ලංකාවට එන චීන නැව ‘යුවාන් වැංග් 5’ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 7, 2022

ලංකාවට එන චීන නැව ‘යුවාන් වැංග් 5’

පොහොර නැවේ අර්බුදයෙන් පසු, යළිත් වරක් චීන නැවක් සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ. ‘යුවාන් වැංග් 5’ නමැති චීන රජයට අයත් මෙම නෞකාව, ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතය. 

ඉන්දියාව ‘යුවාන් වැංග් 5’ ගැන විමසිල්ලෙන් පසුවන අතර, එය හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඔවුන් කනස්සල්ල මෙන්ම විරෝධය ද පළ කර තිබේ. ‘යුවාන් වැංග් 5’ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාව කනස්සල්ලට පත්වීමටත්, එය හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමටත් චීනයට හොඳ හේතු තිබේ.

‘යුවාන් වැංග් 5’ එසේ මෙසේ නෞකාවක් නොවෙයි. එය යුද නෞකාවක් ද නොවෙයි. ඉන්දියාවට අනුව, ‘යුවාන් වැංග් 5’ චීනයේ නිෂ්පාදිත ඔත්තු නිරීක්ෂණ කටයුතුවල නියැළෙන නෞකාවකි. ඒත් චීන රජයට අනුව, ‘යුවාන් වැංග් 5’ පර්යේෂණ නෞකාවකි. ‘යුවාන් වැංග් 5’ නිපදවා ඇත්තේ 2007 වසරේ දී චීනය සතු නවීනතම තාක්ෂණයෙනි. 

නෞකාවේ දිග මීටර් 220 කි. චීන රජයට අඅනුව ඔවුන් මෙම නෞකාව යොදා ගන්නේ ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු නිරීක්ෂණය කරයි; ඔවුන්ගේ චන්ද්‍රිකා ක්‍රියාකාරීත්වය ගැන සොයා බලයි. ‘යුවාන් වැංග් 5’ නෞකාවට කිලෝ මීටර් 750 ක් දුරට ඔත්තු නිරීක්ෂණ කටයුතුවල නියැලිය හැකිය. 

එසේ නම්, ඉන්දියාවේ බිය සාධාරණය. හම්බන්තොට වරායේ සිට ‘යුවාන් වැංග් 5’ නෞකාවට ඉන්දියාව ගැන ඔත්තු බැලිය හැකිය. චීන නෞකාව ඉන්දියාව ගැන ඔත්තු බලනවා නම්, ඔත්තු බලනු ඇත්තේ කල්පක්කම් න්‍යෂ්ටික බලශක්ති බලාගාරය, කූඩන්කුලම් පරමාණු බලශක්ති අධිකාරිය සහ කෝචිවල පිහිටා ඇති නාවික අණ දෙන මූලස්ථානය සම්බන්ධයෙන් යැයි ඉන්දියාව කියයි. 

ඊට අමතරව දකුණු ඉන්දියාව පුරා ඇති වරාය සෑම එකක් ගැනම ඔත්තු බැලීමට ‘යුවාන් වැංග් 5’ නෞනාවට හම්බන්තොට වරායේ සිට කළ හැකි වෙයි. ‘යුවාන් වැංග් 5’ නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයෙන් විමසීමක් කළ අවස්ථාවේ දී එවැන්නක් සිදු නොවන බව මෙරට ආරක්ෂක අංශ මුලින් ඉන්දියාවට පැවැසූ නමුත් පසුව එය වෙනස් වුණු බවත් ‘ද හින්දු’ පුවත්පත පවසයි. 

‘යුවාන් වැංග් 5’ එලැඹෙන අගෝස්තු 11 වැනිදා හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත අතර, එය දින 7 ක් හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබෙනු ඇත. නෞකාව පිටත්ව යෑමට නියමිත 17 වැනිදාය. චීන නෞකාව හම්බන්තොට වාරයේ නැංගුරම් ලෑමේ ප්‍රධාන අරමුණ ඉන්ධන සහ අනිකුත් සැපයුම් ලබා ගැනීම බව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය ඉන්දියාවට දන්වා තිබේ. 

‘යුවාන් වැංග් 5’ නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වෙද්දී සහ ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරද්දී, චීනය නිවේදනයක් නිකුත් කරමින් කීවේ, ‘අදාළ පාර්ශව’ සිය නෛතික සමුද්‍රීය කටයුතුවලින් ඈත්ව සිටිනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය. හම්බන්තොට වරාය සඳහා චීනය ආයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් වන අතර එය ආසියාවේ සිට යුරෝපය දක්වා නෞකා මාර්ගය ආසන්නයේ පිහිටා ඇත. 

චීනය මෙම වරාය හමුදා කඳවුරක් ලෙස භාවිත කරනු ඇතැයි ඉන්දියාව කනස්සල්ලෙන් පසුවෙයි. චීනය මෙම වරාය ඉදි කර තිබෙන අතර මේ වනවිට එය කල්බදු පදනම යටතේ ක්‍රියාත්මක වේ. දශක හතකට පසු අප ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි. මේ වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ දී පමණක් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහාය ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්නය. 

එහෙයින් මෙම අවස්ථාවේදී ඉන්දියාව අමනාප කර ගැනීම නුවණට හුරු නැති බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. ඉන්දියාවේ ආරක්ෂාව සහ ආර්ථිකය කෙරෙහි බලපාන ඕනෑම සිදුවීමක් ඉන්දීය රජය ඉතා අවදානයෙන් නිරීක්ෂණය කරන බවත් එවැනි සිදුවීමකදී ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දාම් බග්චි පසුගිය දා ප්‍රකාශ පැවැසීය. 

මේ අතර, කොළඹ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට වාචිකව තම විරෝධතාව ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.

Classified_Ad

Classified_Ad_News_Bottom