ඉන්දියාවේ නව ජනපති ද්‍රෞපදී මුර්මු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 22, 2022

ඉන්දියාවේ නව ජනපති ද්‍රෞපදී මුර්මු

අප පාර්ලිමේන්තුව රැස්වී, අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කර ගනිද්දී, අසල්වැසි ඉන්දියාවේ ද ජනාධිපතිවරණයක් පැවැත්විණි. ඒ, එරට 15 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමටය. ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට, ඓතිහාසික ජයක් අත්පත් කර ගැනීමට සමත් වූයේ කාන්තාවකි. ඇය 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ය. 

ද්‍රෞපදී මුර්මු, ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවකි. ඒ අනුව, ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක විශිෂ්ට ජයක් හිමි කර ගනිමින්, ජනාධිපති ධුරයට පත් වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු ඡන්දයෙනි. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලෝක් සභාව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) සහ රාජ් සභාව (ඉහළ මන්ත්‍රී මණ්ඩලය) ආදී වශයෙන් කොටස් දෙකකි. 

ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ, ලෝක් සභාවේත්, රාජ් සභාවේත් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන්ගේ ඡන්දයෙනි. වැඩි බලතල අග්‍රාමාත්‍යවරයා සතු වුවත්, ඉන්දීය ජනාධිපතිවරයාගේ කාර්යභාරය ඉතා වැදගත්ය. 

ඉන්දීය විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ආකෘතික නායකයා වන්නේ ජනාධිපතිවරයාය. ඉන්දියානු සන්නද්ධ හමුදා සේනාධිනායකයා වන්නේ ද ජනාධිපතිවරයාය. ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වෙයි. 

ජනාධිපතිවරණය පැවැත් වූයේ පසුගිය 18 වැනිදාය. ඒ, ඉන්දීය ජනාධිපති ධුරයේ කටයුතු කරන රාම් නාත් කෝවින්ද්ගේ ධුර කාලය අවසන් වන බැවිනි. රාම් නාත් කෝවින්ද්ගේ ධුර කාලය අවසන් වන්නේත් ද්‍රෞපදී මුර්මු නව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේත් ලබන 25 වැනිදාය. 

ද්‍රෞපදී මුර්මු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමිනි. මුර්මුගේ ප්‍රතිවාදියා වූයේ එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂක 84 හැවිරිදි යෂ්වාන්ත් සිංහා ය. 

18 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ජයග්‍රාහකයා කවුරුන්දැයි ප්‍රකාශ කිරීම 21 වැනිදා සිදුවිය. ඒ, වට හතරක් ඡන්දය ගණන් කිරීමෙන් පසුවය. ඒ සෑම වටයකින්ම ඉදිරියට පැමිණියේ ද්‍රෞපදී මුර්මු ය.
ඉන්දියාවේ ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඉන්දීය ජනාධිපති ධුරයට පත් වුණු කාන්තාව ප්‍රතිභා පාතිල් ය. ඇය ඉන්දියාවේ 12 වැනි ජනාධිපතිවරයා වූ අතර ඇගේ ධුර කාලය 2007 සිට 2012 දක්වාය. ප්‍රතිභා පාතිල් ඉන්දීය කොංග්‍රස් පක්ෂ සාමාජිකාවකි; නීතීඥවරියකි. 

ද්‍රෞපදී මුර්මු භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවක වන අතර ඇය ගුරුවරියක ද වෙයි. 2015 සිට 2021 තෙක් කාලයේ ජර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළේ ද ඇයයි. ජයග්‍රහණය තහවුරු වීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ද්‍රෞපදී මුර්මු හමුවී ඇයට සුබ පැතුවේය. 

ද්‍රෞපදී මුර්මුගේ ප්‍රතිවාදියා වූ යෂ්වාන්ත් සිංහා භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයෙකි. ජනපති ධුර අපේක්ෂකයකු ලෙස ජනපති සටනට එක් වෙද්දී ඔහු නියෝජනය කරමින් සිටියේ ත්‍රිණමූල් කොංග්‍රසයයි. 1990 සිට 1991 වසර තෙක් කාලයේත් 1998 සිට 2002 ජූලි මාසය දක්වාත් යෂ්වාන්ත් සිංහා ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඒ අග්‍රාමාත්‍ය චන්ද්‍ර ශේකර් සහ අතල් බිහාරි වජ්පායි අග්‍රාමාත්‍යවරුන් යටතේය. 

2002 සිට 2004 තෙක් කාලයේ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූයේ යෂ්වාන්ත් සිංහා ය. ඉන්දියාවේ උප ජනාධිපති ධුරය සඳහා ද පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වෙයි. ඒ එලඹෙන අගෝස්තු මාසයේය. මෙවර උප ජනාධිපති ධුරය සඳහා පාලක පක්ෂ සන්ධානයෙන් ජග්දීප් දන්කාර් සහ විපක්ෂ සන්ධානයෙන් මාග්‍රට් අල්වා ඉදිරිපත් වීමට නියමිතය.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom