් 1' හරියටම වැටුණු ස්ථානය දන්නේ චීන විද්‍යාඥයන් පමණි.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom