චීනය විරුද්ධ වුණොත් යුද්ධය අවසන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 7, 2022

චීනය විරුද්ධ වුණොත් යුද්ධය අවසන්

ලෝක සාමය වෙනුවෙන් කැපවී, ඒ බව ලොවට පෙන්වමින්, රුසියාවට විරුද්ධ වෙන්නැයි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් චීනයෙන් ඉල්ලීමක් කර තිබේ. 'කොවිඩ් 19' ආසාදිතයකු වී, සුවය ලබා සිටින ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිඩ්නි නුවරදී විශේෂ දේශනයක් පැවැත්වූ අවස්ථාවේදීය.

'චීනය නිතරම කියනවා ඔවුන් ලෝක සාමය වෙනුවෙන් කැප වී සිටින බව. දැන් වෙලාව ඇවිල්ලා චීනයට ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න. යුක්රේනයේ ස්වෛරීත්වයට ගරු කරමින්, රුසියාවට එරෙහි වෙමින් සාමය වෙනුවෙන් සෙසු රටවල් සමඟ එක් වී කටයුතු කරන්න' යැයි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැහැදිලි කර තිබේ. 

රුසියාවත් යුක්රේනයත් අතර යුදමය තත්ත්වයක් ආරම්භ වීමට පෙර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීනයේ බයිජීං අගනුවරට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවිය. ඒ, බෙයිජීං අගනුවර පැවැත්වුණු ශීත ඔලිම්පික් උළෙලේ ආරම්භක අවස්ථාවට සහභාගි වූ විශේෂ අමුත්තකු ලෙසය. එහිදී චීන ජනාධිපති ජින්පින්, රුසියාවට කොන්දේසි විරහිතව සහාය දෙන බවට ප්‍රතිඥා දුන්නේය. 

ශීත ඔලිම්පික් උළෙල පැවැත්වූයේ පෙබරවාරි 4 සිට 20 දක්වාය. ඒ වනවිට රුසියන් හමුදා සෙබළුන් ලක්ෂයක් උතුරු, දකුණු සහ නැගෙනහිර දෙසින් යුක්රේනය ආක්‍රමණය කර, කඩා වැදී පහර දීමට සූදානමින් සිටියේය. තමන් යුද්ධයක් අපේක්ෂා නොකරන බව රුසියන් ජනාධිපති දිගින් දිගටම පැවැසුවත්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඇමෙරිකන් බුද්ධි අංශ පාදක කර ගනිමින් කියා සිටියේ පෙබරවාරි මාසය අවසන් වීමට පෙර, රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගන්නා බවය.

 ශීත ඔලිම්පික් උළෙල අවසන් වී සිවු දිනකට පසු එනම් පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේන ආක්‍රමණය ඇරැඹුවේය. තමන් යුක්රේනය ආක්‍රමණය කරනවා යැයි රුසියන් ජනාධිපති පුටින්, බෙයිජීං අගනුවරට ගිය අවස්ථාවේදී, චීන ජනාධිපති සමඟ පැවැසූ බවත්, ඔලිම්පික් උළෙල අවසන් වනතුරු එසේ නොකරන්නැයි චීන ජනාධිපති ජින්පින්, පුටින්ගෙන් ඉල්ලීමක් කළ බවත් බටහිර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ. 

බටහිර රටවල් කොතරම් රුසියාවට සම්බාධක පැනැවුවත්, චීනය රුසියාවට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන්නේ නම්, එම සම්බාධක මඟහැර කටයුතු කිරීමට රුසියාවට හැකිවනු ඇත. කෙසේ නමුත් චීනය රුසියාවට විරෝධය දක්වා, බටහිර සමඟ එක් වුවහොත් එය රුසියාවට ගැටලුවක් වනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පැහැදිලි කරති. 

'රුසියන් යුක්රේන අර්බුදයේ දී චීනය මධ්‍යස්ථව සිටීමට උත්සාහ ගන්නා බවක් දැනට පෙනෙනවා. කොන්දේසි විරහිතව සහාය දෙනවා යැයි කීවත්, චීන ජනාධිපති අවස්ථා කීපයකදී රුසියන් ජනාධිපති පුටින්ට පවසා ඇත්තේ යුද්ධය නවත්වන්න ලෙසයි. චීනය රුසියාවට එරෙහි වී ලෝක සාමය වෙනුවෙන් සෙසු රටවලට සහාය දෙනවා නම් රුසියාව පරද්දන්නත් යුක්රේන රුසියානු අර්බුදය නිමා කරන්නත් පුළුවන් වේවි' යැයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර තිබේ. 

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom