‘ජුරාසික් පාර්ක්’ සිට ‘ජුරාසික් වර්ල්ඩ්’ දක්වා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 11, 2022

‘ජුරාසික් පාර්ක්’ සිට ‘ජුරාසික් වර්ල්ඩ්’ දක්වා

ස්ටීවන් ස්පීල්බර්ග් යනු අසමසම, සම්මානනීය, නරඹන්න්ගේ පමණක් නොව සිනමා විචාරකයන්ගේ ද ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වූ හොලිවුඩ් අධ්‍යක්ෂවරයෙකි. ස්පීල්බර්ග් චිත්‍රපටවල සෑම රූප රාමුවක් ම වැදගත්ය. ඒ සෑම රූප රාමුවකින්ම ඔහු නරඹන්නන් අමන්දානන්දයට පත් කරයි. 

චිත්‍රපටයක කතාව, අඩුත් නැතිව වැඩිත් නැතිව ඉතාමත් කලාත්මක ආකාරයට නරඹන්නන්ට ඉදිරිපත් කරන්නේ ඒ සිනමා රූප නරඹන්නන්ගේ සිත් තුළට කා වද්දමිනි. මීට වසර 29 කට පෙර, එනම් 1993 තිරගත වුණු ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටය ද එවැනි සුවිශේෂී නිර්මාණයකි. එහි ඇතැම් දසුන් තවමත් අප සිත් තුළට කා වැදී ඇත්තේ ස්පීල්බර්ග් දක්ෂ සිනමාකරුවකු වන බැවිනි. 

එදා එනම් 80 දශකය අවසානයේත් 90 දශකය ආරම්භයේත් පැවැති පරිගණක තාක්ෂණය සහ විශේෂ ප්‍රයෝග ශිල්ප ක්‍රම භාවිතයෙන් ස්පීල්බර්ග් ඩයිනසෝරයන්ට පණ දෙමින්, ජුරාසික් පාර්ක් නිර්මාණය කළේ නරඹන්නන් තැති ගන්වමිනි. බිහිසුණු සිදුවීම් මැද නරඹන්නන්ගේ සිත්වලට සැහැල්ලුවක් ගෙන දෙමින් සියුම් උපහාසයක් ද ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයට එක් කිරීමට ස්පීල්බර්ග් සමත් විය. ස්පීල්බර්ග්ගේ දක්ෂතාව මෙයයි. 
යුනිවර්සල් චිත්‍රාගාරයේ නිෂ්පාදනයක් වන ‘ජුරාසික් පාර්ක්’, ආදායම් වාර්තා බිඳ දැමුවා පමණක් නොවෙයි; විචාරකයන්ගේ පැසැසුමටත් ලක් විය. අද පරිගණක ප්‍රයෝග ඇසුරින් නිර්මාණය වන චිත්‍රපටවලට පමණක් නොව; අලුතින් නිර්මාණය වුණු ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටවලට නොදෙවැනි අයුරින් ‘ජුරාසික් පාර්ක්’ නිර්මාණය ඇත. 
හොලිවුඩ් සිනමා වංශකතාවේ සන්ධිස්ථානයක් ලෙස ද ‘ජුරාසික් පාර්ක්’ සැලකෙයි. කුඩා කළ අපට ‘ජුරාසික් පාර්ක්’ නරඹන්න අවස්ථාව ලැබුණේ පාසලෙනි. ඒ, අධ්‍යාපන චිත්‍රපටයක් ලෙස සිනමාහල්වලට රැගෙන ගොස් එය නැරැඹීමට අවස්ථාව උදා කර දෙමිනි. 

‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයට පාදක වූයේ ඇමෙරිකන් විද්‍යා ප්‍රබන්ධකරුවකු වන මයිකනල් ක්‍රිච්ටන්ගේ ‘ජුරාසික් පාර්ක්’ නවකතාවය. ජනප්‍රිය හොලිවුඩ් නළුවන් වන සෑම් නීල්, ලෝරා ඩර්න්, ජෙෆ් ගෝල්ඩ්බ්ලම් චිත්‍රපටයේ ප්‍රධාන චරිත විය. ඒ, ඇලන් ග්‍රාන්ට්, එලී සැට්ලර් සහ ඉයන් මැල්කම් යන සදා මතකයේ රැදෙන චරිතවලට පණ දෙමිනි. 

1993 වසරේ ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ යුනිවර්සල් චිත්‍රාගාරය, 1997 වසරේදී ‘ජුරාසික් පාර්ක් 2 ද ලොස්ට් වර්ල්ඩ්’ තිරගත කළේය. මෙය ද මයිකල් ක්‍රිච්ටන්ගේ නවකතාවක් පාදක කර ගනිමින් ස්පීල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූවකි. 
ජුරාසික් පාර්ක් චිත්‍රපටයෙන්
‘ජුරාසික් පාර්ක්’ මෙන් නොව මෙම දෙවැනි චිත්‍රපටය විචාරකයන්ගේ පැසැසුමට ලක් නොවිණි. එසේ වුවත් එය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීය. ත්‍රාසය පිරි සැබැවින්ම අපූරු සිනමා නිර්මාණයක් විය. ‘ජුරාසික් පාර්ක්’ පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ජෙෆ් ගෝල්ඩ්බ්ලම් මෙම දෙවැනි ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයට එක් වූයේ ඉයන් මැල්කම්ගේ චරිතය යළි රඟ දක්වමිනි. 

 තෙවැනි ජුරාසික් පාර්ක් චිත්‍රපටය 2001 වසරේ දී තිරගත විය. මෙය තවත් ජනප්‍රිය හොලිවුඩ් අධ්‍යක්ෂවරයකු වන ජෝ ජොන්ස්ටන්ගේ නිර්මාණයකි. චිත්‍රපටයේ නිෂ්පාදකවරයකු ලෙස ස්ටීවන් ස්පීල්බර්ග් සම්බන්ධ විය. සෑම් නීල්, 1993 වසරේ ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයෙන් පසු යළි ඇලන් ග්‍රාන්ට් ලෙස මෙම චිත්‍රපටයට එක් විය. 

‘ජුරාසික් පාර්ක් 3’ බොක්ස් ඔෆිස් චිත්‍රපටයක් වුවත් එය නරඹන්නන්ගේ හෝ සිනමා විචාරකයන්ගේ හෝ පැසැසුමට ලක්වූවක් නොවිණි. ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපට ත්‍රිත්වය ඒ අනුව අවසන් විය. 2015 දී, නව පරිගණක තාක්ෂණයත්, 1993 වසරේ කළාක් මෙන් රොබෝ තාක්ෂණයත් යොදා ගනිමින්, ඩයිනසෝරයන් යළි රිදී තිරයට ගෙන ඒමට යුනිවර්සල් චිත්‍රාගාරය පියවර ගත්තේ ‘ජුරාසික් වර්ල්ඩ්’ යන නමිනි. 
ජුරාසික් පාර්ක් 3 ...
ජනප්‍රිය සිනමාකරුවකු ලෙස සැලකෙන කොලින් ට්‍රෙවෙරෝව් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ අතර, අද ජනප්‍රිය හොලිවුඩ් නළු නිළි යුවළක වන ක්‍රිස් ප්‍රැට් සහ බ්‍රයිස් ඩලාස් හොවාර්ඩ් ප්‍රධාන චරිතවලට පණ දුන්නේ ඕවන් සහ ක්ලෙයාර් ලෙසිනි. 

‘ජුරාසික් වර්ල්ඩ්’ නව පරපුරේත්, අතීතයේ ‘ජුරාසික් පාර්ක්’ නැරැඹූ පරණ පරපුරේත් අවධානයට ලක් විය. චිත්‍රපටය සාර්ථක වූවා පමණක් නොව, බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීය. පැරැණි ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටවල නොදුටු දෙයක් ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටයෙන් දකින්න ලැබීම ඊට හේතුවය. 

එයින් එකක්, ඕවන් සහ ඔහු විසින් අණ දී පුරුදු පුහුණු කළ රැප්ටරයන්ය. ඒ අතරින් ඕවන්ගේ ආදරයට ලක් වූ බ්ලූ නැමැති රැප්ටරයා නරඹන්නන්ගේ ද ආදරයට ලක් විය. ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටයේ 'නපුරු ඩයිනසෝරයා' වූයේ ‘ඉන්ඩොමිනස් රෙක්ස්’ නමැති දෙමුහුම් විකෘති සත්වයාය. 

චිත්‍රපටය අවසානයේ ඕවන්, බ්ලූ සහ අනෙක් රැප්ටරයන්, 'ඉන්ඩොමිනස් රෙක්ස්' සමඟ කළ සටනත්, ඉන්පසු ඩයිනසෝර ලොවේ රජු ලෙස සැලකෙන ටයිරැනසෝරස් රෙක්ස් එසේත් නැතිනට් ටී රෙක්ස්, බ්ලූ සමඟ සහයෝගයෙන් 'ඉන්ඩොමිනස් රෙක්ස්' පරාජය කිරීමට කළ සටනත් නරඹන්නන්ට නැවුම් අත්දැකීමකි. ‘ජුරාසික් වර්ල්ඩ්’ සාර්ථකත්වයට හේතුවුණු දෙවැනි කරුණ මෙයයි. 

‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපට හරහා ‘නපුරු ඩයිනසෝරයන්’ ලෙස නරඹන්න් අතරට ආ රැප්ටරයන් සහ ටී රෙක්ස් ‘වීරයන්’ කිරීමට කොලින් ට්‍රෙවෙරෝව් සමත් වූ අතර යුනිවර්සල් චිත්‍රාගාරයට ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපට මාලාවකට යෑමට එය පන්නරයක් ද විය‍. ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයේ ජානමය වෙනස්කම් කරමින් ඩයිනසෝරයන් බිහි කළ විද්‍යාඥ ආචාර්ය වූ ද ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටයෙන් යළි දකින්න ලැබුණි.

ඒ අතීත මතකයන් අලුත් කරමින් මෙන්ම, ‘ජුරාසික් පාර්ක්’ සහ ‘ජුරාසික් වර්ල්ඩ්’ සම්බන්ධ කරමින්ය. ආචාර්ය වූගේ චරිතයට පණ පොවන්නේ හොලිවුඩ් නළු බීඩි වෙංග් ය. දෙමුම් සත්වයකු ලෙස ‘ඉන්ඩොමිනස් රෙක්ස්’ නිර්මාණය කරන්නේ ද ආචාර්ය වූ ය. 2018 දී ‘ජුරාසික් වර්ල්ඩ්’ දෙවැන්න ‘ෆෝලන් කිංඩම්’ තිරගත කෙරුණි. කොලින් ට්‍රෙවෙරෝව් වෙනුවට ‘ෆෝලන් කිංඩම්’ අධ්‍යක්ෂණය කළේ ජේ.ඒ. බයෝනාය. 
ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයෙන් ...
‘ජුරාසික් වර්ල්ඩ්’ තරම්, ‘ෆෝලන් කිංඩම්’ සාර්ථක නොවිණි. ඒ, ඇති තරම් ඩයිනසෝරයන් චිත්‍රපටයේ දකින්න ලැබුණත්, චිත්‍රපටය හුදෙක් මුදල් ඉපැයිමේ අරමුණින් පමණක් නිර්මාණය කරන ලද්දක් බව නරඹන්නන්ට ඒත්තු යෑමය. එපමණක් නොව, නරඹන්නන්ට අලුත් දෙයක් දීමට ‘ෆෝලන් කිංඩම්’ සමත් වූයේ ද නැත. 

ක්‍රිස් ප්‍රැට් සහ බ්‍රයිස් ජලාස් හොවාර්ඩ් ඕවන් සහ ක්ලෙයාර් ලෙස යළි ‘ෆෝලන් කිංඩම්’ චිත්‍රපටයට එක් වූහ. ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයේ ඩයිනසෝර උද්‍යානය නිර්මාණයේ දී ජොන් හැමබ්ගේ හවුල්කරු ලෙස කටයුතු කළ බෙන්ජමින් ලොක්ඩුඩ් නමැති බිලියනපතියා ද ‘ෆෝලන් කිංඩම්’ හරහා හඳුන්වා දීම සිදුවිය. 

ජෝන් හැමඩ් ලෙස ජුරාසික් පාර්ක් චිත්‍රපටයට රංගනයෙන් එක් වූයේ රිචඩ් ඇටන්බරෝය. ඔහු අද සැබෑ ජීවිතයෙන් ද සමුගෙන තිබේ. ‘ෆෝලන් කිංඩම්’ බෙන්ජමින් ලොක්ඩුඩ්ගේ චරිතයට පණ පොවන්නේ ජේම්ස් ක්‍රොම්වෙල්ය. බෙන්ජමින් ලොක්වුඩ් ට අමතරව, ‘ෆෝලන් කිංඩම්’ හරහා ලොක්ඩුඩ්ගේ මිණිබිරිය යැයි පවසමින්, ක්ලෝනකරණයෙන් නිර්මාණය කළ දැරියක වන මෙසී ලොක්වුඩ් ද හඳුන්වා දීම සිදුවිය. 
ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කිංඩම්
ආචාර්ය හෙන්රි වූ නිර්මාණය කළ ‘ඉන්ඩෝරැප්ටර්’ නම් ඩයිනසෝරයා චිත්‍රපටයේ ‘ඩයිනසෝර් නපුරා’ ය. ඕවන්, ‘ඉන්ඩෝරැප්ටර්’ සමඟ සටන් කරන්නේ බ්ලූගේ උදව්වෙනි. ‘ෆෝලන් කිංඩම්’ අවසන් වෙද්දී, ඩයිනසෝර උද්‍යානයේ සිටි සහ නුබ්ලා දූපතෙන් බේරාගත් ඩයිනසෝරයන් ද නිදැල්ලේ ලොව පුරා ව්‍යාප්තවීම ආරම්භ විය. ජූනි 10 වැනිදා සිට ලොව පුරා තිරගතවීම් ආරම්භ කළ ‘ජුරාසික් වර්ල්ඩ් ඩොමිනියන්’ චිත්‍රපටයේ කතාව ඇරැඹෙන්නේ ඒ අනුවය. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom