දිවීමේ තරගයක් ගැනයි මේ අපූරු කතාව. මේ තරගයට සහභාගී වන තරඟකරුවෝ තිදෙනෙකි. එක් තරගකරුවකු ලොව වේගවත්ම මිනිසා ය. මීටර් 100, 200 සහ මීටර් 400x4 ලෝක වාර්තා පිහිටුවනු ලැබ ඇත්තේ ද ඔහු විසිනි. ඔහු උසේන් බෝල්ට්ය. පැහැදිලිවම උසේන් බෝල්ට් අසාමාන්‍ය හැකියාවක් ඇති මනුෂ්‍යයෙකි. දෙවැනි තරගකරු සාමාන්‍ය මනුෂ්‍යයෙකි. උදේ සවස කාර්යාලයක වැඩ කරන, දරු පවුලක් නඩත්තු කරන සාමාන්‍ය මිනිසෙකි. තෙවැනි තරගකරු එසේ මෙසේ කෙනකු නොවෙයි; එයා ඩයිනසෝරයෙකි. රැප්ටරයෙකි. හරියටම පැහැදිලි කළොත්, වැලොසිරැප්ටරයෙකි.
මේ දිවීමේ තරගය පැවැත්වෙන්නේ මොවුන් තිදෙනා අතරේය. දිනන්නේ කවුරුද? උසේන් බෝල්ට්ද? සාමාන්‍ය මනුස්සයාද? ඩයිනසෝරයාද? දැන් ඔබට වැටහේවි මේක සැබෑ තරගයක් නොවන බව. මේක ඇත්තටම අපූරු සිතුවිල්ලකි. පොසිල විද්‍යාඥයන් රැප්ටර් ඩයිනසෝරයන්ගේ වේගය කොතරම්දැයි කීමට යොදා ගත් උදාහරණයක් පමණි.
අද ඩයිනසෝරයන් ඇත්තේ නැත. ඇත්තේ ඉතිරි වුණු පොසිල අස්ථි කැබැලි පමණි.
ලොව වේගවත් මිනිසා, උසේන් බෝල්ට්, 2009 බර්ලින් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සුපිරි දස්කම් දැක්වූයේ ලොවම මවිතයට පත් කරමිණි. මීටර් 100 තරගයේ දී මීටර් 60, 80 පසු කරද්දී, උසේන් බෝල්ට් පැයට සැතපුම් 27.8 ක උපරිම වේගයකට ළං විය. මෙම තරගයේදී ද ඔහු එසේම වේගයෙන් දුවනු ඇත.
තරගයට සහභාගී වන සාමාන්‍ය මනුස්සයා බොහොම පහසුවෙන් පරාජය කිරීමට උසේන් බෝල්ට් සමත් වනු ඇත. වෛද්‍යවරුන්ට අනුව, අවුරුදු 20 ත් 40 ත් අතර වයසේ සාමාන්‍ය පිරිමියකුට දිවිය හැක්කේ පැයට සැතපුම් 5.9 ක උපරිම වේගයකිනි. ගැහැනු කෙනෙකුට නම් එය පැයට සැතපුම් 5 කි.
උසේන් බෝල්ට් ලොව වේගවත්ම මිනිසා විය හැකි වුවත්, වැලොසිරැප්ටරයා හමුවේ ඔහු වැලොසිරැප්ටරයාගේ ගොදුරක් වනු නිසැකය. හේතුව, වැලොසිරැප්ටරයන්ට පැයට සැතපුම් 27.8 කට වඩා වැඩි වේගයකින් දුවන්න පුළුවනි. අවුරුදු මිලියන 70 කට පෙර, වැලොසිරැප්ටර් ඇතුළු සෙසු රැප්ටර් විශේෂ ජීවත් වෙද්දී උසේන් බෝල්ට් හිටියා නම්, රැප්ටරයන්ගෙන් දුවලා බේරෙන්න බෝල්ට් ට හැකියාවක් ලැබෙන්නේ නම් නැහැ.
පොසිල විද්‍යාඥයන් මෙසේ කියන්නේ පසුගිය දා ඔවුන්ට ස්පාඤ්ඤයෙන් හමුවුණු වැලොසිරැප්ටර් අඩි සලකුණු පාදක කර ගනිමිනි. අඩි සලකුණු වැලොසිරැප්ටරයන් රංචුවකගේ බව තහවුරු වූ අතර, අඩි සලකුණු පිහිටි දුර ප්‍රමාණය අනුව වේගය ගණනය කර තිබේ.
වැලොසිරැප්ටරයන් ප්‍රමුණ සෙසු රැප්ටර් විශේෂ යනු අද අප දකින සිංහයන් මෙන්, කණ්ඩායම් වශයෙන් සතුන් දඩයම් කළ ඩයිනසෝරයන් වර්ගයකි. පොදුවේ ගත් කළ රැප්ටරයන් සැවොම බුද්ධිමත් යැයි පැවැසෙයි.
රැප්ටරයන්, පසුපස ගාත්‍රා එසේත් නැතිනම් පාද ඇවිද්ද, දිවගිය ඩයිනසෝර විශේෂයකි. ජුරාසික් පාර්ක්, ජුරාසික් වර්ල්ඩ් වැනි හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට හරහා ජනප්‍රිය වූ ඩයිනසෝරයකු ලෙස ද රැප්ටරයන් හඳුන්වා දිය හැකිය. දෙපා ඩයිනසෝරයකු වන මොවුන් අයත් වන්නේ 'තේරපෝඩ්' ඩයිනසෝරයන් අතරටය. 'රැප්ටර්' යන්නෙහි අර්ථය 'බිත්තර හොරා' යන්නය. ඩයිනසෝරයන් උරගයන් ලෙස සැලකෙන්නේ නැත. ඔවුන් වඩාත් සමීප කුරුල්ලන්ටය. ඒ ඔවුන්ගේ අස්ථි සැකැසුම අනුවය. උකුස්සන්, රාජාලියන් ආදී ගොදුරු අල්ලා ගන්නා කුරුල්ලන් ද හැඳින්වීමට 'රැප්ටර්' යන නම භාවිතයට ගැනෙයි.
රැප්ටර් ඩයිනසෝරයන්ගේ පාදවල වක ගැසුණු එක් ප්‍රබල නියපොත්තක් ඇති අතර, ගොදුරු කර ගන්නා සතුන්ට පහර දී මරා දැමීම සිදු කළේ මෙම තියුණු නිය ආධාරයෙනි.
දිවීමේ තරගයට සහභාගී වුණු වැලොසිරැප්ටරයන් ජීවත් වූයේ අවුරුදු මිලියන 75 කට පමණ පෙරය. ඒ, මධ්‍යම අසියාවේය. අද මෙම පළාත අයත් වන්නේ මොංගෝලියාවට සහ මොංගෝලියා කාන්තාරයටය. අනෙක් රැප්ටරයන්ට වඩා ඉතා වේගයෙන් ගොදුරු පසුපස දුව ගොස්, වට කරමින් අල්ලා ගැනීමට වැලොසිරැප්ටරයන්ට හැකියාව තිබුණි.
‘වැලොසිරැප්ටර්’ යන්නෙහි අර්ථය ‘වේගවත් හොරා’ යන්නය.
අතීතයේ මිහිමත භීතිය පැතිරූ නව රැප්ටර් විශේෂයක් ගැන ද මේ වනවිට සාක්ෂි හමුවී ඇතැයි පොසිල විද්‍යාඥයෝ පවසති. මෙම රැප්ටරයා ‘ඩෙකෝටාරැප්ටර්’ යනුවෙන් නම් කර තිබේ. නව රැප්ටරයාගේ පොසිල අස්ථි කොටස් සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඇමෙරිකාවේ කැන්සාස් විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥ කණ්ඩායමකටය. ඒ, දකුණු ඩෙකෝටාවේ හෙල්ස් ක්‍රීක් නිම්නයේ කළ කැණීම්වලදීය. මෙම ප්‍රදේශයෙන් මීට පෙර ද ඩයිනසෝර් පොසිල අස්ථි රැසක් හමුවී තිබේ.
මේ රැප්ටරයා ඩොකෝටාරැප්ටර් යනුවෙන් නම් කෙරුණේ ද එහෙයිනි.
මෙම නව රැප්ටරයා, මෙතෙක් හමුවී ඇති සෙසු රැප්ටර් විශේෂවලට වඩා ප්‍රමාණයෙන් විශාලය. නමුත් අනෙක් රැප්ටරයන් සේම ක්‍රියාශීලීය. නපුරුය. මේ සත්වයාගේ දිග මීටර් 17 ට වැඩිය. මේ රැප්ටරයා සෙසු රැප්ටර් විශේෂ සහ ටයිරැනසෝරස් රෙක්ස් වැනි මාංශභක්ෂක ඩයිනසෝරයන් අතරේ ‘අහිමි පුරුකක්’ යැයි විශ්වාස කෙරේ. මෙම රැප්ටරයා ලොව හඳුන්වා දීම කළේ පොසිල විද්‍යාඥ ඩේවිඩ් බර්න්හැම්ය.
රැප්ටරයන් විවිධාකාරයේ වර්ණවලින් සහ ඇතැම් අවස්ථාවලදී පිහාටුවලින් ද පිරුණු ඩයිනසෝර විශේෂයක් බව මේ වනවිට තහවුරු වී ඇත. අද අප දකින කුරුල්ලන් ඩයිනසෝරයන්ගේ මතු පරම්පරාව යැයි ද මතයක් පවතී. එහෙත්, ඩයිනසෝරයන් ජීවත් වූ අවදියේදී පවා පියාඹා යෑමට හැකි කුරුල්ලන් මෙන්ම වර්තමානයේ අප දකින පැස්බරන්, කිවී, සහ එමූ වැනි පියඹා යෑමට නොහැකි කුරුල්ලන්ගේ ආදීතමයන් ද වාසය කළ බවට සාක්ෂි හමුවී ඇත.
ඩ්‍රොමියෝසෝරස් යනුවෙන් හැඳින්වෙන්නේ ද රැප්ටරයෙකි.
අවුරුදු මිලියන 110 සිට 66 තෙක් කාලයේ මේ රැප්ටර් ඩයිනසෝරයා ජීවත් වූ බව පැවැසෙයි. ශක්තිමත්, ක්‍රියාශීලී, මාංශභක්ෂක ඩයිනසෝරයෙකි. නාසය කෙළවරසිට වල්ගය කෙළවරට දිග මීටර් 3 කි. ස මීටර් දෙකකි. බර කිලෝ ග්‍රෑම් 20 ත් 60 ත් අතරේ විය. ඩ්‍රොමියෝසෝරස් පොසිල මුලින්ම හමුවුණේ උතුරු ඇමෙරිකාවෙනි. මොවුන්ගේ පොසිල හමුවී ඇත්තේ ඉතා ස්වල්පයක් පමණි.
රැප්ටරයන් අතරින් විද්‍යාඥයන්ට වැඩියෙන්ම අධ්‍යනය කිරීමට අවස්ථාවක් උදා වූ රැප්ටරයා ඩෙයිනෝසියස් ය. එහෙයින් රැප්ටර් විශේෂ අතරින් ප්‍රසිද්ධතම රැප්ටරයා වන්නේ ද ඩෙයිනෝසියස් ය.
අවුරුදු මිලියන 115 ත් 105 ත් අතර ක්‍රිටෛයිසීය යුගයේ මේ රැප්ටරයා ජීවත් වූ බව පැවැසෙයි. ඇමෙරිකාවේ මොන්ටැනා සහ වයෝමින් යන ජනපදවල කළ කැණීම්වලින් මෙම රැප්ටරයාගේ පොසිල අස්ථි වැඩි වශයෙන් හමුවිය. දිග මීටර් 3 ක් පමණය. බර කිලෝ ග්‍රෑම් 60 ක් හෝ 70 කි.
හොඳින් වැඩුණු මිනිසකු තරමට ලොකුය. ඩෙයිනෝසියස් රැප්ටරයන් ද වර්තමානයේ සිංහයන්, වෘකයන් සේ රංචු වශයෙන් දඬයම් කළ බවට සාක්ෂි හමුවී ඇත. මුලින්ම ඩෙයිනෝසියස් පොසිල අස්ථි හමුවුණේ 1930 දීය. එම අස්ථි පරීක්ෂා කළ පොසිල විද්‍යාඥයන් සිතුවේ ඩයිනසෝරයන් මන්දගාමී, කුඩා මොළයක්
෴ උපුටා ගැනීම - The Sun