Predator චිත්‍රපට මාලාවට එක්වුණු Prey - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 6, 2022

Predator චිත්‍රපට මාලාවට එක්වුණු Prey

ක්‍රියාදාම නළු ආනොල්ඩ් ෂ්වෝට්නෙසගර් Arnold Schwarzenegger ප්‍රධාන චරිත නිරූපණය කරන මීට වසර 35 කට පෙර, 1987 වසරේ තිරගත වුණු ‘ප්‍රෙඩෙටර්’ Predator චිත්‍රපටය 80 දශකයේ හොලිවුඩ් සිනමාවේ දැවැන්ත ක්‍රියාදාම චිත්‍රපටයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 

චිත්‍රපටය ජෝන් මැක්ටියර්නන්ගේ John McTiernan අධ්‍යක්ෂණයකි. ‘ප්‍රෙඩෙටර්’ Predator නමැති පිටසක්වළයාගේ චරිතයේ නිර්මාතෘ දෙපළ වන්නේ තිර පිටපත් රචක අයියා මලෝ - ජිම් තෝමාස් Jim Thomas සහ ජොන් තොමාස් John Thomas ය. හොලිවුඩේ දැවැන්ත බොක්ස් ඔෆිස් චිත්‍රපට කීපයක තිර පිටපත් නිර්මාණය කර ඇත්තේ ද මොවුන් ය. Executive Decision (1996), Wild Wild West (1999), Behind Enemy Lines (2001) එවැනි චිත්‍රපට කීපයකි.
කෙවින් පීටර් හෝල් ‘ප්‍රෙඩෙටර්’ ලෙස
‘ප්‍රෙඩෙටර්’ Predator නමින් අද වනවිට කා අතරේත් ප්‍රකට පිටසක්වළ ජීවී දඩයම්කරු මුලින්ම දකින්න ලැබෙන්නේ 20th Century Fox චිත්‍රාගාරයේ 1987 ‘ප්‍රෙඩෙටර්’ Predator චිත්‍රපටයෙනි. ‘ප්‍රෙඩෙටර්’ චරිතයේ උපත එයයි. ‘ප්‍රෙඩෙටර්’ Predator චරිතය, චිත්‍රකතාවකින් හෝ විද්‍යා ප්‍රබන්ධ නවකතාවකින් හෝ බිහිවූවක් නොව, 20th Century Fox චිත්‍රාගාරයේ ‘ප්‍රෙඩෙටර්’ Predator චිත්‍රපටයේ තිර රචනය හරහා බිහිවූවකි.

මධ්‍යම ඇමෙරිකාවේ වැසි වනාන්තරයක තුළ ගරිල්ලා සටන්කාමීන්ගේ කඳවුරක සිටින ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට, යන ඩච් (Arnold Schwarzenegger) සහ ඔහුගේ හමුදා කණ්ඩායම, ‘ප්‍රෙඩෙටර්’ Predator නමැති පිටසක්වළ ජීවියාට මුහුණ දෙන අයුරු සහ අවසානයේ ඩච් තනිවම සිය කාය ශක්තියෙන් සහ උපායශීලීව ‘ප්‍රෙඩෙටර්’ පරදවන ආකාරය 1987 ‘ප්‍රෙඩෙටර්’ Predator චිත්‍රපටයේ කතාවයි. 

මෙය 80 දශකයේ එළිදැක්වුණු ආනොල්ඩ් ෂ්වෝට්නෙසගර්ගේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටවලින් එකකි. 1987 ‘ප්‍රෙඩෙටර්’ චිත්‍රපටයේ තිර රචනය ලියැවුණේ 1984 දීය. පළමුවෙන් පිටසක්වළ ජීවියා ලෙස එවකට හොලිවුඩයේ ජනප්‍රිය සටන් නළු ජෝන් ක්ලෝඩ් වැන් ඩෑම් සම්බන්ධ කර ගැනීමට තීරණය කෙරුණත් වාසනාවකට එය එසේ නොවිණි. චිත්‍රපටයේ තිර පිටපත සකස් වෙද්දී, ‘ප්‍රෙඩෙටර්’ගේ පෙනුම උරගයකුට සමාන විය. එසේ වූවා නම් ‘ප්‍රෙඩෙටර්’ Predator  අසාර්ථක වීමට ඉඩ තිබුණි.

හොලිවුඩයේ විශේෂ වේශ නිරූපණ ශිල්පී ස්ටෑන් වින්ස්ටන් Stan Winston චිත්‍රපටයට සම්බන්ධ වී සිටි අතර, ‘ප්‍රෙඩෙටර්’ගේ චරිතය රඟ දැක්වීමට අඩි 7 ක් උස දැවැන්තයකු වූ ඇමෙරිකන් කළු ජාතික නළු කෙවින් පීටර් හෝල් Kevin Peter Hall තෝරා ගැණුනි. ඇමෙරිකන් ඩොලර් මිලියනව 15 ක මුදලකින් චිත්‍රපටය නිර්මාණය කෙරුණු අතර, 1987 ජූනි 12 වැනිදා එය තිරගත විය. ලැබූ ආදායම මිලියන 98.3 කි. 

කවුරු මොනවා කීවත්, කුමන අඩුපාඩු තිබුණත් 80 දශකයේ හොඳම ක්‍රියාදාම විද්‍යා ප්‍රබන්ධයක් ලෙස 1987 ‘ප්‍රෙඩෙටර්’ Predator සැලකෙයි. චිත්‍රපටයේ සංගීතය, ආනොල්ඩ් ෂ්වෝට්නෙසගර්ගේ තනි දෙබස් (One Liners) මතකයේ රැදෙයි. පළමු ‘ප්‍රෙඩෙටර්’ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසා ම, 1990 දී Predator 2 තිරගත විය. ලොස් ඇන්ජලීස් නගරයේ කොන්ක්‍රීට් වනාන්තරයේ, සන්නද්ධ කුඩු ජාවාරම් කල්ලි සහ පොලිස් නිලධාරීන් අතරේ සටනට මැදිවී දඩයම අරඹන ‘ප්‍රෙඩෙටර්’ දඩයම්කරුවකු ගැන Predator 2 චිත්‍රපටයෙන් කියැවෙයි.

Predator 2 ස්ටීපන් හෝකින්ස්ගේ Stephen Hopkins අධ්‍යක්ෂණයකි. 80 දශකයේ ජනප්‍රිය ක්‍රියාදාම නළු ඩැනී ග්ලෝවර් Danny Glover චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවෙන අතර ප්‍රෙඩෙටර් සමඟ සටන් කර අවසානයේ ජය ගනී. ඇමෙරිකන් ඩොලර් මිලියන 20 ත් 30 ත් අතර මුදලක් යොදවා නිර්මාණය කළ Predator 2 ඉපැයූ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 57.1 කි. ආනොල්ඩ් ෂ්වෝට්නෙසගර් ‘ප්‍රෙඩෙටර්’ තරම් සාර්ථක නොවුණත් Predator 2 ‘ප්‍රෙඩෙටර්’ කතා මාලාව ඉදිරියට ගෙන යෑමට සමත් විය. 
The Predator (2018) චිත්‍රපටයේ නළු නිළියන් සමඟ ෂෙන් බ්ලැක් 

ඉන්පසු ‘ප්‍රෙඩෙටර්’ කතා මාලාවේ තෙවැනි චිත්‍රපටය ලෙස Predators (2010) ද සිවුවැනි චිත්‍රපටය ලෙස The Predator (2018) ද එළිදැක්විණි. Predators (2010) චිත්‍රපටයේ කතාව සිදුවන්නේ වෙනත් ග්‍රහලොවකය. Predators (2010) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ 1987 ‘ප්‍රෙඩෙටර්’ Predator චිත්‍රපටයට රංගනයෙන් එක් වුණු ෂෙන් බ්ලැක් Shane Black ය. 

The Predator (2018) චිත්‍රපටයට එක් වී, ඩච්ගේ චරිතය යළි ප්‍රති නිර්මාණය කරන්නැයි ආනෝල්ඩ් ට ඇරැයුමක් ලැබුණු නමුත් පිටපත කියවීමෙන් පසු ආනෝල්ඩ් ඊට අකමැත්ත පළ කළේය. ආනෝල්ඩ්ගේ අකමැත්ත සාධාරණය. The Predator (2018) අවුල් ජාලයක් වුණු අතර, එය ‘ප්‍රෙඩෙටර්’ කතා මාලාව වෙනස් මඟකට යොමු කළේ යැයි ‘ප්‍රෙඩෙටර්’ රසිකයන්ගෙන් චෝදනා එල්ල විය.

මීට අමතරව, 20th Century Fox චිත්‍රාගාරයේ Alien චිත්‍රපට මාලාවේ දකින්න ලැබෙන සීනෝමෝෆ් Xenomorph නමැති පිටසක්වළ ජීවීන් සහ ප්‍රෙඩෙටර් පිටසක්වළ ජීවීන් අතර සටන ඉස්මතු කරමින් Alien vs. Predator චිත්‍රපට දෙකක් නිර්මාණය වී තිබේ. අද වනවිට Predator චිත්‍රකතා, වීඩියෝ ක්‍රීඩා, නවකතා නිර්මාණය වී තිබේ. මේ සියල්ල ආරම්භ වූයේ 1987 ‘ප්‍රෙඩෙටර්’ Predator චිත්‍රපටයෙනි. 

ඒත් එම චිත්‍රපටයේ ත්‍රාසය, කුතුහලය වෙන කිසිදු චිත්‍රපටයක දකින්නට ලැබුණේ නැත. දැන් ‘ප්‍රෙඩෙටර්’ Predator චිත්‍රපට මාලාවේ පස් වැන්න Prey (2022) කරළියට පැමිණ තිබේ. Prey (2022) චිත්‍රපටයට පාදක වන්නේ පෘථිවියේ දඩයමට පැමිණෙන පළමු Predator පිටසක්වළයා මුල්කොට ගනිමිනි. Prey චිත්‍රපටයට පාදක වන්නේ 1987 ‘ප්‍රෙඩෙටර්’ Predator චිත්‍රපටයේ කතාව සිදුවීමට වසර 300 කට පෙර සිදුවීම් මාලාවකි. Prey චිත්‍රපටය ඩෑන් ට්‍රැච්ටෙන්බර්ග්ගේ Dan Trachtenberg අධ්‍යක්ෂණයකි. 

තරුණ අධ්‍යක්ෂවරයකු වන ඩෑන් ට්‍රැච්ටෙන්බර්ග් පසුගිය කාලයේ ජනප්‍රිය වූයේ 10 Cloverfield Lane චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙසය. Prey (2022) චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ 1719 වසරේ ඇමෙරිකන් රතු ඉන්දියානු කොමන්චේ Comanche ආදිවාසීන් සමඟය. 
කොමන්චේ රතු ඉන්දියානුවන්ගේ ජීවන රටාව, ඔවුන්ගේ භාෂාව සහ සුන්දර පරිසරය Prey චිත්‍රපටය පුරා දකින්න ලැබේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නාරු නමැති කොමන්චේ රතු ඉන්දියානු යුවතියයි. ඇයට ඕනෑ ඇගේ වැඩිමල් සොයුරා තාබේ මෙන් දක්ෂ දඩයම්කාරියක වන්නටය. නාරු ට සටන් කරමින් ජය ගැනීමට සිදුවන්නේ Predator සමඟය. චිත්‍රපටයේ නපුරා Predator පමණක් ම නොවෙයි; කොමන්චේ ඉන්දියානුවන්ට හිරිහැර කරන ප්‍රංශ දඩයම්කරුවෝ පිරිසක් ද වෙති. 

චිත්තු‍රපටයේ කතාවට අනුව තුවාල වී සිටිද්දී භාෂා පරිවර්තකයකු ලෙස ද කටයුතු කරන ප්‍රංශ ජාතිකන රෆයාල් අදෝලීනි Raphael Adolini නමැත්තා නාරු ට සිය පිස්තෝලය දෙයි. මෙය වෙඩි බෙහෙත් දමා වෙඩි තබන Flintlock Pistol පිස්තෝලයකි. රෆයාල් අදෝලීනි Raphael Adoliniගේ මෙම පිස්තෝලය සහ 1990 වසරේ දී තිරගත වුණු Predator 2 චිත්‍රපටය හා සම්බන්ධ වෙයි. 1990 වසරේ Predator 2 චිත්‍රපටයට පාදක වන කතාව ගෙතෙන්නේ 1997 වසරේ සිදුවීම් පෙළකි.
නළු ඩැනී ග්ලෝවර්, මයික් හැරිගන් ලෙස ...

ප්‍රධාන චරිතය වන පොලිස් නිලධාරීන් මයික් හැරිගන් Mike Harrigan (නළු ඩැනී ග්ලෝවර්) ප්‍රෙඩෙටර් මරා දැමීමෙන් පසු ප්‍රෙඩෙටර් නායකයකු ඔහු ඉදිරියට පැමිණෙයි. එම ප්‍රෙඩෙටර් නායකයා හැරිගන් ට පිස්තෝලයක් ලබා දෙයි. ඒ ලබා දෙන්නේ නාරු ට දුන් Raphael Adoliniගේ පිස්තෝලයයි. Prey (2022) සාර්ථකත්වය අනුව පිස්තෝලය ප්‍රෙඩෙටර් නායකයා අතට ගිය අයුරු ඉදිරියේ දී Predator චිත්‍රපට හරහා දකින්න ලැබෙනු නිසැකය.

1987 ‘ප්‍රෙඩෙටර්’ Predator චිත්‍රපටයට සමාන කළ නොහැකි නමුත්, යම්තාක් දුරකට ඊට සමාන අත්දැකීමක් ලබා දීමට Prey (2022) සමත් වී තිබේ. චිත්‍රපටය ‘ප්‍රෙඩෙටර්’ රසික රසිකාවියන්ගේ පැසැසුමට ලක් වී අවසන්ය.  Prey (2022) චිත්‍රපටයේ නාරු ලෙස චරිත නිරූපණයට කරන්නේ ඇම්බර් මිඩ්තන්ඩර් Amber Midthunder ය. 
ඇම්බර් මිඩ්තන්ඩර් ඇමෙරිකානු සූ රතු ඉන්දියානු සම්භවයක් ඇති යොවුන් නිළියකි. 25 හැවිරිදි ඇම්බර් වඩාත් ජනප්‍රිය රූපවාහිනී කතාමාලා හරහාය. CW කතාමාලාවක් වන ‘රොස්වෙල්: නිව් මෙක්සිකෝ’ Roswell, New Mexico හි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මැයයි. Roswell, New Mexico යනු 1999 සිට 2001 දක්වා තිරගත වුණු Roswell රූපවාහිනී කතා මාලාවේ ප්‍රතිනිර්මාණයකි.
Prey (2022) චිත්‍රපටය අගෝස්තු 5 වැනිදා සිට Hulu නාළිකාව හරහා විකාශය ආරම්භ කෙරුණි. ඒ, Hulu සිනමා නිර්මාණයක් ලෙසය. Prey (2022) 20th Century Studios චිත්‍රාගාරයේ නිෂ්පාදනයකි. 20th Century Studios හිමිකාරිත්වය ඇත්තේ Disney සමාගමට බැවින් Prey (2022) Disney+ ඔස්සේ ද නැරැඹිය හැකිය.

‘මට ඕනෑ වුණේ අප නොදන්නා කාලයක සිදුවුණු ප්‍රෙඩෙටර් කතාවක් නරඹන්නන්ට ඉදිරිපත් කරන්නයි. මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ පෘථිවියේ දඩයමට ආ පළමු ප්‍රෙඩෙටර් පිටසක්වළ දඩයක්කාරයා ගැනයි. දුනු ඊතල, කෙටි පොරව ආදී සරල ආයුධවලින් සන්නද්ධ ගෝත්‍රික කෙල්ලක් නවීන පන්නයේ අවි ආයුධවලින් සන්නද්ධ ප්‍රෙඩෙටර් සමඟ සටන් කරන අයුරු සැබැවින්ම අපූරුයි." යැයි ඩෑන් ට්‍රැච්ටෙන්බර්ග් පවසයි. 
Prey රූගත කිරීම් අතරතුරේ 
මිනිත්තු 99 ක් පුරා දිවෙන Prey (2022) චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ කොමන්චේ රතු ඉන්දියානු ප්‍රජාව ඇගයීමට ලක් කරමිණි. Prey (2022) චිත්‍රපටය ඉංග්‍රීසි බසින් පමණක් නොව, කොමන්චේ බසින් ද නිර්මාණය වී තිබීම විශේෂත්වයකි. ඊට අමතරව ප්‍රංශ බසින් ද Prey (2022) නැරැඹිය හැකිය. Prey චිත්‍රපටයේ ප්‍රෙඩෙටර්ගේ චරිතය නිරූපණය කරන්නේ ඇමෙරිකන් පැසිපන්දු ක්‍රීඩක ඩේන් ඩිලිගේරෝ Dane DiLiegro ය. Dakota Beavers, Stormee Kipp, Michelle Thrush සහ Julian Black Antelope යන ඇමෙරිකන් රතු ඉන්දියානු සම්භවයක් ඇති නළු නිළියන් චිත්‍රපටයේ දකින්න ලැබේ.

෴ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom