![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCgxzCUkaPGhTJwUpxlri0dDG4wndZt0lOKneCvW05iMUf8Ud2jOBGm8RMGh2JusiR5ISf7TuuVRDUhNoB5qMpkH5AOqiuWg0z_oWkVBpoeMd9FpCcbYB-wL7HCWJBla9gXnPGVCulb7u8ylmIQzofSF0vgCPyJfPPg7vTS5fGZHdmuVFsZsLxYwWdQw/s16000/%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%92-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%8A.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcSwU_wkUwBP4-bT1erxK490uCaYprjPa30G1RcKkAHkw80bkxAJ23r1qxZe3aBg3wDa6Kqsj9c2MA_Q9y1QPfJnO1NTxyi5hCNCDZ34pa88l5DYSlqsHdacgnxzoilwwp4H10ojn6IaqFY9RadOUpiEyTZce0tooCclEVzmpNsUMDttgTXLkh0YdGrg/s16000/Pic-002.jpg)
ජීවන වියදම ඉහළ ගොස් පීඩාවට පත් වූ ඕස්ට්‍රේලියානුවන් 'වෙනසක්' අපේක්ෂා කරන බවත්, ඒ 'වෙනස' ඔවුන්ට ලබා දීමට තමන් පියවර ගන්නා බවත් මහ මැතිවරණය ජය ගත් කම්කරු පක්ෂයේ නායක ඇන්තනි ඇල්බනීස් පවසයි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය වූ කම්කරු පක්ෂය, ඊයේ (21) පැවැති මහ මැතිවරණයෙන්, අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂය පිහිටුවාගෙන තිබූ මධ්‍ය දක්ෂිණාංශික කොන්සවර්ටිව් සන්ධාන රජය පරාජය කරමින් බලය තහවුරු කර ගත්තේ වසර 9 කට පසුවය.
“ලැබූ ජයග්‍රහණය මා නිහතමානීව පිළිගන්නවා. ඕස්ට්‍රේලියානුවන් වෙනසක් අපෙක්ෂා කළා. ඔවුන් කම්කරු පක්ෂයට ඡන්දය දුන්නේ ඒ නිසයි. ඒ වෙනස ඔවුන්ට ලබා දෙන්න මා සූදානම්.” යැයි ජයග්‍රහණයෙන් පසු සිය ආධාරකරුවන් අමතමින්, 59 හැවිරිදි ඇන්තනි ඇල්බනීස් ප්‍රතිඥා දුන්නේය.
දේශගුණික විපර්යාස පිටුදකීමට කඩිනමින් පියවර ගැනීමටත්, ඕස්ට්‍රේලියානු මුල් පදිංචිකරුවන්ගේ අයිතීන් සුරැකීමටත්, දේශපාලන දූෂණ මර්දනය කිරීමටත් ඇන්තනි ඇල්බනීස් ප්‍රතිඥා දී ඇත. බෙදුණු ඕස්ට්‍රේලියාවක් වෙනුවට එක්සත් ඕස්ට්‍රේලියානුවක් නිර්මාණය කිරීම තම අපේක්ෂාව යැයි ද ඇන්තනි ඇල්බනීස් පවසා තිබේ.
ඇන්තනි ඇල්බනීස් පරිණත දේශපාලනඥයකි. 2007 සිට 2010 තෙක් කාලයේ ඔහු ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, ඉන්පසු 2013 තෙක් කාලයේ යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය. 2013 දී කම්කරු පක්ෂ නියෝජ්‍ය නායක ධුරයත් හිමිවිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijJE32neW6Vs-58mLgj7s5iBI8wrUlDJUKWoSIK6hEscFxggqI9BSJSUOq7p4HyvRAUyKuz69vTScEZqXw1PAEwEwLWYfq8Mx7yylIA07L7VSFku4ozM-JcDedCyWTUMXWxGkjcIjoxIE2-rfwF1a5B5L0xp_j8QiJRxnPQt9ztFI3REhVf5A5cWUhbQ/w640-h348/_124851907_australian_elections-03-nc.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOUiFL73-c0J7eHUzoZDtstBGMROQ4BiWD0W-sweGWocy-XLKKDd2ff-P8sWE1V5NzA_fI86QnZjTIUmqlNJLs5MyKPdbHeDRuRnaoaSYeYbaTJSGPRqr-5q-SqNVJE5rjRa--DnSkQnFXSFtMAxIYNhTF-tPsMurWqJalSiAFccEFHfh2Hwx7hrk2Pw/s16000/Australia-003.jpg)
පරාජය බාරගත් අග්‍රාමාත්‍ය මොරිසන්, බිරිඳ සහ දියණියන් සමඟ
එම වසරේ ම 2013 ජූනි 27 සිට සැප්තැම්බර් 18 දක්වා ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ ද ඇන්තනි ඇල්බනීස් ය.
2019 වසර ඇන්තනි ඇල්බනීස්ගේ ජීවිතයේ පෙරැළි රැසක් සිදුවුණු වසරක් ලෙස සැලකෙයි.
ඇන්තනි ඇල්බනීස් කම්කරු පක්ෂයේ නායකත්වයට පත් වූයේ 2019 වසරේදීය. ඇන්තනි ඇල්බනීස් සිය බිරිඳ කාමෙල් ටෙබ්බට්ගෙන් දික්කසාද වූයේ 2019 දීය. කාමෙල් ටෙබ්බට්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නියෝජ්‍ය නායිකාව දලෙස කටයුතු කරයි.
2019 දී පක්ෂ නායකත්වයෙන් ඇන්තනි ඇල්බනීස් පෙරළා දැමීමට කුමන්ත්‍රණ පවා සිදුවුණු නමුත් ඒවා පරාජය කිරීමට ඔහු සමත් විය.
2019 වසරේ දී ඇන්තනි ඇල්බනීස් මාරක රිය අනතුරකට ගොදුරු විය. බරපතල තුවාල ලබා රෝහල්ගතව මරණ මංචකයේ සිටිද්දී ඇන්තනි ඇල්බනීස් සිය ජීවිතය වෙනස් කර ගැනීමට තීරණය කළේය. ඔහු ආහාර පාලනය කරමින් සිරුරේ බර අඩු කර ගත්තේය.
ඇන්තනි ඇල්බනීස් සුවය ලබා යළි දේශපාලනයට පිවිසුණේ සිතුවිලිවලින් පමණක් නොව පෙනුමින් ද වෙනස් පුද්ගලයකු ලෙස යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ජනතා විශ්වාසය දිනා ගනිමින් කම්කරු පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යෑම ඇරැඹුණේ ඒ අනුවය.
කාමෙල් ටෙබ්බට්ගෙන් දික්කසාද වූ ඇන්තනි ඇල්බනීස්ගේ පෙම්වතිය වී සිටින්නේ 43 හැවිරිදි ජෝඩි හේඩන්ය. ජයග්‍රහණය සමරමින් ඇන්තනි ඇල්බනීස් සිය පක්ෂ ආධාරකරුවන් හමුවට ගියේ පෙම්වතිය ජෝඩි, 21 හැවිරිදි පුතු ඇන්තනි සහ මැලේසියානු සම්භවයක් ඇති කම්කරු පක්ෂයේ සෙනෙට් සභික පෙනී වොංග් ද සමඟය. පෙනී වොංග්, ඇන්තනි ඇල්බනීස්ගේ සමීපතමයෙකි. ඇන්තනි, ඇන්තනි ඇල්බනීස් සහ කාමෙල් ටෙබ්බට්ගේ පුත්‍රයාය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheLjz2Qfoaw2-8ePcJttn8ONwGPs4MGi5yURSe1J3TYr1tDvXJ7Xy3G6nuZWcPe9hoVbdvvVVmdmZnT27l4LUt0WiEjtelnr6812-mqce0mdEK6hE8M7hPiboF1-UhXv_hUBLSAd7mVVwn4zYtuLBSbyQAprPbWzwqdp05c5NE9Ol3AWnQ5klRjQM_Hw/s16000/Australia-002.jpg)
කම්කරු පාක්ෂයේ පාක්ෂිකයන් සහ සමීපතමයන් බොහෝ දෙනකු ඇන්තනි ඇල්බනීස් හඳුන්වන්නේ 'අල්බෝ' යන කෙටි නාමයෙනි.
ඇන්තනි ඇල්බනීස්, පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1996 දීය. එදා ඔහු පාර්ලිමේන්තුවේ මංගල කතාව කළ අවස්ථාවේ, ඔහුගේ මව මේරීන් එලේරේට ස්තුති කළේය.
මේරීන් එලේරේ, සිය එකම පුතු ඇන්තනි ඇල්බනීස් හදාවඩා ගත්තේ සිඩ්නි නුවර, කම්කරු පංතියේ, තනිකඩ මවක ලෙසිනි.
මේරීන්, කුඩා කළ සිටම ඇන්තනි ට පවසා ඇත්තේ ඇන්තනිගේ පියා කාර්ලෝ ඇල්බනීස් මියගිය බවය. කාර්ලෝ ඇල්බනීස් ඉතාලි ජාතිකයෙකි. කෙසේ නමුත් ඒ වනවිටත් කාර්ලෝ ජීවතුන් අතර සිටියේය.
කාර්ලෝ ඇල්බනීස් ජීවතුන් අතර සිටින බවට හෝඩුවාවක් ලැබීමත් සමඟ ඔහු සොයා යමු යැයි තම පියාට යෝජනා කළේ පුතු නේතන්ය. ඒ අනුව, එක් පැරැණි ඡායාරූපයකින් තොරතුරු රැස් කර ගනිමින්, දැඩි වෙහෙසක් දරා, කාර්ලෝ ඇල්බනීස් සොයා ගැනීමට පිය පුතු දෙදෙනා සමත් විය. ඒ 2014 දී කාර්ලෝ ඇල්බනීස් මියයෑමට මාස කීපයකට පෙරය. ඒ වනවිට කාර්ලෝස් ඇල්බනීස් ජීවත් වූයේ ඉතාලියේ බර්ලෙටා නගරයේය.
෴ උපුටා ගැනීම - Daily Mail